– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

මං හිතන්නෙ මේක මේ අලුත් පරම්පරාවල දැනටමත් මුල් බැසගෙන තියෙන අදහසක්. මේක මට අපේ ළමයින්ගෙනුත් දැනිලා තියෙනවා.

අපේ පරම්පරාවල මව්පියන් හිතුවේ, හැසිරුණේ ඒ අය අපව ලෝකයට ජනිත කිරීමෙන් කර තිබෙන්නේ මාර වැඩක්ය කියාය. ඒ නිසා අප ඔවුන්ට ණයයි කියාය. ඒ නිසා අපි අද මේ මොහොතේත් අපේ දැන් වයෝවෘද්ධ මව්පියන්ට උපස්ථාන කරන්නෙමු. (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)

අපේ මව්පියන්ගේ ඒ බොළඳ අදහස සම්බන්ධයෙන් කෙතරම් විවේචන තිබුණත්, එය ඔවුන්ට කියා දීමට හෝ ඔවුන්ට නො සලකා සිටීමට අප කැමති වූයේ නැත. එහෙත්, අපි අපේ අනාගත පරම්පරා සම්බන්ධයෙන් ඒ බොළඳ අදහස දැරුවේ නැත.

දරුවන්ගේ උපකාර අත්‍යවශ්‍ය නොවී ජීවත් විය හැකි විශ්‍රාම දිවියක් අප ගොඩනගා ගත යුතු යයි මම සිතමි.

වර්තමාන පරපුර මෙම ටහන සමග ඇති රූපයේ ඇති අදහස විවෘතවම ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වීම පසුගිය සියවසකට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අනිවාර්ය ප්‍රතිඵලයකි. එහි පුදුමයට පත් විය යුතු කිසිවක් නැත.

මෙය මේ වන විටත්, ජෙන්සී කැරැලි නමින් හැඳන්වුණ දකුණු ආසියාවේ කැරැලිවලින් දේශපාලනිකව ප්‍රකාශමාන වී හමාරය. මේ වන විට දේශපාලන ගැටුමේ එක් ප්‍රධාන පැතිකඩක් වන්නේ මෙම පරම්පරා ගැටුමයි. තිස් බඹේ රීපු, ඉන් පසු වල කක්කුස්සියෙන් ජල මුද්‍රිත වැසිකිළියට පැමිණ, බාත්රූම් එක දැන් ඩ්‍රයි ටොයිලට් දක්වාම වන සේ වෙනස් කර ගත් ආකාරයෙන් සංකේතවත් වන පරිදි සංවර්ධනය අත්පත් කර ගත් අපේ පරම්පරාවල මීහරකුන් ද මේ ජෙන්සි වස්සන් වැස්සියන් සමග එක්ව උන්ගේ අනාගතය නැති කළේ අප යයි කියනු අසන්නට ලැබේ. මේ ගොබ්බ අදහස් සමග සෙට් වන අපේ පරම්පරාවේ ඇතැමුන් නම් කරන්නේ බලය, ලාභය, කීර්තිය හා සෙක්ස් වෙනුවෙන් හනේ මේ තරුණ පරපුර අරක මේක කියමින් අර මෝල් ජෙන්සියන්ව තවත් වටයකින් වටේ ඇරීමයි.

යුක්ති සහගත වැඩිහිටියන් ලෙස අපට කියන්නට දෙයක් ද හදා ගත යුතුය. මා නම් කියන්නේ මෙසේය. ඔව්, අපි උඹලාව හැදුවා. ඒ අපේ සතුට වෙනුවෙන් තමයි. උඹලා දුන්න සතුට වෙනුවෙන් අපි අපට පුළුවන් මට්ටමෙන් උඹලාට මැරෙන තුරා සලකනවා. ඒ අපේ ජීවිත තවදුරටත් උඹලා වෙනුවෙන් කැප කරමින් නම් නෙමෙයි. උඹලා වැඩිහිටියන් වූ පසු අපට අපේ ජීවිතය ආපසු අවශ්‍යයි. අපේ මහළු වියේ ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍ය සම්පත් යෙදවීමෙන් පසු ඉතිරියෙන් අපට උඹලාගේ මූලික අවශ්‍යතා සැපයිය හැකියි. ඊට වඩා ජීවන ගුණයක් අවශ්‍ය නම්, වැඩ කරපල්ලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *