අජිත් පැරකුම් ජයසිංහ
ළඟ ළඟම දෙවැනි වතාවටත් බන්ධනාගාර සිරකරුවකු මරලා/මැරිලා. පහර දීලා/වැදිලා. ඒ එක්ක පරණ කතාවක් මතක් වුණා.
1986දී මං ජවිපෙ පත්‍රිකා බෙදලා අහු වෙලා මාස තුනක් රිමාන්ඩ් හිටියා. පී සෙල් හිටියේ. දවසක් දවල් කෑමෙන් පස්සේ අපි හෝල් එක ඇතුළේ ඉඳිද්දී ඒ සෙක්ෂන් එකේ දොර ඇරෙනවා ඇහුණා. ටිකකින් මිනිහෙක් සූස් සූස් ගාමින් පිඹිමින්, දාඩිය පෙරාගෙන, පස්ස අද්ද අද්දා ඇදි ඇදී හෝල් එක දිහාවට ආවා. පැනලා යන්නට උත්සාහ කළ හිරකාරයෙක්. ලෙග් බේල් දීලා. ලෙග් බේල් දෙනවා කියන්නේ අත් බැඳලා උඩුබැලි අතට බංකුවක දිගා කරලා හෙළවෙන්නට බැරි වෙන්න දෙතුන් දෙනෙකු ඇඟ උඩ නැඟලා පොලුවලින් මුළු වෙර අරගෙන යටි පතුල්වලට දිගටම ගහන එක. ඒ වේදනාව හිතාගන්න.

අර මිනිහා සතියකටත් වැඩිය ඇවිද්දේ පස්ස පැත්තෙන්. මට ඒ මිනිහා පස්සෙන් ඇදි ඇදී ආපු චිත්‍රය සදාකාලිකව මතකයි. දරුණු පහර දීමකට පස්සේ ශරීරය පුරා තියෙන වේදනාව නිසා නොදැනීම වගේ දත් අතරින් හුස්ම ගැනීම, නො නවතින කෙඳිරිය, අධික වෙව්ලීම, දහදිය උතුරා යාම, ඇස් නිලංකාර වීම, ක්ලාන්තය, සිහි මඳ ගතිය ආදිය ඇති වෙනවා.
වධහිංසනය කියන්නේ අපේ රටේ සංස්කෘතිය තුළම තියෙන දෙයක්. අපේ එදිනෙදා සිංහල ජන වහරේ තියෙන ‘හම ගහන්න ඕනැ ඕකාව’, ‘උල තියන්න එපායැ’, ‘ඇහේ ඉඳන් පට්ට ගහනවා’ වගේ යෙදුම් ගැන හිතන්න. ඔය හම ගහන එක අපේ රටේ රජ කාලයේ ක්‍රියාත්මක වුණ වධහිංසනයක්. පිටේ හම ගහලා මුහුණ වැහෙන්නට දාලා දංගෙඩියට මිනිසුන් අරගෙන යාම අපේ රටේ තිබිලා තියෙනවා. ඒ අතින් දැන් අපි ටිකක් දියුණුයි.
කවරයේ පින්තූරයේ තිබෙන්නේ වධහිංසනය ආස්වාදනය කරන ලිංගික ස්වරූපයකි. වධ දීම හා වධ විඳීම ලිංගිකත්වය සමග ද බැඳී ඇත.
බන්ධනාගාර කියන්නේ වධහිංසනය රජ කරන තැනක්. ඔවුන් වධහිංසනය පාවිච්චි කරන්නේ සීමිත නිලධාරිවරුන් පිරිසක් මගින් අති විශාල සිරකරුවන් පිරිසක් පාලනය කර ගන්න. පැනලා යන එක වළක්වා ගන්න. සිරකරුවන්ගෙන් ගුටි නො කා ඉන්න.
වධහිංසනය හමුදා, පොලිසි, පාසල් ආදිය හරහා සමාජයේ මුල් බැසගෙන තියෙන්නේ. ගුරු වෘත්තියේ ඉන්න හොඳම වධකයන්ට තමයි ආදි ශිෂ්‍යයන් වැඩියෙන්ම ආදරේ.
වධහිංසනය දේශපාලනය තුළට කාන්දු වෙන්නේ ඒ තැන්වලින්. රාජපක්ෂලා, ෆොන්සේකලා රට පාලනය කළ යුද වකවානුවේ අවසන් හරියේදී සිදු වූ දේශපාලන ඝාතන තුළ තිබුණු කෲර වධහිංසනය හෙළිදරව් වුණ අවස්ථාවක් තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ විදිය.
දැන් ඒ කාලේ ඝාතකයන් වැඩිදෙනෙකු ඉන්නේ හමුදාවෙන් එළියේ. ජනප්‍රිය දේශපාලනය එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා.
වාම දේශපාලනය කොහොමත් කෲරයි. තමන් ඉන්න ස්ථාවරය හැම විටම නිවැරදි යැයි සිතන නිසා එයට විරුද්ධ පුද්ගලයා සතුරා ලෙස සලකා විනාශ කර දැමීම වාම දේශපාලනයේ යෙදෙන අයගේ මූලික ලක්ෂණයක්. පළි ගැනීමේදී සතුරා වධහිංසනයට ලක් කිරීම සාමාන්‍ය මිනිස් ගතියක්. එහිදී මානසික වධහිංසනය දැන් සාමාන්‍ය දෙයක්.
බල නහර කතාව මතු වන්නේ මේ අතරයි. බල නහර කපා ගැනීම හෝ කැපීම කියන දේත්, කෲරම වධහිංසනයක්. සිය දිවි නසා ගැනීමකදී වුණත්, එය තමන්ගේ සමීපතමයන්ට දැනෙන ආකාරය අනුව ඒක ස්වයං වධහිංසනයක්ම නෙමෙයි.











