අජිත් පැරකුම් ජයසිංහ
මේ පසුගියදා අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වන ලද දිවුරුම් ලත් භාෂා පරිවර්තකයින් බඳවාගැනීමේ විභාගයේ පරිවර්තනය සඳහා දී තිබෙන කොටසකි.


නිල් පැහැතින් යටින් ඉරක් ඇඳ ඇති වාක්‍යයෙහි ඇති වරදක් ද නිවැරදි කර එම ඡේද දෙක පහත දැක්වේ. විභාගයකදී එවැනි දෝෂයක් සහිත ඡේදයක් පරිවර්තනයට ලබාදීමේදී එම වරද නිවැරදි කරගැනීමේ හැකියාව ද විභාග අපේක්ෂකයාට තිබිය යුතුය. නැතිනම්, පරිවර්තනය තවත් දුෂ්කර වේ.
1. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න. Translate into the English language.
භාෂාව සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් භාවිත කිරීමේ දී ඒ භාෂාවේ වචනවලින් අභිප්‍රේත අර්ථයට ආසන්න වූ මනෝභාවයක් අංගචලනයන්ගෙන් ද ඇඟවීමට උත්සාහ ගැනීම ඇතැම් භාෂණ අවස්ථාවල ස්වභාවයකි. මනෝභාවයට අනුව වචනවල උච්චාරණය ද වෙනස් කරනු ලැබේ. ඒ වෙනස් කිරීම් සාවද්‍ය වුවත්, ඔවුන් එය වෙනස් කරන්නේ ඔවුන්ගේ හැඟීම් දැනවීමට ය. එවැනි වචන ලේඛනයට ද පිවිසේ. එහි දී ද පිළිගත් අක්ෂර වින්‍යාසය වෙනස් කොට භාවිත කෙරෙන්නේ, හැඟීම් ඉස්මතු කිරීමක් වශයෙනි. සම්මත අක්ෂර වින්‍යාසය ‘අත්භුත’ වුවත් එයින් අත්භුත භාවයක් නොහැඟවෙන සේ සිතීමෙන් දෝ ‘අද්භූත’ යැයි කියනු/ලියනු ලැබේ. හ්‍රස්වය දීර්ඝත්වයට (රතු පැහැයෙන් ඇති අක්ෂරය අප විසින් එකතු කරන ලදි) නැඟීමෙන් අත්භුත භාවයේ මනෝභාවය වචනයට කවා ඇත. මෙවැනි සාවද්‍ය ව්‍යවහාර සාදෘශ්‍යතා න්‍යායයෙන් කිරීමක් නො ව, හැඟීම් ඉස්මතු කිරීමට කරන්නක් හෙයින් අක්ෂර වින්‍යාසය හැඟීම් දැනවීමක් වශයෙන් භාවිත කෙරෙන බව ද පැහැදිලි වේ.
භාෂාව සමාජ සංසිද්ධියක් හෙයින් භාෂාවේ විවිධ හැසිරීම්වලට විශේෂයෙන් ම සමාජය බලපායි. සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය ද භාෂීය කාර්යයකට අමතර ව සමාජීය කාර්යයක් වශයෙන් ද අන්‍යෝන්‍ය ව ප්‍රතිබද්ධව පවතී.
පහත දැක්වෙන්නේ එය මා පරිවර්තනය කරන ආකාරයයි. එය විභාගය වැනි අවස්ථාවකදී කරන ලද පරිවර්තනයක් නොව, සිතා බලා, අධ්‍යයනය කර කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. විභාගයකදී මෙවැනි පරිවර්තනයක් මා හට කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි. එබැවින් මෙවැනි විභාගයකින් සමත් වන පරිවර්තකයකු මට වඩා දක්ෂයකු විය යුතුය.

When utilising language as a medium of communication, it is the nature of certain speech situations to attempt to convey a sentiment close to the intended meaning of the words through gestures. The pronunciation of words is also altered in accordance with the sentiment. Although these alterations may be erroneous, speakers make them to convey their emotions. Such words enter into writing as well. There, too, the accepted orthography is altered and utilised as a means of emphasising emotions. Although the standard spelling is ‘athbhutha’ [‘අත්භුත’], it is spoken or written as ‘adbhutha’ [‘අද්භූත’], perhaps stemming from the thought that the former does not convey the sense of mystery. By elongating the short vowel, the sentiment of mysteriousness has been infused into the word. It is evident that such erroneous usage is not an application of the theory of analogy, but is done to emphasise emotions; thus, it clarifies that orthography is utilised as a medium of emotional expression.
Since language is a social phenomenon, society significantly influences the various behaviours of language. In the Sinhala language, orthography exists as a mutually interrelated entity, serving a social function in addition to a linguistic function.









