සිවිල් සමාජ ක්‍රියාකාරිකයකුගේ දෘෂ්ටි කෝණයෙන් අජිත් පැරකුම් ජයසිංහ

වර්තමාන යුද සංදර්භය සහ ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී දිළිඳුකම තවදුරටත් වැඩි වීමට පවා ඉඩ තිබේ. එබැවින් දිළිඳුභාවයට එරෙහි සටන වෙනදාට වඩා තීව්‍ර කළ යුතු යුගයක් උදා වී ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඓතිහාසික හා බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සමාජ දේහය පුරා දිළිඳුභාවය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, හුදු සහනාධාර බෙදාදීමේ යල්පැනගිය ආකෘතිවලින් ඔබ්බට ගිය තිරසර විසඳුමක අවශ්‍යතාව සිවිල් සමාජය විසින් දැඩිව මතු කරන ලදි. විශේෂයෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග එක්ව, අපි මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළෙමු. නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙස ‘අස්වැසුම’ හඳුන්වා දෙන සමයේදී, දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් පිළිබඳ පුළුල් පදනම් අධ්‍යයනයක් (Baseline Study) සිදු කරමින් මේ පිළිබඳ කතිකාවක් සමාජගත කිරීමට අපි උත්සාහ කළෙමු.

එම අධ්‍යයනයෙන් මනාව පැහැදිලි වූයේ, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල බරපතළ ගැටලු ඇති බවයි. එක පැත්තකින් ඒවා දේශපාලනීකරණය වී ඇති අතර, එමඟින් ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රියව දායක කරගත හැකි පරිදි නගාසිටුවනවා වෙනුවට සදාකාලිකව රජයේ ආධාර මත යැපෙන ‘යැපුම් මානසිකත්වයක්’ (Dependency Syndrome) ප්‍රවර්ධනය කිරීම ද සිදු වේ. දිළිඳුභාවයෙන් ගොඩ ඒමට ප්‍රමාණවත් උත්සාහයක් නොදරන නිෂ්ක්‍රිය පුරවැසියන් පිරිසක් ද සමාජයේ නිර්මාණය වේ.

අස්වැසුමෙන් උගත් පාඩම් සහ පරිපාලනමය අර්බුදයේ ව්‍යුහ විද්‍යාව

අස්වැසුම වැඩසටහන ‘බහුවිධ දරිද්‍රතාව’ (Multidimensional Poverty) යන සංකල්පය පදනම් කරගනිමින් හඳුන්වා දෙන ලදි. දරිද්‍රතාව යනු හුදු ආදායම නොමැතිකම පමණක් නොවන බවත්, එය අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, සහ සමාජ ආරක්ෂණය යන බහුවිධ සාධක මත තීරණය වන්නක් බවත් පිළිගැනීම ප්‍රශංසනීය වේ. එහෙත් එය බිම් මට්ටමේදී ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය අභියෝගාත්මක විය. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ සමෘද්ධි නිලධාරීවරුන්ගේ වර්ජන සහ සහයෝගය නොදැක්වීම් හමුවේ දත්ත එක්රැස් කිරීම අඩාල විය. ප්‍රමාණවත් තරම් නිසි විමර්ශන, ක්ෂේත්‍ර අධ්‍යයන හෝ පසු විපරම් අධීක්ෂණයන් සිදු නොවීම හේතුවෙන්, ඇතැම් විට සැබවින්ම ආධාර ලැබිය යුතු අන්ත දිළිඳුන්ට ප්‍රතිලාභ අහිමි වී, නුසුදුස්සන් ලැයිස්තුගත වීම පවා දක්නට ලැබිණි. මුල් වටයේ තෝරාගැනීම්වලට එරෙහිව අභියාචනා සහ විරෝධතා රැසක් එල්ල විය.

‘අස්වැසුම’ යනු 2022 ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවේ (World Bank) සහයෝගයෙන් හඳුන්වා දුන් වැඩසටහනකි. එහි මූලික ඉලක්කය වූයේ ආර්ථික අර්බුදය සහ ප්‍රතිසංස්කරණ හමුවේ පීඩාවට පත්වන ජනතාව සඳහා මූල්‍ය ආධාර සපයන විධිමත් ‘සමාජ ආරක්ෂණ දැලක්’ (Social Safety Net) සැපයීමයි.

දිළිඳු බවින් මිදීම සඳහා අත්‍යවශ්‍ය වන ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකත්වය නඟාසිටුවීම වෙනුවෙන් ප්‍රමාණවත් හා ඵලදායී වැඩසටහන් මින් පෙර ජනසවිය හා සමෘද්ධි වැඩසටහන්වල දක්නට ලැබිණි. එහෙත් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයෙහි ඒවා දක්නට නොලැබිණි. එය හුදෙක්ම මූල්‍ය ආධාර හුවමාරුවක් පමණක් විය.

හුදෙක් මුදල් බෙදා දීමෙන් ඔබ්බට ගොස් මානව ප්‍රාග්ධනය දියුණු කරන, ආකල්පමය වෙනසක් නිර්මාණය කරන සහ නිෂ්පාදන ආර්ථිකයට ප්‍රජාව සම්බන්ධ කරන නව ප්‍රවේශයක අවශ්‍යතාව සමාජය තුළ උද්ගතව තිබිණි. වත්මන් ජාතික ජන බලවේග රජය විසින් “ප්‍රජා ශක්ති” නමින් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන්නේ මෙම ඓතිහාසික රික්තකය පිරවීමේ අරමුණෙන් බව ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත්, අස්වැසුම වැඩසටහනේ ධනාත්මක පැතිකඩ ද අප කිසිසේත් අවතක්සේරු නොකළ යුතුය. විශේෂයෙන්ම, දේශපාලන අතපෙවීම් අවම කිරීම සඳහා තාක්ෂණය යොදා ගනිමින්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා විධිමත් (Refined) සහ පුළුල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීය වේ. පෙර පැවති සමෘද්ධි ආධාර ලබා දීමේ ක්‍රමය වෙනුවට, ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සෘජුවම මුදල් බැර කිරීමේ විනිවිද පෙනෙනසුලු යාන්ත්‍රණයක් හඳුන්වා දීම එහි තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. සමාජයේ සහ ආර්ථිකයේ සිදු වන වෙනස්කම් හමුවේ, අද දිළිඳු පවුලක් හෙට දින සවිබල ගැන්වී‍මට හෝ මධ්‍යම පාන්තික පවුලක් හදිසි ආපදාවකින් අන්ත දිළිඳුභාවයට පත් වීමට ඉඩ තිබේ. එබැවින්, මෙම තොරතුරු පද්ධතිය අඛණ්ඩව යාවත්කාලීන කිරීමේ අත්‍යවශ්‍යතාව ද මෙහිදී දැඩිව අවධාරණය කළ යුතුය.

ප්‍රජා ශක්තිසහ සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය

ප්‍රජා ශක්ති යනු තවත් එක් සාමාන්‍ය රාජ්‍ය සුබසාධන ව්‍යාපෘතියක් හෝ අමාත්‍යාංශයකට සීමා වූ ව්‍යාපෘතියක් නොවන බව පවසමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පෙන්වා දෙන පරිදි, මෙහි ප්‍රධාන අරමුණු හතරක් ඇත. ඒවා නම්:

  1. දිළිඳුභාවය දුරලීම සඳහා ඍජු ජාතික නායකත්වයක් ලබාදීම.
  2. ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියට සමස්ත රාජ්‍ය අංශයම සම්බන්ධ කරගන්නා ඒකාබද්ධ හා අන්තර්ග්‍රාහී (Inclusive) සංවර්ධන ප්‍රවේශයක් ලබාදීම.
  3. ග්‍රාමීය දිළිඳුභාවය පිටුදැකීම සඳහා ජන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීම.
  4. දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වල කාර්යසාධනය සහ කාර්යක්ෂමතාව සමාජ විගණනයක් හරහා ජනතා සහභාගීත්වයෙන් විමර්ශනයට හා ඇගයීමට ලක්කිරීම.

