අජිත් පැරකුම් ජයසිංහ

රුවන්වැලි මහ සෑය හැඳින්වීම සඳහා ‘ස්මාරකය’ යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය හුදෙක් වචනයක අර්ථය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, ජාතික සංස්කෘතික අනන්‍යතාව සහ රාජ්‍ය ආයතන මෙන්ම දේශපාලන බලධාරීන් භාවිත කරන භාෂාව අතර පවතින සම්බන්ධය පිළිබඳ ගැඹුරු සංවාදයකි.

පුරාවිද්‍යාත්මක හෝ නෛතික වර්ගීකරණයකදී රුවන්වැලි මහ සෑය ‘ස්මාරකයක්’ ලෙස තාක්ෂණිකව හැඳින්විය හැකි වුවත්, එම වචනයෙන් එහි සම්පූර්ණ ආගමික, සංස්කෘතික හා ආධ්‍යාත්මික වැදගත්කම නිරූපණය වන්නේ ද යන්න විමසා බැලිය යුතුය. සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ රුවන්වැලි මහ සෑය යනු අතීතයෙන් ඉතිරි වූ අජීවී ඉදිකිරීමක් පමණක් නොව, අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව සලකා වන්දනාමාන කරන පූජනීය වස්තුවකි.

එබැවින් එය හැඳින්වීමේදී භාවිත කරන වචන පිළිබඳ බෞද්ධ සමාජය සංවේදී වීම ඉතා සාධාරණය. සිංහල බෞද්ධයන් ‘ස්මාරක’ යන වචනය රුවන්වැලිසෑයට යෙදීම සම්බන්ධයෙන් දක්වන නුරුස්නාව හුදු ආවේගයක් නොව, සියවස් ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු භාෂාමය හා ආධ්‍යාත්මික විඥානයක ප්‍රතිඵලයකි. ජන සමාජයේ එම සංවේදීතාව තේරුම් ගන්නවා වෙනුවට, පාලක පක්ෂයේ සංස්කෘතික බලධාරීන් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය හිතවතුන් යටත්විජිත නීති පොත්වල වගන්ති උපුටා දක්වමින් එම වචනයම ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීම දේශපාලනික මෙන්ම සංස්කෘතික අඥානකමකි.

‘Monument’ යන බටහිර සංකල්පය සහ ‘ස්මාරකය’ යන්නෙහි නිරුක්තිය

ඉංග්‍රීසි Monument යන වචනය පැරණි ප්‍රංශ භාෂාව හරහා බිඳී ආවේ ලතින් භාෂාවේ Monumentum යන නාම පදයෙනි. එම ලතින් පදය නිර්මාණය වී ඇත්තේ “සිහිපත් කරවීම”, “මතක් කර දීම” හෝ “අවවාද කිරීම” යන මූලික අර්ථය දෙන Monere යන ලතින් ක්‍රියා පදයෙනි. තුලනාත්මක ඉන්දු-යුරෝපීය වාග් විද්‍යාවට අනුව එය ප්‍රාග්-ඉන්දු-යුරෝපීය men- (සිතීම / මනස) යන ධාතුවෙන් උපත ලබා ඇති අතර, සංස්කෘතයේ “මනස් / මනස” යන පදයේ මූලය වන “මන්” ධාතුවට ඓතිහාසික ඥාතිත්වයක් දරයි.

බටහිර සංස්කෘතිය සහ යුරෝපීය භාෂා ව්‍යවහාරය තුළ Monument යන්න ප්‍රධාන සන්දර්භ තුනක් යටතේ භාවිත වේ:

  1. සොහොන් කොත්: මියගිය පුද්ගලයකු වෙනුවෙන් ඉදිකළ සොහොන් ගැබ හෝ සොහොන් කොත (රෝම යුගයේ සහ මධ්‍යකාලීන ඉංග්‍රීසි භාෂාවේ මුල්ම අර්ථය මෙයයි).
  2. ලෞකික අනුස්මරණ ඉදිකිරීම්: යුද ජයග්‍රහණයක්, මියගිය සෙබළුන්, දේශපාලන නායකයකු හෝ අතීත සිදුවීමක් සිහිපත් කිරීම උදෙසා ඉදිකළ කුලුනු, ආරුක්කු සහ පිළිරූ (උදා: වොෂින්ටන් ස්මාරකය).
  3. අතීත ශිෂ්ටාචාරවල අජීවී පුරාවිද්‍යාත්මක නටබුන්: අද වන විට ජීවමාන ආගමික හෝ සමාජීය ක්‍රියාකාරීත්වයකින් තොරව, හුදු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් පමණක් ඉතිරිව ඇති පැරණි ගොඩනැඟිලි (උදා: එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ්, රෝමයේ කොලෝසියම).

බටහිර සංස්කෘතිය තුළ පවා වර්තමානයේ කිතුනු බැතිමතුන් ජීවමානව වන්දනාමාන කරන දේවස්ථානයක් සාමාන්‍ය ව්‍යවහාරයේදී Monument එකක් ලෙස හඳුන්වන්නේ නැත. එම වචනයෙන් සැමවිටම ගම්‍ය වන්නේ අතීතයට අයත්, අවසන් වූ හෝ මියගිය දෙයක් සිහිපත් කරන භෞතික සිහිවටනයක් යන ලෞකික අදහසයි.

සිංහල භාෂාවේ යෙදෙන “ස්මාරකය” යන පදය ‘සිහිපත් කිරීම’ යන අර්ථය දෙන සංස්කෘත “ස්මෘ” යන ක්‍රියා ධාතුවෙන් (“ස්මරණය” සහ “ස්මෘතිය” යන පද සෑදුණු මූලයෙන්ම) නිර්මාණය වූවකි. එහි ප්‍රයෝජ්‍ය ක්‍රියා රූපය (අනුන් ලවා සිහිපත් කරවීම – ස්මාරයති) පදනම් කරගෙන ‘-අක’ ප්‍රත්‍යය එක් වීමෙන් (ස්මෘ ➔ ස්මාර + අක) “ස්මාරක” යන සංස්කෘත ප්‍රකෘතිය සෑදේ.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කරුණක් වන්නේ, අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ලියැවුණු කිසිදු සිංහල සෙල්ලිපියක හෝ අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, සිංහල ථූපවංසය ආදී කිසිදු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථයක “ස්මාරකය” යන වචනය හමු නො වීමයි.

19 වැනි සියවසේ අග භාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ පුරාවිද්‍යා සමීක්ෂණ සහ පුරාවස්තු ආඥාපනත (Antiquities Ordinance) වැනි නෛතික ලේඛන සම්පාදනය කිරීමේදී, ලතින් Monere (සිහිපත් කරවීම) යන මූලයෙන් ආ ඉංග්‍රීසි Monument යන වචනය පරිවර්තනය කිරීම සඳහා සංස්කෘත “ස්මෘ” (සිහිපත් කිරීම) ධාතුවෙන් සෑදුණු “ස්මාරක” යන විශේෂණ පදයට නව පාරිභාෂික නාම පද අර්ථයක් ආරෝපණය කර ඇති බව අනුමාන කළ හැකිය.

මෙම වෙනස අවබෝධ කර ගැනීමට ඉන්දියාවේ භාෂා ව්‍යවහාරය කදිම නිදසුනකි. මෝගල් අධිරාජ්‍යයා වූ ෂා ජහාන් විසින් සිය මියගිය බිසව වූ මුම්ටාස් මහල්ගේ මෘත දේහය මිහිදන් කර ඉදිකළ ‘ටජ් මහල්’ යනු වන්දනාමාන කරන දේවස්ථානයක් නොව සොහොන් මන්දිරයකි. එබැවින් හින්දි සහ උර්දු ඇතුළු ඉන්දීය භාෂාවල ටජ් මහල් හැඳින්වීමට “ස්මාරක්” (स्मारक – ස්මාරකය), “මකබරා” (मक़बरा – සොහොන් ගැබ) හෝ “යාද්ගාර්” (यादगार – සිහිවටනය) යන පද සෘජුවම භාවිත වේ. එහෙත් ඉන්දීය ජනතාව තමන් ජීවමානව වන්දනාමාන කරන කාශි විශ්වනාථ දේවාලය හෝ බුද්ධගයාවේ මහාබෝධි විහාරය සාමාන්‍ය ව්‍යවහාරයේදී “ස්මාරක්” ලෙස හඳුන්වන්නේ නැත. ඒවා හඳුන්වන්නේ “මන්දිර්”, “ධාම්”, “විහාර්” හෝ “ස්තූප් / චෛත්‍ය” යන පූජනීය නාමවලිනි.

සිංහල බෞද්ධ සම්ප්‍රදායේ ‘මහ සෑය’, ‘චෛත්‍යය’ සහ ‘ස්තූපය’

‘මහ සෑය’, ‘චෛත්‍යය’, ‘ස්තූපය’ සහ ‘දාගැබ’ යන පද සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හුදු ගොඩනැඟිලි හඳුන්වන වචන නොව, ගැඹුරු දාර්ශනික හා ආධ්‍යාත්මික අර්ථ ගැබ් වූ පද පද්ධතියකි.

චෛත්‍යය සහ සෑය: “රැස් කිරීම” හෝ “ගොඩගැසීම” යන අර්ථය දෙන සංස්කෘත “චි” ධාතුවෙන් “චිතා” (ධාතු තැන්පත් කළ ස්ථානය) යන්නත්, එයින් සංස්කෘත “චෛත්‍ය” යන තත්සම පදයත් නිර්මාණය වී ඇත. එය පාලි භාෂාවේදී “චේතිය” බවට පත් වේ. සංස්කෘත හා පාලි තාලුජ ‘ච’ අක්ෂරය සිංහලයේදී දන්තජ ‘ස’ බවට පත් වීමේ රීතියට අනුවත්, මැද ඇති ‘ත’ අක්ෂරය ලොප් වී ස්වර පෙරළියකට ලක් වීමෙනුත් (චි ➔ චෛත්‍ය ➔ චේතිය ➔ සේය ➔ සෑය) සිංහලයේ “සෑය” යන පදය නිර්මාණය වී තිබේ. පාලි අටුවා සම්ප්‍රදාය තුළ “චිත්තීකරණීයට්ඨේන චේතියං” (සිතින් ගෞරව කළ යුතු, චිත්ත ප්‍රසාදය ඇති කරන වන්දනීය වස්තුවක් බැවින් ‘චේතිය’ වේ) යනුවෙන් මෙය විවරණය කෙරේ. බෞද්ධ සම්ප්‍රදායේ ත්‍රිවිධ චෛත්‍ය (ශාරීරික, පාරිභෝගික, උද්දේසික) වර්ගීකරණය තුළ ජීවමාන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද “චෛත්‍ය” ගණයට අයත් වීමෙන් එය හුදු අනුස්මරණ ඉදිකිරීමක් නො වන බව තහවුරු වේ.

ස්තූපය / ථූපය: “ඉහළට නැංවීම” හෝ “මුදුන් කිරීම” යන අර්ථය දෙන සංස්කෘත “ස්තූප්” ධාතුවෙන් සෑදුණු “ස්තූප” යන්න පාලි භාෂාවේදී “ථූප” බවටත්, පුරාණ සිංහල සෙල්ලිපිවල “තුබ / තුප” සහ සම්භාව්‍ය සිංහලයේ “තුඹ” බවටත් පත් විය. දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ විසින්ම “ථූපාරහ” හෙවත් ස්තූප තනවා පුද සත්කාර ලැබීමට සුදුසු උතුමන් සිව්දෙනකු පිළිබඳව දේශනා කොට ඇත. ථේරවාදී බෞද්ධ දර්ශනයට අනුව ධාතූන් වහන්සේලා නිධන් කළ ස්තූපයක් යනු මියගිය අයකුගේ සොහොනක් නොවේ. “ධාතූසු ඨිතාසු බුද්ධෝ ඨිතෝව හෝති” (ධාතූන් වහන්සේලා වැඩ සිටින තාක් කල් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින හා සමාන වේ) යන පිළිගැනීම මත පදනම් වූ ජීවමාන බුද්ධත්වයේ සංකේතයකි.

ඓතිහාසික මූලාශ්‍ර පිරික්සීමේදී රුවන්වැලි මහ සෑය හැඳින්වීමට අතීතයේ සිට භාවිත වූ නාම ඉතා පැහැදිලිය. පුරාණ සෙල්ලිපිවල “මහතුබ” (මහා ථූපය), “මහචෙත” (මහා චේතිය) සහ “රුවන්මැලි මහසෙය” ලෙසත්, මහාවංසය, දීපවංසය හා ථූපවංසය වැනි පාලි වංශකතාවල “මහාථූප”, “සුවණ්ණමාලි මහාචේතිය” සහ “හේමමාලි චේතිය” ලෙසත් එය හඳුන්වා ඇත. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ සහ ජන වහරේ එය හැඳින්වෙන්නේ “රුවන්වැලි මහ සෑය”, “ස්වර්ණමාලී මහා දාගැබ” (ධාතු + ගර්භය > දාගැබ විය හැකිය) සහ ජීවමාන උතුමකුට අමතන “සෑ රජාණන් වහන්සේ” යන ගෞරව නාමයෙනි.

නීතියේ වර්ගීකරණය සහ ආගමික අර්ථ සංකෝචනය

ශ්‍රී ලංකාවේ පුරාවස්තු ආඥාපනත තුළ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා “ස්මාරක” (Monuments) යන නෛතික නිර්වචනය පවතී. එවැනි වර්ගීකරණයක අරමුණ වන්නේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හඳුනාගෙන නීතිමය වශයෙන් සංරක්ෂණය කිරීමයි. ඒ අනුව රුවන්වැලි මහ සෑය පුරාවිද්‍යාත්මක උරුමයක් වීමත්, බෞද්ධයන්ගේ වන්දනාවට ලක් වන පූජනීය ස්ථානයක් වීමත් එකිනෙකට පටහැනි කරුණු නොවේ.

එහෙත් ගැටලුව පැන නඟින්නේ පටු නෛතික හෝ තාක්ෂණික යෙදුමක් සාමාන්‍ය හා සංස්කෘතික සන්නිවේදනය තුළට ගෙන විත්, එම ස්ථානයේ ජීවමාන ආගමික වැදගත්කම යටපත් කිරීමට උත්සාහ කරන විටය. වාග් විද්‍යාවේ අර්ථ විද්‍යාත්මක මූලධර්ම අනුව, ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑය හුදු “ස්මාරකයක්” ලෙස හැඳින්වීම මඟින් බරපතළ “අර්ථ සංකෝචනයක්” (Semantic Narrowing / අර්ථ හානියක්) සිදු වේ. එනම්, එහි ඇති ජීවමාන පූජනීය හා ආධ්‍යාත්මික අර්ථය කප්පාදු වී හුදු අජීවී භෞතික සිහිවටනයක මට්ටමට එය පහත හෙළනු ලබයි.

ශ්‍රී ලංකාවේ ජාතික සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සංවාදයේදී සිංහල බෞද්ධ උරුමයට හිමි ස්ථානය නො සලකා හැරිය නො හැකිය. එම උරුමය පිළිබඳ ගෞරවය පළ කිරීම වෙනත් ආගමික හෝ සංස්කෘතික උරුම අවතක්සේරු කිරීමක් නොවේ. ඒ හා සමානව, යටත්විජිත යුගයේ සැකසුණු නෛතික වර්ගීකරණයක් භාවිත කිරීම ද මෙරට බහුතර ජනතාවගේ ආගමික සංවේදීතා නො සලකා හැරීමට හෝ ඔවුන්ගේ ආධ්‍යාත්මික වටිනාකම් හෑල්ලු කිරීමට හේතුවක් නො විය යුතුය.

