අජිත් පැරකුම් ජයසිංහ

පුවත්පත්වල පළ වන මංගල යෝජනා දැන්වීම්වල කුලය පිළිබඳ සඳහන නීතියෙන් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෑතකදී කළ ප්‍රකාශයකින් වාර්තා විය. බැලූ බැල්මට මෙය ප්‍රගතිශීලී සමාජ ප්‍රතිසංස්කරණයක් ලෙස පෙනී යා හැකිය. එහෙත් රට හමුවේ ඇති ගැඹුරු ආර්ථික අර්බුද, රාජ්‍ය පරිපාලන අකාර්යක්ෂමතා සහ ව්‍යුහාත්මක සමාජ විෂමතා විසඳීම පසෙක ලා මෙවැනි තහංචි වෙත යොමු වීම, සැබෑ ප්‍රතිසංස්කරණ වෙනුවට ‘සංකේතාත්මක ප්‍රගතිශීලීත්වයක්’ ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් ලෙස හඳුනා ගත හැකිය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ, මෙවැනි පියවරක් තුළින් නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බල සීමාව සහ පුරවැසියාගේ පෞද්ගලික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු වීමයි.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

ශ්‍රී ලංකාවේ කුල යථාර්ථය සහ තහනමේ නිෂ්ඵලභාවය

සමාජ විද්‍යාත්මකව විමසන විට, ශ්‍රී ලංකාවේ වැඩවසම් යුගයේ විධිමත් ආර්ථික හා පරිපාලන සංස්ථාවක් ලෙස ක්‍රියාත්මක වූ කුල ක්‍රමය, නූතන අධ්‍යාපනය, නාගරීකරණය සහ වෙළෙඳපොළ ආර්ථිකය හමුවේ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව තිබේ. පාරම්පරික කුල වෘත්ති, ආසන පැනවීම් හා අවමන් සහගත ඇමතුම් පද වැනි ප්‍රසිද්ධ ධුරාවලි බොහෝ දුරට සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. පාසල්, විශ්වවිද්‍යාල, රැකියා ස්ථාන සහ නාගරික පොදු අවකාශවලදී විවිධ කුලවල ජනයා නිදහසේ මිශ්‍ර වීම අද සාමාන්‍ය දෙයකි.

එහෙත් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ‘කුලයෙන් තොර’ සමාජයක් යැයි පැවසීම ද සත්‍යයෙන් තොරය. සමාජ විද්‍යාඥයන් වන බ්‍රයිස් රයන්ගේ සිට කාලිංග ටියුඩර් සිල්වා දක්වා පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි, කුලය තවමත් මෙරට ආයතනික හා සමාජ ස්තර කිහිපයක ප්‍රබලව පවතී. බෞද්ධ භික්ෂු සමාජයේ නිකාය බෙදීම්, උතුරු පළාතේ සහ ඇතැම් ග්‍රාමීය හා වතුකර ප්‍රජාවන් තුළ පවතින සමාජ බැහැර කිරීම් මෙන්ම මැතිවරණ දේශපාලනයේ අපේක්ෂකයන් තේරීමේ ගණන් බැලීම් තුළ කුලය තවමත් නිහඬව ක්‍රියාත්මක වේ. පෞද්ගලික ජීවිතයේදී එය වඩාත් පැහැදිලිව ප්‍රකාශ වන්නේ ‘අන්තඃවිවාහය’ හෙවත් සමකුල විවාහය (Endogamy) තුළිනි.

මෙවැනි ගැඹුරු සමාජ යථාර්ථයක් පවතිද්දී, පුවත්පත් මංගල දැන්වීමකින් ‘කුලය’ යන වචනය නීතියෙන් මකා දැමීම ප්‍රායෝගිකව කෙතරම් අර්ථශූන්‍ය ද යන්න පැහැදිලිය:

මාධ්‍ය පරිවර්තනය: අද තරුණ පරපුර සහකරුවන් සොයා ගන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලින් නොව සමාජ මාධ්‍ය, විදේශීය වශයෙන් පාලනය වන අන්තර්ජාල මංගල වෙබ් අඩවි, ජංගම යෙදුම් සහ පෞද්ගලික කපු මහතුන් හරහාය. පුවත්පත් දැන්වීම් වාරණය කිරීමෙන් ආවරණය වන්නේ දිනෙන් දින කුඩා වන පාඨක කොටසක් පමණි.

සංකේතාත්මක භාෂාවට යොමු වීම: දැන්වීමේ කුලය සඳහන් කිරීම තහනම් කළහොත්, පෙළපත් නාමය, උපන් ප්‍රදේශය හෝ “සම පසුබිමක් ඇති වැදගත් පවුලක” වැනි සංකේතාත්මක යෙදුම් හරහා එම අනන්‍යතාවම වක්‍රව සන්නිවේදනය කෙරෙනු ඇත. එසේත් නැතිනම් පළමු දුරකථන ඇමතුමේදීම එම ප්‍රශ්නය මතු වනු ඇත. වචනයක් තහනම් කිරීමෙන් මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් නොවේ. සිදු වන්නේ අදාළ භාවිතය අඳුරු අවකාශයකට තල්ලු වීම පමණි.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල අනන්‍යතා ස්තරායණය සහ නෛතික සීමාව

කුලය හෝ පාරම්පරික පසුබිම පදනම් කර ගත් සමාජ බෙදීම් පවතින්නේ ශ්‍රී ලංකාවේ හෝ දකුණු ආසියාවේ පමණක් නොවේ. ලොව දියුණුතම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පවා පාරම්පරික, පන්තිමය, වාර්ගික සහ සංස්කෘතික ස්තරායණ තවමත් පුද්ගල සබඳතා සහ විවාහ තෝරා ගැනීම් හැඩගස්වයි. එහෙත් එම රටවල් කිසිවක් පුරවැසියන්ගේ පෞද්ගලික විවාහ රුචිකත්ව වාරණය කිරීමට නීති නො පනවයි. ඒ වෙනුවට ඒවා මැදිහත් වන්නේ පොදු අවකාශයේ වෙනස්කම් කිරීම වැළැක්වීමටය.

එක්සත් රාජධානිය: ලොව පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් හිමි බ්‍රිතාන්‍යයේ පවා රදල පෙළපත්, සමාජ පන්ති අනන්‍යතාව, උච්චාරණ විලාස සහ ඊටන්, ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් වැනි ප්‍රභූ අධ්‍යාපන ආයතන පදනම් කර ගත් සමාජ බෙදීම් ඉතා ප්‍රබලය. බී.බී.සී. ආයතනය සහ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල (LSE) එක්ව කළ Great British Class Survey පර්යේෂණය ඇසුරින් මයික් සැවේජ් ඇතුළු විද්වතුන් රචනා කළ Social Class in the 21st Century (2015) සහ ඩේවිඩ් කැනඩයින්ගේ Class in Britain (1998) කෘතිවලින් මෙම පන්ති ස්තරායණය ජීවන රටා හා සමාජ සබඳතා තීරණය කරන ආකාරය පැහැදිලිව පෙන්වා දී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය: පුද්ගල නිදහස උත්කර්ෂයට නංවන ඇමරිකාව තුළ පවා වාර්ගික ධුරාවලි, ආගමික හා නිකායික අනන්‍යතා (උදා: සුදු ඇන්ග්ලෝ-සැක්සන් ප්‍රොතෙස්තන්ත WASP ප්‍රභූන්, යුදෙව්, කතෝලික, ඉවැන්ජලිකල් ප්‍රජාවන්) විවාහ තෝරා ගැනීම්වලට ඍජුව බලපායි. පුලිට්සර් ත්‍යාගලාභී ඉසබෙල් විල්කර්සන් සිය Caste: The Origins of Our Discontents (2020) කෘතියෙන් පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පවා ඇමරිකානු වර්ණභේදවාදී ධුරාවලිය අදෘශ්‍යමාන කුල ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. රොබට් පට්නම් සහ ඩේවිඩ් කැම්බල්ගේ American Grace (2010) කෘතියෙන් ආගමික අනන්‍යතා සමාජ කව හැඩගස්වන ආකාරය විග්‍රහ කෙරේ. වැදගත්ම කරුණ නම්, ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් නීති (1964 Civil Rights Act සහ Fair Housing Act) රැකියා, නිවාස සහ පොදු සේවාවලදී වෙනස්කම් කිරීම දැඩිව තහනම් කළ ද, විශේෂිත ආගමික හෝ සංස්කෘතික ප්‍රජාවන් සඳහා වෙන් වූ විවාහ හා සබඳතා වේදිකා පවත්වා ගෙන යාමට රාජ්‍යය බාධා නො කිරීමයි.

ජපානය: අතිශය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ජපානයේ පවා ‘බුරකුමින්’ (Burakumin) වැනි ඓතිහාසික කුල අනන්‍යතා සහ උගත් විශ්වවිද්‍යාලය මත පදනම් වූ ධුරාවලි (Gakureki Shakai) සමාජ සබඳතා හා විවාහ කටයුතුවලට බලපාන බව ජෝර්ජ් ඩි වෝස් හා හිරෝෂි වගට්සුමාගේ Japan’s Invisible Race (1966) මෙන්ම යොෂියෝ සුගිමොටෝගේ An Introduction to Japanese Society කෘතියෙහි විග්‍රහ වේ. 1976දී ජපන් රජය පවුල් ලේඛන (Koseki) තෙවන පාර්ශ්ව විසින් පරීක්ෂා කිරීම නීතියෙන් සීමා කළේ පෞද්ගලික තොරතුරු අනිසි ලෙස යොදා ගෙන රැකියා හා සමාජ වෙනස්කම් කිරීම වැළැක්වීමට මිස, පුද්ගලයන් ස්වේච්ඡාවෙන් තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම තහනම් කිරීමට නොවේ.

ප්‍රංශය: ‘නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය’ ව්‍යවස්ථාපිත මූලධර්ම ලෙස පිළිගන්නා ප්‍රංශයේ පවා සංස්කෘතික ප්‍රාග්ධනය, පවුල් පසුබිම සහ Grandes Écoles වැනි විශේෂිත ආයතන හරහා ගොඩනැඟෙන සමාජ කව විවාහ තෝරා ගැනීම් තීරණය කරන බව සමාජ විද්‍යාඥ පියෙර් බෝඩියු සිය Distinction (1979) කෘතියෙන් තහවුරු කර ඇත.

ඉන්දියාව: කුල පීඩනය අප රටට වඩා බෙහෙවින් දරුණු ලෙස පවතින ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 සහ 17 වගන්ති මඟින් කුල වෙනස්කම් කිරීම සහ අස්පෘශ්‍යතාව දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. එසේ තිබියදීත්, පෞද්ගලික විවාහ තෝරා ගැනීම සහ පොදු වෙනස්කම් කිරීම අතර නෛතික සීමාව හඳුනා ගනිමින්, එරට පුවත්පත්වල සහ දැවැන්ත මංගල වෙබ් අඩවිවල කුලය සඳහන් කිරීම රාජ්‍ය වාරණයට ලක් කර නැත.

සමූහ අනන්‍යතාව, සමරූපීතා නැඹුරුව සහ ස්වෝත්තමවාදය අතර වෙනස

මෙම සංවාදයේදී පැහැදිලිව වෙන් කර හඳුනා ගත යුතු සංකල්ප දෙකක් තිබේ. ඒ සමූහ අනන්‍යතාව (Group Identity) සහ ස්වෝත්තමවාදය (Supremacism) යන්නයි.

ඕනෑම පුද්ගලයකුගේ අනන්‍යතාව ගොඩනැඟෙන්නේ කුලයෙන් පමණක් නොවේ. ජාතිය, ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, උපන් ප්‍රදේශය, උගත් පාසල, වෘත්තිය සහ දේශපාලන මතවාදය ආදී බහුවිධ සාධක එයට අයත් වේ. සමාජ විද්‍යාවේ ‘සමරූපීතා නැඹුරුව’ (Homophily) ලෙස හඳුන්වන මානව ස්වභාවය අනුව, තමන්ට සමාන සංස්කෘතික හුරුපුරුදුකම්, ජීවන රටා හෝ වටිනාකම් ඇති සහකරුවකු තෝරා ගැනීමට බොහෝ මිනිසුන් කැමැත්තක් දැක්වීම ස්වාභාවිකය. ආදි ශිෂ්‍යයන් තම පාසල පිළිබඳ දක්වන අභිමානය හෝ යම් ප්‍රදේශයක වැසියන් තම ප්‍රාදේශීය සංස්කෘතිය කෙරෙහි දක්වන ලැදියාව මෙන්, පෞද්ගලික මට්ටමින් සමූහ අනන්‍යතාවක් පවත්වා ගෙන යාම හෝ සමාන පසුබිමකින් විවාහයක් අපේක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සැබෑ අනතුරක් මතු වන්නේ එම අනන්‍යතාව ස්වෝත්තමවාදයක් බවට — එනම් අනෙකා පහත් කොට තමා උසස් යැයි සලකමින් අන් අයගේ අයිතිවාසිකම් හා ගෞරවය උල්ලංඝනය කරන බල මෙවලමක් බවට — පෙරළෙන මොහොතේදීය. එය ප්‍රකාශයට පත් වන්නේ:

– සෙසු ප්‍රජාවන් පහත් කොට සැලකීම සහ අවමානයට ලක් කිරීම.

– රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලදී අනන්‍යතාව මත අධ්‍යාපන, රැකියා, දේශපාලන සහ ආර්ථික අවස්ථා අහිමි කිරීම.

– පොදු ස්ථානවලට ඇතුළු වීමට හෝ නිදහසේ මිශ්‍ර වීමට බාධා පැමිණවීම.

– අනන්‍යතාව මත පදනම්ව පළි ගැනීම, බලහත්කාරයෙන් අන් අයගේ අනන්‍යතාව යටපත් කිරීම සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් කිරීම යනාදී ක්‍රියාමාර්ග හරහාය.

පොදු අවකාශය, පෞද්ගලික නිදහස සහ ව්‍යවස්ථාපිත සීමාව

නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමක් වන දාර්ශනික ජෝන් ස්ටුවර්ට් මිල්ගේ ‘හානි මූලධර්මය’ (Harm Principle) අනුව, රාජ්‍ය බලය යොදා පුරවැසියාගේ නිදහස සීමා කිරීම යුක්ති සහගත වන්නේ අන් අයට ඍජු හානියක් හෝ අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වන අවස්ථාවලදී පමණි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී නීතිය පොදු අවකාශය (Public Sphere) සහ පෞද්ගලික අවකාශය (Private Sphere) අතර පැහැදිලි සීමාවක් පවත්වා ගනී.

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාව මඟින් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය මත කිසිදු පුරවැසියකුට වෙනස්කම් කිරීම දැනටමත් තහනම් කර ඇත. ඊටත් පෙර සම්මත කළ 1957 අංක 21 දරන සමාජ ආබාධ වැළැක්වීමේ පනත (1971දී සංශෝධිත) මඟින් පොදු ස්ථාන, දේවස්ථාන, ආපනශාලා හා පාසල්වල කුලය මත සිදු කරන බැහැර කිරීම් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කොට තිබේ. අනෙක් අතට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව යටතේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අතර, පෞද්ගලික විවාහ කැමැත්තක් පළ කිරීම 15 වන ව්‍යවස්ථාවේ සඳහන් සීමා කිරීම්වලට යටත් කළ හැකි වරදක් නොවේ.

තවද, පුවත්පත් මංගල දැන්වීම් පිරික්සා බැලුවහොත් ඒවායේ සඳහන් වන්නේ කුලය පමණක් නොවේ. ජාතිය, ආගම, සමේ පැහැය (“පැහැපත්” වැනි වර්ණභේදී ඉල්ලීම්), උස, දෑවැද්ද සහ දේපළ, වෘත්තිය, උගත් පාසල මෙන්ම හඳහන් ගැළපීම් ද ඒවායේ බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසය තුළ දකුණේ හා උතුරේ දේශපාලන නැඟිටීම්වලට කුල පීඩනය යටිපෙළ සාධකයක් ලෙස බලපෑ අවස්ථා තිබුණ ද, වඩාත්ම දරුණු ලේ වැගිරීම්, පළි ගැනීම් සහ අවස්ථා අහිමි කිරීම්වලට තුඩු දී ඇත්තේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ සමාජ පන්තිය වැනි අනන්‍යතා සාධකය. ඒ සියල්ල තිබියදී කුලය පමණක් හුදෙකලා කොට මංගල දැන්වීම් වාරණය කිරීමට යාම තුළ කිසිදු නෛතික හෝ තාර්කික අනුකූලතාවක් නැත.

රජයක් සැබෑ ලෙසම කුල පීඩනය හා සමාජ අසමානතාව පිටුදැකීමට කැප වන්නේ නම්, කළ යුත්තේ පුරවැසියන්ගේ පෞද්ගලික විවාහ දැන්වීම් වාරණය කිරීම නොවේ. ඒ වෙනුවට, 1957 සමාජ ආබාධ වැළැක්වීමේ පනත නූතන යුගයට ගැළපෙන සේ බලාත්මක කිරීම, උතුරේ සහ ග්‍රාමීය ප්‍රදේශවල පීඩිත ප්‍රජාවන්ට ඉඩම්, අධ්‍යාපන හා ආර්ථික අවස්ථා තහවුරු කිරීම සහ කුලය, ජාතිය, ආගම, ලිංගිකත්වය හෝ පක්ෂ පාට නො සලකා සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන ශක්තිමත් නෛතික හා ආයතනික ව්‍යුහයක් ගොඩනැඟීමය. නීතියේ බලයෙන් අනන්‍යතා මකා දැමීමට යාම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ජීවගුණය රැඳී ඇත්තේ විවිධ අනන්‍යතා සහිත පුරවැසියන්ට පෞද්ගලික නිදහසත්, පොදු අවකාශයේ සමාන ගෞරවයත් එකසේ භුක්ති විඳීමට ඉඩ සැලසීම තුළය.

1957 අංක 21 දරන සමාජ ආබාධ වැළැක්වීමේ පනත (Prevention of Social Disabilities Act, No. 21 of 1957) යනු කුලය (caste) පදනම් කර ගෙන පුද්ගලයන්ට සිදු කරන සමාජ අසාධාරණකම් සහ වෙනස්කම් කිරීම් තහනම් කරමින්, එය දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකි.

1957 අප්‍රේල් 13 වන දින සම්මත වූ මෙම පනතේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

පනතේ ප්‍රධාන අරමුණ කුල භේදය නිසා යම් පුද්ගලයකුට පොදු ස්ථාන භාවිත කිරීමට හෝ සමාජ අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථා අහිමි කිරීම (“සමාජ ආබාධ” පැනවීම) වැළැක්වීම මෙහි මූලික අරමුණයි.

වරදක් ලෙස සැලකෙන ක්‍රියා (පනතේ 3 වන වගන්තිය) කුලය පදනම් කර ගෙන යම් පුද්ගලයකුට පහත දේ සඳහා බාධා කිරීම හෝ වැළැක්වීම නීතියෙන් වරදකි:

අධ්‍යාපනය. ඕනෑම අධ්‍යාපන ආයතනයකට සිසුවකු ලෙස ඇතුළත් වීමට හෝ ගුරුවරයකු ලෙස සේවය කිරීමට බාධා කිරීම.

වෙළෙඳසල් සහ ආපනශාලා. කඩසාප්පු, වෙළෙඳපොළවල්, පොදු හෝටල්, ආපනශාලා හෝ තානායම්වලට ඇතුළු වීමට සහ සේවා ලබා ගැනීමට ඉඩ නො දීම.

පොදු සේවා සහ ස්ථාන. පොදු ළිං හෝ ජල මූලාශ්‍රවලින් ජලය ලබා ගැනීම, කරණවෑමි සාප්පු (Salons) හෝ රෙදි සෝදන ස්ථානවලින් සේවා ලබා ගැනීම, පොදු සුසාන භූමි භාවිත කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම වැළැක්වීම.

ආගමික ස්ථාන. ආගමික සිද්ධස්ථානවලට ඇතුළු වීමට හෝ වන්දනාමාන කිරීමට බාධා කිරීම.

ඇඳුම් පැලඳුම්. යම් කුලයකට අයත් වීම නිසා යම් ඇඳුමක් ඇඳීමට බාධා කිරීම.

රාජ්‍ය සේවය. රාජ්‍ය නිලධාරියකුට තම රාජකාරි ඉටු කිරීමට බාධා කිරීම හෝ රාජ්‍ය සේවාවලදී වෙනස්කම් කිරීම.

දඬුවම් සහ නීතිමය ප්‍රතිපාදන

මුල් පනත (1957). මෙම වරද සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරු වුවහොත්, මාස 6ක් දක්වා සිරදඬුවමකට හෝ රුපියල් 100ක් දක්වා දඩයකට යටත් විය.

1971 සංශෝධනය (1971 අංක 18 දරන පනත). මෙම නීතිය තවදුරටත් ශක්තිමත් කරමින් දඬුවම්, වසර 3ක් දක්වා සිරදඬුවමක් හෝ රුපියල් 3,000ක් දක්වා දඩයක් ලෙස ඉහළ නංවන ලදි.

ව්‍යාපාර බලපත්‍ර අවලංගු කිරීම. යම් ව්‍යාපාරික ස්ථානයකදී මෙවැනි වරදක් සිදු වුවහොත්, එම ව්‍යාපාරයේ බලපත්‍රය වසර 3කට අවලංගු කිරීමේ බලය ද අධිකරණයට හිමි වේ.

පොලිස් බලතල. කුල භේදය මත යම් ස්ථානයකට ඇතුළු වීම වැළැක්වීමට ඉදි කර ඇති බාධක ඉවත් කිරීමට හෝ වසා දමා ඇති දොරටු විවෘත කිරීමට පොලිස් නිලධාරීන්ට මෙම පනත මඟින් බලය පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *