ගීත, කවි ආදිය ලියන සාහිත්‍යකරුවන් මෙම යෙදුම සුලබව භාවිතා කරනවා. එහි අරුත බොහෝ රසිකයන් දන්නේ නැහැ. මේ ඒ ගැන කරුණාරත්න අමරසිංහ මහතා කරන අගනා පැහැදිලි කිරීමක්
සැළමුතු පෙමක මහිම
‘සැළමුතු’ පෙම යනු කිම? ‘සැළමුතු’ යන්නෙහි අරුත කිම? පළමුව එය වටහා ගනිමු.
‘සැළමුතු’ වදන සිංහලට බිඳෙන්නේ සංස්කෘත ‘ඡලමුක්ත’ වචනයෙනි. ඇතැම්හු එය ‘ශඨමුක්ත’
යන්නෙන් බිඳුණු බවක් කියති. සකු ‘ඡල’ සහ හෙළ ‘සැළ’ යන දෙවදනෙහි සාම්‍යය එසේ සිතන්නට අනුබල නොදෙයි. සංස්කෘත ‘ඡල’ සහ ‘ශඨ’ යන දෙවදනම වංචාකාරී, කපටි, වංක යන අරුත් එක සේ පළ කරයි. ඒ අනුව ‘සැළමුතු’ යන්න ‘ශඨමුක්ත යන්නෙහි තද්භවයක් ලෙස ගැනීමටද ඉඩ නැත්තේ නොවේ. එහෙත් ශබ්ද සාම්‍යය අනුව හෙළ ‘සැළ’ යනු සකු ‘ඡල’ යන්නෙහි තබව පදයක් සේ ගැන්ම වඩා යුක්ති යුක්තය. ‘මුක්ත’ යනු මිදුණු, තොර වුණු, රහිත යන අරුත් ඇත්තකි. ඒ අනුව ‘ඡලමුක්ත’ යනු වංචාවෙන් කපටිකමෙන් රැවටිල්ලෙන් වංකකමෙන් තොර යන අරුත් පළ කරයි. අවංක ප්‍රේමය ‘ඡලමුක්ත’ ප්‍රේමය නමින් හැඳින්වෙන්නේ එනයිනි. ඒ අනුව
‘සැළමුතු පෙම’ යන යෙදුම අවංක ප්‍රේමය යන අරුත පළ කරයි. දඹදෙණි පුර රජව සිටි දෙවන පැරකුම්බා මහ කිවිඳු තම ‘කව්සිළුමිණ’ මහා කාව්යයෙහිදී කුස කුමරු තුළ පබවත කෙරෙහි උපන් බද්ධ ප්‍රේමය හඳුන්වන්නේ ‘සැළමුතු නුගි නුරා’ යනුවෙනි. ‘නුගි’ යනු ‘අනුගතා’ යන සකු වදනින් බිඳුණු හෙළ පදයයි. ‘අනුගතාව’ නම් සැමියා අනුව පවතින තැනැත්තියයි. ඒ අනුව ‘සැළමුතු නුගි නුරා’ යනු අව්‍යාජ, අවංක පත්නී ප්‍රේමයයි.