අජිත් පැරකුම් ජයසිංහ
වෙළඳාමෙන් තොරව පොත් ප්‍රකාශන කර්මාන්තයක් පැවතිය නොහැකිය. එහෙයින්, පොත් වෙළඳාම අගය කළ යුතුය. විශාල වශයෙන් විකුණා ලාභ ලැබිය හැකි පොත් ද, එතරම් ලාභයක් නැතත්, කුඩා නිශ්චිත වෙළඳපොළත් ඉලක්ක කරන පොත් ද යන දෙවර්ගය ම කර්මාන්තයේ පැවැත්ම සඳහා අවශ්‍යය.

අනෙක් ඕනෑම විනෝදාස්වාද කර්මාන්තයක මෙන්ම පොත් ප්‍රකාශනයේ ද මිනිසුන් රවටා මුදල් කඩාගැනීමේ සිට සම්භාව්‍ය කලාව ප්‍රවර්ධනය දක්වා පරාසයක කෘති තිබේ. වෙනත් කලාවන්ගේ මෙන්ම මෙහි ද නිර්මාණකරුවාගේ අනන්‍යතාවට සුවිසල් තැනක් හිමි වේ.
පොත් ප්‍රකාශකයන් අතර විකුණාගත හැකි මොනවා හෝ විකුණා බිස්නස් එක පවත්වාගෙන යන සාමාන්‍ය ව්‍යාපාරිකයන් මෙන්ම, ප්‍රකාශන කර්මාන්තය ගැන ගැඹුරින් සිතන ප්‍රකාශකයෝ ද සිටිති. දෙවෙනි වර්ගය අතළොස්සකි.
එවැනි ප්‍රකාශකයෝ මුලින්ම කියවන්නෝ වෙති. හදාරන්නෝ වෙති. ඔවුන් හදාරන්නේ ව්‍යාපාරකරණය පමණක් නොවේ. විවිධ සාහිත්‍ය ෂානර ද, පොදුවේ කලා ක්ෂේත්‍රයම ද ඔවුන්ගේ හැදෑරීමෙහි විෂයපථයයි. ඒ අනුව, ඔවුහු සිය ප්‍රකාශන හරහා සමාජය වෙනස් කිරීම සඳහා මැදිහත් වන්නෝ වෙති. විපර්යාසකාරකයෝ වෙති. දැනුම ගොඩනගන්නෝ හා ජනමත නායකයෝ ද වෙති. එය දේශපාලනික කාර්යයකි.
මොකක් හෝ පොතක් විකුණා බිස්නස් එක පවත්වාගෙන යන්නා හා නැණවත් ග්‍රන්ථ ප්‍රකාශකයා අතර වෙනස එයයි.
ලංකාවේ එවැනි ප්‍රකාශකයන් කිහිප දෙනෙකු සිටින අතර විදර්ශන ප්‍රකාශන ආයතනය එහි ඉදිරියෙන් සිටින සමාගමකි. එයට මූලික හේතුව ජනක ඉනිමංකඩ නම් සමාජ ක්‍රියාකාරිකයාගේ නායකත්වයයි.
එවැනි ප්‍රකාශන ආයතනත්, විභාග ප්‍රශ්නෝත්තර පොත් අච්චු ගහන ආයතනත්, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් සමාන වුව ද, සමාජ දේශපාලනයේදී සමාන වන්නේ නැත.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැන් ක්‍රියා කරන ආකාරය අනුව පෙනෙන්නේ ඔවුන් බහුතර ප්‍රකාශකයන්ගේ ශක්තියෙන් ඔවුන් වෙනුවෙන් කටයුතු කරන බවයි. විදර්ශන ආයතනයට කොළඹ පොත් සල්පිලේදී පල නොකියා පළා බෙදන්නේ ඒ නිසාය.
මෙයත් කිව යුතුය. මෙවැනි තත්වයක් නිර්මාණය කිරීමට මූලික හේතුව වන්නේ ලේඛකයන්ගේ පටු හා ආත්මාර්ථකාමී චර්යාවයි. ලංකාවේ ලේඛන කලාවේ මුදුන් මල්කඩ වී තිබෙන්නේ ස්වර්ණ පුස්තක, රජත පුස්තක ආදී සම්මානයි. නැතිනම්, මහා පරිමාණෙන් විකුණාගත හැකි රැල්ලේ ජනප්‍රිය කෘති නිර්මාණයයි. මේ දෙආකාරයෙන් මුදල්, කීර්තිය හා ලිංගික ආස්වාදය වෙනුවෙන් පොරකන ලේඛක සනුහරයට ප්‍රකාශකයා යනු ගේමක් දිය යුතු මුදලාලි කෙනෙකු පමණි. බොහෝ ප්‍රකාශකයන් ද එවැනිය. ඔවුන් බලන්නේ ද ලේඛකයාගේ කර්තෘ භාගයට හරි ගේමක් දෙන්නටය.
විදර්ශන සාහිත්‍ය තරගයේ ජයග්‍රාහී කෘති ස්වර්ණ පුස්තක, රජත පුස්තක ආදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සම්මානවලින් ඉවත් කිරීමට තීරණය කළ අවස්ථාවේදී ලේඛකයන් හැසිරුණ ආකාරය මෙයට කදිම උදාහරණයකි. තමන්ගේ පොත් එම සම්මානවලින් ඉවත් කරගන්නා බව ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යවල පෝස්ටු දැමූ ඔවුන් එයිනුත් කළේ තමන්ගේ අනන්‍යතාව නඩත්තු කරගැනීම පමණි. පොත් ඉවත් කරගැනීමක් සිදු වූයේ නැත. ඇතැම් අය සම්මාන ද ගත්හ.
විදර්ශන වැනි ප්‍රකාශන ආයතන රැකගත යුතුය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ බැහැර කිරීම විසින් ඔවුන් බිඳවැටිය නොහැකි යයි කීවත්, එය ඔවුන්ට විශාල ව්‍යාපාරික ලාභයක් අහිමි කිරීමකි. එය ව්‍යාපාරයක තිරසරභාවයට බල නොපෑවත්, පුළුල් වීමට බලපාන කාරණයක් විය හැකිය.
මෙම සටහනේ අරමුණ ලේඛකයන්ගෙන් හෝ පාඨකයන්ගෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම නොවේ. මේ දෙපිරිසම එකම වර්ගයේ අවස්ථාවාදීන් පිරිසකි. පුරවැසියන් මේ ගැන සාකච්ඡා කළ යුතුය.
අපේ පොත් නම් වැඩිහරියක් අච්චු ගසාගන්නේ අපමය. හේතුව, ප්‍රකාශකයන් ඒ සඳහා ඉදිරිපත් නොවීමය. විකිණෙනවා අඩු නිසා ලාභ අඩු නිසා විය හැකිය. අපට නම් ඕවායින් ලාභ ලබන්නට උවමනාවක් නැති නිසා, අනාගතයටත් ඔබින පරිදි අපි නම් මීළඟට කරන්නේ පොත් නොව බුක්ලොග්ය. බලන්න අපේ පරීක්ෂණ බුක්ලොග් එක මෙතනින්. https://praja.lk/booklogs/