මෙම සහභාගීත්ව සංවර්ධන සංකල්පය සහ බලය විමධ්‍යගත කිරීමේ උත්සාහයන් ශ්‍රී ලංකාවට මුළුමනින්ම නවමු අත්දැකීමක් නොවේ. අතීතයේ පැවති ගම්සභා ක්‍රමයේ සිට, ග්‍රාම සංවර්ධන සමිති සහ 1980 දශකයේ හඳුන්වා දුන් ‘ග්‍රාමෝදය මණ්ඩල’ වැනි විවිධ ආකෘති හරහා ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට විවිධ යුගවලදී උත්සාහ කර ඇත. එහෙත් කල් යෑමේදී මෙම බොහෝ ආයතන දැඩි ලෙස දේශපාලනීකරණයට ලක් වීම සහ නිලධාරිවාදයට කොටු වීම හේතුවෙන් ඒවායේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අහිමි වී ගියේය. එබැවින් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ඉතිහාසයේ සිදු වූ එම ආයතනික වැරදි යළිත් පුනරාවර්තනය වීමට ඉඩ නොදී, සැබෑ මහජන හිමිකාරිත්වයක් තහවුරු කර ගැනීමයි.

ප්‍රජා සංවර්ධන සභාවල (CDC) නව සහ විස්තීර්ණ ව්‍යූහය

මෙම සහභාගීත්ව සංවර්ධනයේ ජීවය සහ හදගැස්ම වන්නේ දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 14,000ක් පමණ සංඛ්‍යාවක් පුරා පිහිටුවන ‘ප්‍රජා සංවර්ධන සභා’ (Community Development Councils) ය. ප්‍රජා සංවර්ධන සභාවක උපරිම සාමාජිකත්වය 35ක් වේ. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාකල්‍යවාදී ව්‍යූහයක් ඊට හඳුන්වා දී ඇත. එහි සංයුතිය මෙසේය:

  • සභාපති හා ලේකම් (නිලධාරීන් 04): සභාපතිත්වය හිමිවන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට හෝ ඔහු විසින් පත් කරන මහජන නියෝජිතයෙකුටය. ‘ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරි’ ලෙස වසර තුනක කාලයක් සඳහා අනුයුක්ත කර ඇති ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
  • කාරක සභාව (නිල නියෝජිතයින් 05): ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි ඇතුළු ගමේ රාජ්‍ය පරිපාලනය නියෝජනය කරන නිලධාරීන් මෙයට අයත් වේ.
  • ප්‍රජා නියෝජිතයින් (උපරිම 15): මෙය අතිශය වැදගත් අංගයකි. මෙහිදී හුදෙක් දිළිඳු ජනතාව පමණක් නොව කාන්තාවන්, තරුණයන්, ධනවත් අය මෙන්ම විවිධ වාර්ගික නියෝජිතයින් ද ඇතුළත් සැබෑ බිම් මට්ටමේ හරස්කඩක් නියෝජනය වේ.
  • උපායමාර්ගික කමිටුව (Strategic Committee): ප්‍රදේශයේ ව්‍යවසායකයින්, රාජ්‍ය සේවකයින්, විදෙස්ගත ප්‍රජාව සහ විද්වතුන්ගෙන් සැදුම්ලත් පහසුකරණය සපයන අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

නිශ්චිත භූමියක් තුළ එකට ජීවත් වන ජන සමූහයක්, තම දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් සන්නද්ධ කර බලමුළුගැන්වීම මෙහිදී අපේක්ෂා කෙරේ. සංවර්ධන ගැටලුවක් හඳුනාගැනීමේ සිට, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම යන සම්පූර්ණ සංවර්ධන චක්‍රයම ජන සහභාගීත්වයෙන් සිදු කිරීම මෙහි මූලික අරමුණයි. ගමේ සැබෑ ගැටලු මොනවා ද, වඩාත්ම අවදානමට ලක් විය හැකි කුටුම්භ මොනවා ද, කුමන ආකාරයේ මැදිහත්වීම්වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ද, ලබා දෙන සේවාවන් සැබැවින්ම ආන්තික පවුල් වෙත ළඟා වේ ද ආදී කරුණු මේවා හරහා හඳුනා ගත හැකිය. නිලධාරීන්ට නිර්දේශ ලබා දිය හැකිය. පවතින රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව සහ ප්‍රමුඛතා පදනමක් මත ගමට ලබාගැනීම සඳහා ජනතාව නියෝජනය කරන ‘මාර්ගෝපදේශක සභාවක්’ ලෙස එයට ක්‍රියාත්මක විය හැකිය.

ප්‍රායෝගික තලයේදී ද මෙය සැබැවින්ම ක්‍රියාත්මක විය යුතුය. වැඩසටහනේ ප්‍රකාශිත අරමුණ ‘සියල්ලන් ඇතුළත් කරගැනීම’ වුව ද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී මෙය පොදු ජාතික වැඩසටහනකට වඩා පාලක පක්ෂයේ දේශපාලනික ව්‍යාපෘතියක් ලෙස නිරූපණය වීමේ බරපතළ අවදානමක් සහ ප්‍රවණතාවක් මේ වන විටත් මතු වී තිබේ. ශ්‍රී ලංකා සමාජයේ පවතින දැඩි දේශපාලනික ධ්‍රැවීකරණය (Political Polarization) හේතුවෙන්, විරුද්ධ පක්ෂවලට සම්බන්ධ හෝ ස්වාධීන මත දරන පුරවැසියන් මෙම වැඩසටහනෙන් ස්වයංවම දුරස්ථ වී සිටිති. ඒ හා සමානවම පවත්නා යාන්ත්‍රණය විසින් ඔවුන්ව සියුම් ලෙස බැහැර කිරීමත් එක වර සිදුවෙමින් පවතී. ගමේ සැබෑ ප්‍රශ්න දන්නා, වසර ගණනාවක් තිස්සේ ස්වේච්ඡා සමිතිවල කටයුතු කළ විරුද්ධ පක්ෂවලට සම්බන්ධ හෝ ස්වාධීන හෝ පුරවැසි නායකයන් දේශපාලන හේතු මත මෙම සභාවලින් ප්‍රතික්ෂේප කරන්නේ නම්, ප්‍රජා සංවර්ධන සභාවල ප්‍රකාශිත සම්භාව්‍ය අරමුණ ඉටු වන්නේ නැත.

ඉදිරි දැක්ම: නීතිගත කිරීම සහ සමාජ වගකීම

මෙම දේශපාලනීකරණ අවදානම සහ අඩුපාඩු මඟහරවා ගනිමින් වැඩසටහනේ තිරසරභාවය තහවුරු කිරීම සඳහා රජය එක් සාධනීය පියවරක් ගෙන තිබේ. ප්‍රජා ශක්ති යාන්ත්‍රණයේ නීතිමය ව්‍යූහය ශක්තිමත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම එම පියවරයි. එය හුදු චක්‍රලේඛයක් මත රඳා පවතිනවාට වඩා නීතිගත වීම වැදගත් වේ. ඒ හරහා දේශපාලන ඇඟිලි ගැසීම් යම්තාක් දුරකට හෝ නීතිමය රාමුවක් තුළ පාලනය කරගැනීමට හැකියාව ලැබේ. ආණ්ඩු පෙරළියකදී වුව ද අඛණ්ඩ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස එය ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අවසන් වශයෙන් කිව යුත්තේ, ‘ප්‍රජා ශක්ති’ යනු හුදු දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් පමණක් නොවන, ආර්ථික සමානාත්මතාව සහ ග්‍රාමීය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැඟීම සඳහා රාජ්‍යය විසින් දියත් කර ඇති දැවැන්ත සමාජ-දේශපාලනික අත්හදාබැලීමක් බවට පත් කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *