Artful dodger
Art

ආට්ෆුල් ඩොජර්ලා හමුවේ අව්‍යාජ කලාව හඳුනාගැනීමේ පුරවැසි කලාව

අජිත් පැරකුම් ජයසිංහ

මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.

ඔය ලංකාවෙ කට්ටියට ලැබෙන ජාතියේ ජාත්‍යන්තර සම්මාන ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒවා ජාතික මට්ටමේ සම්මානෙවලට වඩා දේශපාලනිකයි; දූෂිතයි. දේශීය සම්මානවලින් ජාතික මට්ටමේ කල්ලි නඩත්තු කරනවා වගේ ජාත්‍යන්තර සම්මානවලින් ජාත්‍යන්තර කල්ලි නඩත්තු කරනවා. ඒවා මාකටිං. අපි දැනගන්න ඕනැ ඒවායේ යටිතලය කියවා ගැනීමේ කලාව.

කලාවේ යටින් තියෙන ආට්ෆුල් වැඩ හෙවත් කට්ට සූත්තර වැඩ හඳුනා ගැනීම තමයි මම නම් දකින කලාවේ සම්භාව්‍යකම. තවදුරටත් කලාකරුවන්ට, දේශපාලකයන්ට, ආගම්වලට අමු අමුවේම රැවටෙන එක පුරවැසිකමට නිගාවක්. සමහර වෙලාවට අපි රැවටිලා වගේ පෙන්නලා උන්ව රවටන්නට වෙනවා. ඒක වෙනම පුරවැසි කලාවක්.

දැන් කාලෙ කලාව ඇතුළෙ මම නම් හොයන්නෙ අව්‍යාජත්වය හා අවංකකම. සමාජය වෙනස් කරන භාරදූර වගකීම උරෙන් දරාගත් බව පෙන්නන වෙළෙන්දන්ව දැකලාම එපා වෙලා. වෙළඳ ගැට ගැන අමුවෙන් කතා කරන කලාව ඊනියා සම්භාව්‍ය රැවටීම්වලට වඩා හොඳයි.

සමාජවාදයෙන් පරම්පරාවක් රවටා මුදල් ගසා කා මරුවා වෙත යොමු කර, අවුරුදු දෙක තුනක් යන විට අලුත් රැල්ල වන ජාතිවාදයට සෙට් වූ පවන ඉතිහාසය මේ යුගයේ නැවත කියවා ගැනීම අතිශය වැදගත්ය. ඒ මුග්ධ මාකට් එක නැවතත් සක්‍රිය වී ඇත. ආට් වෙළෙන්දෝ සයනයිඩ් කරල් අරගෙන කැරකෙති.

මේ සංදර්භය තුළ වැඩියෙන්ම පරිස්සම් විය යුතු වන්නේ වාසියට පිට කසන, විචාරකයන් ලෙස තමන් නම් කරගෙන සිටින තක්කඩින්ගෙනි.