A purple flower dropped under a tree
ලස්සන දම් පාට මලී
බිම වැතිරී සිටියි ඇලී
නුඹ කොහි සිට ආපු මලී
කියන්න මට මල් කැකුළී

හිටිහැටියේ නුඹ උදේට
තිතක් තියයි දමින් පාට
බිම වැතිරුණු සුදෝ සුදට
සුදු මල් පෙති මැද පොඩියට

මේ මහ මල් ගහ පාමුල
පාවඩ මල් පෙතිති අතුල
මැඩගෙන මම සිතින් සසල
සිතමි කෙලෙස නොදුටිමි මල

ගසත් දකිමි මලුත් දකිමි
වැලත් සොයා මුලත් දකිමි
ඒ වැල ගිය මගත් දනිමි
මල විතරක් මම නොදකිමි

දිගු සුසුමක් හෙළා මෙලෙස
යමි සුපුරුදු ගමන පිණිස
හෙට ඇවිදින් බැලුවත් ගස
නුඹ නැත බිම සුදු පෙති මිස

ඉතින් මම ගමන යන්නෙමි
රවුම් රවුම් පැද යන්නෙමි
ගස පසු කර නිති යන්නෙමි
දම් මල විතරක් නොදකිමි

ගමනෙහි සරතැසින් යටව
මල් මතකය යාවි සැඟව
සුදු මල් පෙති ඉරට හසුව
වියළි සුළඟෙ යාවි සැඟව

මල් සුවඳැති උදෑසනක
සුදු මල් පෙති පාවඩයක
හද පාරන පුංචි තිතක
දම් මල ඇත යළිත් බිමක

ලස්සන දම් පාට මලී
බිම වැතිරී සිටියි ඇලී
කොයි ලෝකෙන් ආපු මලී
කියන්න මට මල් කැකුළී

අජිත් පැරකුම් ජයසිංහ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: