තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යාම, මැදපෙරදිග සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති තර්ජන සහ ඉහළ යන ආනයන බිල ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික තර්ජනයක් වෙමින් පවතී. මේ සඳහා ක්‍රියාත්මක වීමට පෙර, තවත් අර්බුදයක් එන තෙක් බලා සිටීමට අපට හැකියාවක් නොමැත.

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි කනා කනනාදන් විසිනි

අස්ථායී සතියක් පුරාම ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල තීරණාත්මක ඇමරිකානු ඩොලර් 100 සීමාවෙන් ඉහළ මට්ටමක පැවතුණි. සිකුරාදා වෙළෙඳපොළ වැසී යන විට මිල ඩොලර් 103.197ක් ලෙස සටහන් වුව ද, ඊට පෙර එය කෙටි කලකට ඩොලර් 110 දක්වා ද ඉහළ ගියේ ය. ශ්‍රී ලංකාවට ඇති සැබෑ අනතුර වන්නේ සතිපතා සිදුවන මෙම මිල වෙනස් වීම් නොවේ. දිගින් දිගටම තෙල් මිල ඩොලර් 100ට ඉහළින් (ඉලක්කම් තුනේ අගයක) පැවතීමයි. එමඟින් විදේශ විනිමය ක්ෂය වීම, ආනයන වියදම් ඉහළ යාම මෙන්ම උද්ධමනය, විදේශ විනිමය සංචිත සහ රුපියලේ අගය මත නව පීඩනයක් ඇති කිරීම සැබෑ අවදානමයි.

2027 මාර්තු මාසය දක්වා තත්ත්වය සලකා බැලීමේදී, මැදපෙරදිග තෙල් සැපයුම ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වුවහොත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය ඩොලර් 85ත් 105ත් අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත්, ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනයට හෝ ප්‍රධාන නැව් මාර්ගවලට යළිත් බාධා එල්ල වුවහොත්, තෙල් බැරලයක මිල ඩොලර් 110-120 සීමාවෙන් ඔබ්බට යා හැකිය. ගෝලීය ආර්ථිකය තවත් දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දෙන මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවට ගෙන දෙන්නේ බරපතළ අවදානමකි.

මෙම ඉහළ මිල ගණන් දිගටම පැවතුණහොත්, ඛනිජ තෙල් ආනයන වියදම ඉහළ යාම සහ ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම මඟින් අපේ ආර්ථිකයට ඍජු බලපෑමක් එල්ල වේ. එය විදේශ විනිමය සංචිතවලට සහ රුපියලේ අගයට දැඩි පීඩනයක් ඇති කරනු ඇත. ඊට අමතරව ඉහළ යන ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් හේතුවෙන් විදුලි උත්පාදනය, ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ ආහාර මිල ගණන් ඉහළ ගොස්, අවසානයේ උද්ධමනය මෙන්ම ව්‍යාපාරික වියදම් ද ඉහළ නංවනු ඇත. මෙම සියලු කරුණුවල ඒකාබද්ධ බලපෑම නිසා රටේ වෙළෙඳ හිඟය පුළුල් වීමට, ජංගම ගිණුම දුර්වල වීමට, විදේශ සංචිත එක්රැස් වීම සීමා වීමට මෙන්ම ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ද ඉඩ තිබේ. අපේ රට විදේශ ණය ගෙවීම් සඳහා සූදානම් වන තීරණාත්මක මොහොතක මෙය හරස් වීම බරපතළ තත්ත්වයකි.

තෙල් නිෂ්පාදනය කරන රටවලට නම් මෙම මිල ඉහළ යාමෙන් විශාල ලාභයක් හිමි වනු ඇත. එහෙත් තවත් බාහිර ආර්ථික කම්පනයක් දරාගත නොහැකි තත්ත්වයක පසුවන ශ්‍රී ලංකාවට නම්, මෙම මිල ඉහළ යාම යනු රටේ ඇති වටිනා ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාමකි.

පසුගිය සතියේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ කිලෝමීටර් 1,200ක් දිගැති ‘නැගෙනහිර-බටහිර’ උපායමාර්ගික තෙල් නල මාර්ගය වසා දැමීමට සිදු වීමත් සමඟ මෙම තත්ත්වය වඩාත් භයානක විය. එම ප්‍රහාරයෙන් එහි ප්‍රධාන පොම්පාගාරවලට ද හානි සිදු විය. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනයට බාධා එල්ල වී ඇති පසුබිමක, සෞදි අරාබියේ නැගෙනහිර තෙල් නිධිවලින් රතු මුහුදේ අපනයන පර්යන්ත වෙත බොරතෙල් ගෙන යාම සඳහා මෙම නල මාර්ගය අතිශය වැදගත් විකල්පයක් ව පැවතුණි.

සාමාන්‍ය ප්‍රවාහන මාර්ග වෙනස් කළ අවස්ථාවලදී දිනකට බොරතෙල් බැරල් මිලියන 4-5ක් පමණ මෙම නල මාර්ගය හරහා ප්‍රවාහනය කර ඇත. එය මුළු ලෝකයේම තෙල් සැපයුමෙන් 4-5%කට පමණ සමාන වේ. සාම්ප්‍රදායික ගල්ෆ් නැව් මාර්ග දැනටමත් දැඩි අර්බුදයකට ලක්ව ඇති සමයක මෙම නල මාර්ගය වසා දැමීම නිසා, සෞදි බොරතෙල් ප්‍රවාහනය සඳහා වූ වැදගත්ම විකල්ප මාර්ගයක් තාවකාලිකව අහිමි විය. දැන් මෙය හුදෙක් භූ දේශපාලනික ගැටුම් නිසා තෙල් මිලට එකතු වන අවදානමක් පමණක් නොවේ. සැබෑ භෞතික තෙල් සැපයුමට සහ එම යටිතල පහසුකම්වලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

රජය මෙය ආර්ථික අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස සැලකිය යුතුය.

2022 වසරේ පැවැති දරුණු අර්බුදයට වඩා මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ය. එහෙත් ලෝකයේ සිදුවෙමින් පවතින දේවල් නො සලකා හැරිය හැකි තරමට අපේ ආර්ථිකය තවමත් ප්‍රමාණවත් තරම් ශක්තිමත් නැත. 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.62ක් පමණ වියදම් කර තිබේ. මෙය ජූලි මස අවසානය වන විට රටේ පැවති මුළු දළ නිල සංචිතය වූ ඩොලර් බිලියන 6.6න් 55%කට පමණ සමාන මුදලකි. එසේම, 2025 වසරේ එම කාල සීමාව තුළ ඩොලර් බිලියන 3.9ක්ව පැවති වෙළෙඳ හිඟය, 2026 වන විට ඩොලර් බිලියන 6.5ක් දක්වා පුළුල් වී ඇත.

මෙම දත්ත සලකා බැලූ විට පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ මාස හතක ඉන්ධන බිල පමණක් අපේ මුළු දළ නිල සංචිතවලින් අඩකටත් වඩා වැඩි බවයි. දැන් තවත් මාස තුනක් යන තුරු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100-110 සීමාවෙන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සිතන්න. බොරතෙල් මිල ඉහළ යාම යනු අපට විශාල ආනයන වියදමක් දැරීමට සිදු වීමයි. ඊට සමගාමීව ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වී රුපියලේ අගය පහත වැටිය හැකිය. එවිට දුර්වල වන රුපියල නිසා ආනයනික ඉන්ධන තවදුරටත් අපට මිල අධික වනු ඇත.

අනතුර තෙල් මිලෙන් ඔබ්බට ද විහිදෙයි

ඩොලර් 100ක තෙල් මිලෙහි කම්පනය ඉතා ඉක්මනින් සමාජය පුරා පැතිර යයි. එය සිදුවන්නේ මෙලෙසිනි: පළමුව තෙල් මිල ඉහළ යයි → ඉන්පසු ඉන්ධන සහ ආනයන වියදම් ඉහළ යයි → ඊළඟට ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් වැඩි වේ → ඉන්පසු ආහාර සහ භාණ්ඩ මිල ගණන් ඉහළ යයි → අවසානයේ ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව හෙවත් ආර්ථික ශක්තිය දුර්වල වේ. බාහිර ලෝකයේ සිදුවන බලශක්ති අර්බුදයක් අපේ රටේ දේශීය උද්ධමනයක් බවට පත්වන්නේ මේ ආකාරයෙනි.

දිගුකාලීන කලාපීය අර්බුදයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවට දෙපැත්තෙන්ම දැඩි පීඩනයකට ලක් වීමට ඉඩ තිබේ. එක් පසෙකින් රටේ වැදගත් ඩොලර් ඉපැයීමේ මාර්ගවලට බාධා එල්ල වන අතර, අනෙක් පසින් වැඩි ඩොලර් ප්‍රමාණයක් ඉන්ධන සඳහා රටින් පිටතට ගලා යයි. ශ්‍රී ලංකාව පිරිපහදු කළ ඉන්ධන වැඩි වශයෙන් ලබා ගන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල සැපයුම්කරුවන් හරහාය. මෑත කාලීන දත්තවලට අනුව අපේ බොරතෙල්වල ප්‍රධානතම සැපයුම්කරු වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මෙය තවත් අවදානමක් නිර්මාණය කරයි. පර්සියානු ගල්ෆ් කලාපය තුළ නිපදවන බොරතෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පාහේ හෝමූස් සමුද්‍ර සන්ධිය මත රඳා පවතී. ලෝකයේ සමස්ත ඛනිජ තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරන්නේ ඒ හරහාය. අප ආසියානු වෙළෙඳ මධ්‍යස්ථානයකින් තෙල් මිල දී ගත්ත ද, එම අවදානමෙන් මිදිය නොහැකිය. මන්ද, එම ආසියානු රටවල් ද තම බොරතෙල් සහ සැපයුම් සඳහා රඳා පවතින්නේ ගල්ෆ් කලාපය මත වන බැවිනි. එබැවින් ගල්ෆ් කලාපයේ බාධාවක් ඇති වීම යනු අපට ලැබෙන තෙල් නැව් ප්‍රමාණය අඩු වීම, නැව් ගමන් සඳහා වැඩි කාලයක් ගත වීම සහ නැව් ගාස්තු මෙන්ම රක්ෂණ ගාස්තු ද ඉහළ යාමයි. මෙවැනි සැපයුම් ජාලයක් කෙතරම් ඉක්මනින් බිඳ වැටිය හැකි ද යන්න ශ්‍රී ලංකාව මීට පෙර අත්දැක තිබේ.

මේ වසර මුලදී, මැදපෙරදිග සහ සිංගප්පූරුවෙන් තෙල් ගෙන ඒම සඳහා ලංකා IOC සමාගම සමඟ ගිවිසුම්ගත වී සිටි සැපයුම්කරුවන්ට, යාත්‍රා හිඟයක් සහ සැපයුම් බාධා හේතුවෙන් සිය ගිවිසුම් ඉටු කිරීමට නොහැකි විය. (මෙය නීතිමය වශයෙන් ‘Force majeure’ හෙවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ලෙස හැඳින්වේ). මේ හේතුවෙන් ඉන්දියාවෙන් හදිසි තෙල් තොගයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව ඉන්දියාව විසින් පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් මෙරටට එවන ලදි.

මෙයින් අප උගත යුතු පාඩම පැහැදිලිය. සැපයුම්කරුවන් කිහිප දෙනෙකු වෙත යොමු විය යුත්තේ තෙල් හිඟයක් ඇති වීමට පෙර මිස ඉන් පසුව නොවේ. ඉන්දියාව අපගේ වැදගත් සැපයුම්කරුවෙකු ලෙස දිගටම තබා ගන්නා අතරම, අප්‍රිකාව, එක්සත් ජනපදය සහ ගල්ෆ් කලාපයට අයත් නො වන වෙනත් වෙළෙඳපොළවලින් තෙල් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කළ යුතුය. එසේම කිසිදු තනි සැපයුම්කරුවෙකු, එකම රටක් හෝ එකම නැව් මාර්ගයක් මත පමණක් යැපීමෙන් රජය වැළකිය යුතුය.

දිගුකාලීන ගිවිසුම්, රජයන් දෙකක් අතර ඇති කරගන්නා එකඟතා, ප්‍රමාණවත් ආරක්ෂිත තෙල් තොග පවත්වාගෙන යාම සහ කල් තියා සැලසුම් කළ විකල්ප සැපයුම් ක්‍රම, අපගේ හදිසි සැලැස්මේ අනිවාර්ය අංගයක් විය යුතුය.

තෙල් මිල ඩොලර් 120ක් වන තෙක් බලා නො සිටින්න

තෙල් බැරලයක මිල ඩොලර් 100, 120 සහ 130 දක්වා ඉහළ ගොස් එම මිල ගණන් මාස තුනක් හෝ හයක් පුරා පැවතුණහොත්, අපේ ආර්ථිකයට එය දරාගත හැකි දැයි රජය වහාම පරීක්ෂා කර බැලිය යුතුය. (මෙය ආර්ථික විද්‍යාවේ ආතති පරීක්ෂාවක් හෙවත් stress-test එකක් ලෙස සැලකේ). මෙම සෑම මිල මට්ටමකදීම විදේශ සංචිත, විනිමය අනුපාතය, උද්ධමනය, ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය තත්ත්වය, විදුලි බිල, ප්‍රවාහන ගාස්තු, රජයේ අයවැය සහ ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑම කුමක් ද යන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ කලින්ම දැන සිටිය යුතුය.

තෙල් මිල ඩොලර් 120 දක්වා ඉහළ ගිය විට ඇති වන ප්‍රතිවිපාක ගැන සිතන්නට ඒ වන තුරු බලා සිටීම බරපතළ ආර්ථික නොසැලකිල්ලකි. ලෝක වෙළෙඳපොළේ මිල ගණන්, අප සතු තෙල් තොග, ගිවිසුම්ගත කර ඇති නැව්, ඩොලර් අවශ්‍යතාව සහ විකල්ප සැපයුම් මාර්ග නිරීක්ෂණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, මහ බැංකුව, බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය එක්ව විශේෂ බලශක්ති නිරීක්ෂණ කණ්ඩායමක් පිහිටුවිය යුතුය.

ඊට හේතුව, ලෝක බලශක්ති අර්බුදය උග්‍ර වුවහොත් පැන නගින ප්‍රධාන ගැටලුව වන්නේ තෙල්වලට කොපමණ මුදලක් වැය වේ ද යන්න පමණක් නො වන බැවිනි. විශාල ධනවත් රටවල් පවා තෙල් ලබා ගැනීමට තරග කරන විට, කුඩා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තෙල් නැව් ලබාගත හැකි වේ ද යන්න බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. මෙවැනි අවස්ථාවක දේශපාලනඥයෝ උත්සාහ කරන්නේ සහනාධාර දී ඉන්ධන මිල අඩුවෙන් පවත්වා ගැනීමටයි. මෙම වැරැද්ද අප නැවත නො කළ යුතුය. සැමට එකසේ දෙන සහනාධාර මඟින් සිදු වන්නේ පාරිභෝගිකයාගේ බිල ඛනිජ තෙල් සංස්ථාවට සහ මහා භාණ්ඩාගාරයට පැටවී, අවසානයේ එය සාමාන්‍ය බදු ගෙවන්නා මතම පැටවීම පමණි. ඒ වෙනුවට රජයේ අනවශ්‍ය ඉන්ධන පරිභෝජනය කපා හැරිය යුතුය. පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුය. එමෙන්ම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව දිරිමත් කළ යුතුය.

පුනර්ජනනීය බලශක්තිය යනු ආර්ථික ආරක්ෂාවයි

සූර්ය බලය, සුළං බලය, ජල විදුලිය, විදුලි කෝෂ (බැටරි) මඟින් බලශක්තිය ගබඩා කිරීම සහ විද්‍යුත් වාහන භාවිතය දැන් හුදෙක් පාරිසරික ප්‍රතිපත්ති පමණක් නොවේ. ඒවා ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති බවට පත් ව ඇත. මැදපෙරදිග යුද්ධ, හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුද, සෞදි අරාබියේ යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර බොරතෙල් මිල පාලනය කිරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොහැකිය. එහෙත් අපේ ආර්ථිකය පවත්වාගෙන යාමට පිටරටින් ආනයනය කරන ඛනිජ තෙල් ප්‍රමාණය අඩු කර ගැනීමට අපට හැකියාව තිබේ.

අප දේශීයව උත්පාදනය කරන ලාභදායී සෑම විදුලි මෙගාවොට් එකකින්ම සිදු වන්නේ, මීළඟ ගෝලීය බලශක්ති අර්බුදයේ දී අප රටට එල්ල වන බලපෑම අවම වීමයි.

ප්‍රමාද වීමට පෙර — 2022 සිහිපත් කර ගන්න.

මීට වසර හතරකට පෙර (2022 දී) ශ්‍රී ලංකාව අතිශය වේදනාකාරී පාඩමක් ඉගෙන ගත්තේ ය. එනම්, ඩොලර් හිඟය ඉන්ධන හිඟයක් බවට පත් වීමයි. පසුව ඉන්ධන අර්බුදය දැවැන්ත ආර්ථික අර්බුදයක් බවට පත් විය. අවසානයේ එම ආර්ථික අර්බුදය සමාජීය සහ දේශපාලනික අර්බුදයක් දක්වා දුරදිග ගියේ ය.

ශ්‍රී ලංකාව යළිත් 2022 අඳුරු යුගය කරා ගමන් කරමින් සිටින බව මින් අදහස් කරන්නේ නැත. එහෙත් තවමත් විදේශ සංචිත, බාහිර ශේෂය සහ ආර්ථික වර්ධනය නැවත ගොඩනඟමින් සිටින අප වැනි රටකට, දිගු කාලයක් පුරා ඩොලර් 100-110 වැනි ඉහළ තෙල් මිලක් පහසුවෙන් දරාගත හැකි යැයි කිසිවෙකුත් බොරුවට මවා පෙන්විය යුතු නැත.

අනතුරු ඇඟවීමේ සංඥා දැන් දැල්වෙමින් පවතී. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100ට වඩා වැඩිය. සෞදි අරාබියේ තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇත. ප්‍රධාන නැව් මාර්ග අවදානමට ලක් ව ඇත. මේ සියල්ල හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන බිල දැනටමත් දැඩි ලෙස ඉහළ ගොස් ඇත.

කුඩා රටක් ලෙස අපට ලෝක තෙල් මිල තීරණය කළ නොහැකිය. එබැවින් මෙය ඉදිරි අර්බුදයකට සූදානම් විය යුතු කාලය මිස, බලා සිටිය යුතු කාලයක් නොවේ.

එහෙත් ඩොලර් 100ක ඉහළ තෙල් මිල හුදෙක් බාහිර ලෝකයේ අර්බුදයක් ලෙස පමණක් තබා ගන්නවා ද, නැතහොත් එය ශ්‍රී ලංකාවේ මීළඟ දේශීය ආර්ථික අර්බුදය බවට පත් කර ගන්නවා ද යන්න තීරණය කළ හැක්කේ අපේ යහපත් ආර්ථික කළමනාකරණය මතයි. තෙල් නැව තවත් පෙට්‍රල් පෝලිමක් බවට පත් වීමට පෙර ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක විය යුතුය.

(ලිපියේ රචකයා වන තානාපති කානා කනනාදන් මහතා අප්‍රිකානු මහාද්වීපයේ දශක හතරකට වැඩි අත්දැකීම් ඇති ව්‍යාපාරිකයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ විශේෂඥවරයෙකි. අප්‍රිකාවේ දීර්ඝ කාලීන පදිංචිකරුවකු වන ඔහු කෙන්යාවේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස සේවය කළේය. එසේම අප්‍රිකානු ජාතීන් 22ක් සඳහා අක්තපත්‍ර ලබා ගත් ඔහු, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN Habitat) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සඳහා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද කටයුතු කළේය. වසර ගණනාවක් පුරා අප්‍රිකානු මහාද්වීපයේ මැතිවරණ නිරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු, අප්‍රිකානු රජයන් සහ නායකයන් සමඟ කල්පවත්නා සබඳතා ගොඩනගා ගෙන ඇත. තවද, ඔහු ගිනියා ජනරජයේ හිටපු ජනාධිපති මහාචාර්ය ඇල්ෆා කොන්ඩේගේ ආර්ථික සහ ආයෝජන උපදේශකවරයා ලෙස ද සේවය කර තිබේ.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *