අජිත් පැරකුම් ජයසිංහ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා සම්පාදනය කරන ලද පෙළ පොතක, අන්තර්ජාල මූලාශ්‍රයක් ලෙස ‘buddy.net’ නම් වූ, පිරිමි සමලිංගික සේවා සපයන වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් වීම මේ වන විට සමාජයේ බලවත් ආන්දෝලනයකට ලක්ව ඇත. මෙය හුදු මුද්‍රණ දෝෂයක් හෝ තාක්ෂණික අතපසුවීමක් ලෙස ලඝු කළ නොහැකි අතර, එය රටේ අනාගත පරපුරට එරෙහිව සිදු වූ බරපතල වරදක් ලෙස විග්රහ කළ හැකිය.
අධ්‍යාපනික වරද සහ පරිසමාප්ත ලිංගික අධ්‍යාපනය
මෙහි මූලිකම අධ්‍යාපනික වරද වන්නේ දරුවාගේ වයසට හා මනසට නුසුදුසු අන්තර්ගතයකට දරුවා යොමු කිරීමයි. පාසල් විෂය නිර්දේශය තුළ අන්තර්ගත විය යුත්තේ හුදු ලිංගික කරුණු නොව, දරුවාගේ වයසට ගැලපෙන, විද්‍යාත්මක හා සදාචාරාත්මක පදනමක් සහිත ‘පරිසමාප්ත ලිංගිකත්ව හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයක්’ (Comprehensive Sexuality and Reproductive Health Education) වේ. එහෙත්, මෙම සිදුවීම හරහා දරුවන් විධිමත් අධ්‍යාපනය වෙනුවට, පාලනයකින් තොර වැඩිහිටි ලිංගික වෙළඳපොළක් වෙත යොමු කර ඇත. මෙය අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි. අනෙක් පැත්තෙන්, ලංකාව වැනි රටක අත්‍යවශ්‍ය ලිංගිකත්ව හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය හඳුන්වා දීමේ ප්රයත්නය මෙම විකෘතිය මගින් විනාශ කරනු ලැබේ. එසේම, එම අධ්‍යාපනය අහිමි වීම හේතුවෙන් දැනටත් ඉහළ මට්ටමක පවතින යොවුන් වියේ ගැබ් ගැනීම්, ළමා හා කාන්තා අපයෝජන, පිරිමි ළමයින් අපයෝජනය ආදිය තවත් ඉහළ යනු ඇත.
නීතිමය සහ සමාජමය බලපෑම
මෙම සිදුවීම හරහා දෙමාපියන් සහ සමාජය අධ්‍යාපන පද්ධතිය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය බිඳ වැටී ඇත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති මගින් සමලිංගික ක්‍රියා ඇතුළු ඇතැම් ලිංගික චර්යා වරදක් ලෙස අර්ථ දක්වා ඇත (මෙම නීති මානව හිමිකම් පදනම මත විවේචනයට ලක්ව තිබුණද, ඒවා තවමත් බලාත්මක නීතීන් වේ). රජයේ පෙළපොතක් හරහා එවැනි චර්යා ප්‍රවර්ධනය කරන වෙබ් අඩවියකට දරුවන් යොමු කිරීම, පවතින නීතියට පටහැනි ක්‍රියාවන්ට අනුබල දීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඊටත් වඩා බරපතල කරුණ වන්නේ මෙය බාල වයස්කරුවන් පරම්පරාවකටම එරෙහි දැවැන්ත අපරාධයක් බවට පත්වීමයි. ඒ වෙනුවෙන් සාමාන්‍ය දඬුවම් බලපැවැත්වෙන්නේ නැති බව නීතියෙහිම දැක්වේ. මෙහිදී සිදුවන්නේ බාල වයස්කරුවන් ආරක්ෂා කිරීමේ පනත් උල්ලංඝනය කරමින් මුළු පරම්පරාවක්ම අනාරක්ෂිත සයිබර් අවකාශයකට ඇද දැමීමයි. මෙය නීතිය හා සාමය පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපාන අතර සමාජ තුලනය බිඳ දමයි.
ආර්ථික පිරිවැය සහ විශ්වාසය යළි ගොඩනැගීම
මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා යන ආර්ථික පිරිවැය සුළුපටු නොවේ. මුද්‍රිත පොත් නැවත කැඳවීම, අදාළ පිටු ඉවත් කිරීම සහ නැවත මුද්‍රණය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය මහජන බදු මුදල් අපතේ යැවීමකි. එහෙත් ඊටත් වඩා විශාල පිරිවැය වන්නේ බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩනැගීමට යන ‘සමාජ පිරිවැයයි’. අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමට මෙය හේතුවක් විය හැකිය. එසේම, අධ්‍යාපන අංශ හා රජය කෙරෙහි නිර්මාණය වන බලවත් අවිශ්වාසය නැවත ගොඩනැගීම සඳහා වන පිරිවැය අතිවිශාලය.
අවසාන වශයෙන්, මෙය හුදෙක් සබැඳියක් වැරදීමක් නොව, අධ්‍යාපන බලධාරීන්ගේ වගවීම හා නියාමනය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන සිදුවීමකි. මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා දඬුවම් ලැබිය යුතුය.