වඩාත් සුදුසු වචන භාවිතයක් කරා

නිල ලේඛනවල සහ මහජන සන්නිවේදනයේදී යටත්විජිත ‘Monument / ස්මාරක’ යන වචනය හැම තැනකටම ගෙඩි පිටින් යොදනවා වෙනුවට, ‘පුරාවිද්‍යාත්මක උරුම ස්ථානය’ (Archaeological Heritage Site), ‘ඓතිහාසික උරුම ස්ථානය’ හෝ ‘පූජනීය බෞද්ධ උරුම ස්ථානය’ (Sacred Buddhist Heritage Site) වැනි වඩාත් පුළුල් හා නිවැරදි යෙදුම් භාවිත කිරීම සලකා බැලිය හැකිය. එහිදී ලෞකික සිහිවටන හා අජීවී නටබුන් ‘ස්මාරක’ ලෙසත්, රුවන්වැලි මහ සෑය සහ ශ්‍රී මහා බෝධිය වැනි ජීවමාන වන්දනීය ස්ථාන ‘පූජනීය උරුම ස්ථාන’ ලෙසත් වෙන් කර දැක්වීමෙන් ස්ථානයක ඓතිහාසික වටිනාකම සමඟ එහි ආගමික හා සංස්කෘතික ස්වභාවය ද නිවැරදිව පැහැදිලි කළ හැකිය.

මෙවැනි යෙදුම් පවතින නෛතික නිර්වචනවලට ආදේශ කළ යුතු ද, නැතහොත් රාජ්‍ය හා මහජන සන්නිවේදනයේදී විස්තරාත්මක යෙදුම් ලෙස භාවිත කළ යුතු ද යන්න භාෂා විශේෂඥයන්, පුරාවිද්‍යාඥයන් සහ අදාළ රාජ්‍ය ආයතන සාකච්ඡා කළ යුතුය. අරමුණ විය යුත්තේ වචන තහනම් කිරීම නොව, ඒවා භාවිත කරන සන්දර්භය වඩාත් ශාස්ත්‍රීය හා සංස්කෘතික වශයෙන් නිවැරදි කිරීමයි. රුවන්වැලි මහ සෑය පිළිබඳව කතා කරන විට ‘මහ සෑය’, ‘චෛත්‍යය’ හෝ ‘ස්තූපය’ යන සාම්ප්‍රදායික හා වාග් විද්‍යාත්මකව නිවැරදි නාම භාවිත කිරීම එහි ආගමික අනන්‍යතාවට ගරු කරන ස්වාභාවිකම ක්‍රමයයි.

වචනයෙන් ඔබ්බට ගිය ප්‍රශ්නය

රුවන්වැලි මහ සෑය ‘ස්මාරකයක්’ ද යන්නට පිළිතුර සෙවීමේදී බටහිර ශබ්දකෝෂයක අර්ථ දැක්වීමක් හෝ යටත්විජිත නීතිමය නිර්වචනයක් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඉතිහාසය, වාග් විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ වර්තමාන සජීවී සමාජ භාවිතය එකට සලකා බැලිය යුතුය.

සිංහල බෞද්ධ සමාජයට රුවන්වැලි මහ සෑය යනු මළ අතීතයක් සිහි කරන ගඩොල් ගොඩනැඟිල්ලක් නොවේ. එය වර්තමානයේ ද ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතය සමඟ බැඳුණු ජීවමාන පූජනීය මහ සෑයකි. රුවන්වැලි මහ සෑයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කිරීමත්, එහි ජීවමාන ආගමික හා සංස්කෘතික ගෞරවය සුරැකීමත් එකිනෙකට පටහැනි කාර්ය නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික උරුමය පිළිබඳ වගකීම් සහගත සංවාදයක් ඉදිරියට ගෙන යා හැක්කේ දේශපාලනික උද්දච්චකමෙන් තොරව මෙම සංස්කෘතික යථාර්ථය පිළිගැනීමෙන් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *