– අජිත් පැරකුම් ජයසිංහ,
#AnuraCannot #අනුරටබෑ වගේ හෑෂ්ටැග් එකක් එන තත්වෙට යනවාය කියන්නෙ කිසියම් සන්ධිස්ථානයක්. ඒකත් හරියට ගෝටාගෝහෝම් නිර්මාණය වුණා වගේ තත්වයක්.
මෙතනදි තමයි, අපි හරියට මැදිහත් වෙන්නට ඕනැ. අනුරට පුළුවන්. බැරි පැලවත්තට හෙවත් ජවිපෙට. ඒක දෘෂ්ටිවාදීමය කාරණයක්.
කතාව මේකයි. මේක ධනේශ්වර විප්ලවීය මොහොතක්. කළ යුතුව තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගනිමින් කල් ලබාගැනීම. එහෙම යනකොට විකල්ප හොයන්නට පුළුවන් තත්වයන් නිර්මාණය වෙයි. එහෙම නැතත්, ධනේශ්වර ක්‍රමය තිරසර කර ගත්තොත්, පරණ තිබුණු සුබසාධනවාදය හරි තිරසර විදියට තරමක් ශක්තිමත් කරන්නට පුළුවන්.
මේ මොහොත සඳහා අවශ්‍ය වෙන්නෙ පෞද්ගලික අංශය මූලික කරගත්, විදේශීය ආයෝජන වැඩිපුර දිරිගන්වන ධනේශ්වර ප්‍රතිසංස්කරණ. වාමාංශිකයන්ට, සමාජවාදීන්ට, වෘත්තීය සමිතිවලට එහෙම වේදනාකාරී ප්‍රතිසංස්කරණ තමයි කරන්නට සිදු වෙන්නෙ. උදාහරණයක් විදියට සේවය අවසන් කිරීමේ පනත වැනි ආයෝජක හිතවාදී නොවන නීති සංශෝධනය කරන්නට සිදු වෙනවා, අනිවාර්යයෙන්ම. තවත් ආයෝජක හිතවාදී ශ්‍රම නීති හා පරිපාලන ප්‍රතිසංස්කරණ ආදිය අවශ්‍ය වෙනවා. ලෝකෙ සංවර්ධනය වෙමින් තිබෙන රටවල්, මේ හිරවීම පසු කරගෙන ඉදිරියට ගියේ ඒවා කරලායි.
වාමාංශික අදහස් කරපින්නාගෙන ඒවා කරන්නට බැහැ. ඇත්තම කියනවා නම්, වාමාංශිකයන් මේවා කරනවා කියන්නෙ සියදිවි නසාගන්නවා වගේ වැඩක්. උදාහරණයක් විදියට, ජනාධිපතිවරයාගෙ අගසව්වෙකු වන නජිත් ඉන්දික මන්ත්‍රීවරයාත්, හෙණ ගහන විට එළියට වීසි කරන යකඩ කෑල්ලක් සේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පාවිච්චි කරන මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍රත්, පසුගිය මාලිමා මැයි දින සමරුවේ ප්‍රධාන කථිකයා වූ න්‍යායාචාර්ය රමිඳු ලක්ඛිකත් නියෝජනය කළ ප්‍රතිවාද කණ්ඩායම මේ කම්කරු නීති සංශෝධනවලට එරෙහිව දැඩිව පෙනී සිටි කණ්ඩායමකි.
ජවිපෙ හා මාලිමා බැතිමතුන් කලින් ඔවුන් ඇදහූ ඊනියා සමාජවාදී අදහස් වෙතින් ප්‍රායෝගිකවාදය දෙසට කෙතරම් පුනරුත්ථාපනය වී තිබේ ද යන්න මෙහිදී වැදගත්ය. බලය හමුවේ බොහෝ ජවිපෙ/මාලිමා හිතවතුන් වෙතින් පළ වූයේ ඔවුන් මෙතෙක් කතා කළ සියලු දෘෂ්ටිවාදයන්ට වඩා ඔවුන්ට වැදගත් වන්නේ බලය බවයි.

බලය පවත්වාගෙන යමින් කල් අල්ලා සිටින්නට නම්, රනිල් වික්‍රමසිංහ මට්ටමට ධනේශ්වර රූපාන්තරණයක් අවශ්‍යය. අනුරට එය බැරිම නැත. ඔහු සහ ජවිපෙෙ මූලික කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ පාලනය සමග යම් අවබෝධයක කටයුතු කළ බව අපි දනිමු. ඔවුන් ආණ්ඩු විරෝධය කළමනාකරණය කළහ. පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා පැනනැගුණු උද්ඝෝෂණය ලස්සණට දිය කර දැමූහ. පාලනය කළ නොහැකි මොබ් එකක් බවට ගොඩනැගී සිටි ජනතාව නම් අභියෝගය හමුවේ ඔවුහු ඇත්තටම ක්‍රමය ආරක්ෂා කළහ.
දැන් එම අන්රූලි මොබ් එක දැන් නැවත අවදි වෙමින් තිබේ. කලක් ජවිපෙ එය හුරතල් කළහ. එහෙත්, දැන් එය පාලනයට ගත යුතුව තිබේ. අනුර තවමත් ජනප්‍රිය බැවින් ඔහුට එය පුළුවන් යයි අපි සිතමු. බලය ගත්තා නම්, ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය තිරසර කරන අභියෝගාත්මක පියවර නොගෙන සිටීමට අනුරට අයිතියක් නැත.
වඩාත් යෝග්‍ය වන්නේ මහ මැතිවරණයක් කැඳවා රැල්ලට ගසාගෙන ආ පාපිසි වෙනුවට වෘත්තික දේශපාලකයන් පාර්ලිමේන්තුවට පත් කරගෙන, ශක්තිමත් ඇමති මණ්ඩලයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි. මා එසේ කියන්නේ, එසේ නොකළහොත්, ක්‍රමයෙන් බැහැර කර ඇති විපක්ෂ දේශපාලකයන් මා ඉහත සඳහන් කළ අන්රූලි මොබ් එක පාවිච්චි කරන්නට ඉඩ තිබෙන නිසාය. එය ඉතා විනාශකාරීය. ජවිපෙට හොඳම විකල්පය වන්නේ තියෙන දෙය රැකගෙන දැන්ම ඔතනින් ඉවත් වී සමාජවාදී ස්ථාවරයන් ආරක්ෂා කර ගනිමින් අනුරගේ ආණ්ඩුවකට පිටතින් සිට සහාය දැක්වීමයි. මේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලක් ඇත. රනිල් දැනටමත් එය ගෙවමින් සිටී. අනුරට ද ගෙවීමට සිදු වනු ඇත. නායකත්වයේ මිල එයයි. එහෙත්, කළ යුතු දේ කළ යුතුය. මේ ඒ සඳහා වෙලාවයි.











