පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ Creative Content Consultants
විනාශකාරී ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීම්වලින් යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරතුර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවුස්වීක් (Newsweek) සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි ණය බරින් මිරිකුණු රටවල් සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

නොවැම්බර් මස අගභාගයේදී ඉන්දියන් සාගරයේ පිහිටි මෙම දූපත හරහා ඩිට්වා සුළි කුණාටුව හමා ගියේය. එමගින් පුද්ගලයන් 600 කට අධික පිරිසක් මිය ගිය අතර 20,000 ක් පමණ අවතැන් වූහ. මෙයින් සිදුවූ අලාභය ඩොලර් බිලියන ගණනක් බව ජනාධිපතිවරයා ඇස්තමේන්තු කර ඇත.
“අපගේ දූපත මුහුණ දුන් ඕනෑම ස්වාභාවික විපතකට වඩා මෙම හානිය බරපතළ විය හැකියි. දේශගුණික විපත්වලින් යළි ගොඩනැගෙන අතරතුර අපට ණය ගෙවීමට ද සිදුව තිබෙනවා,” යනුවෙන් දිසානායක මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිවුස්වීක් වෙත පැවසීය. “දේශගුණික බලපෑම්වලට ලක්විය හැකි රටවල් සඳහා වන ණය තිරසාර රාමු වෙනස් විය යුත්තේ මේ නිසායි.”
“අපි ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවසන් කළා. ඩොලර් බිලියන 25 ක් ප්‍රතිව්‍යුහගත කර තිබෙන අතර ඩොලර් බිලියන 3 ක ණය කපා හැර තිබෙනවා. එහෙත් දැන් අප අපගේ පාලනයෙන් ඔබ්බට ගිය අර්බුදයකට මුහුණ දී සිටිනවා,” යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ වෙරළට ඔබ්බෙන් මිලියන 22 ක ජනගහනයක් සහිත මෙම රට අර්බුදවලින් මිදුණේ කලාතුරකිනි. 2009 වසර දක්වා දශක තුනකට ආසන්න කාලයක් එරට සිවිල් යුද්ධයෙන් පීඩා වින්දේය. දිසානායක මහතා මීට වසරකට පමණ පෙර තේරී පත් වූයේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට පොරොන්දු වෙමිනි. ඒ 2022 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදය හමුවේ හටගත් විරෝධතා මගින් දීර්ඝ කාලයක් පැවති රාජපක්ෂ දේශපාලන පවුල් පාලනය බිඳ වැටීමෙන් පසුවය. අනතුරුව ණය සහන සඳහා කොන්දේසියක් ලෙස සකසුරුවම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය.
ඉන්දියාවට ඇති සමීපත්වය සහ සංස්කෘතික බැඳීම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැදගත් භූ දේශපාලනික පිහිටීමක් සහිත රටකි. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය සමඟ ද සමීප සබඳතා පවත්වයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වන එක්සත් ජනපදය ද අමතක කළ නොහැක.
වේගවත් ඉන්දියාව
සුළි කුණාටුවෙන් පසු ඉන්දියාවෙන් ලැබුණු කඩිනම් සහාය දිසානායක මහතා සිහිපත් කළේය.
“සාගර් බන්දු (Sagar Bandhu) මෙහෙයුම සමඟ ඉතාම ඉක්මනින් ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාවයි. ඔවුන් ගුවන් යානා, හෙලිකොප්ටර් යානා, අයි.එන්.එස් වික්‍රාන්ත් (INS Vikrant) ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු නාවික යාත්‍රා සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් යෙදවූවා. අපගේ අසල්වැසියන් වන පකිස්ථානය සහ මාලදිවයින ද අගනා සහයෝගයක් ලබා දුන්නා,” යනුවෙන් හෙතෙම පැවසීය.
ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය වැනි බලවතුන් සමඟ පවතින සබඳතා යනු, තුලනය කරගත යුතු ගැටලුවක් ලෙස ශ්‍රී ලංකාව නොදකින බව දිසානායක මහතා කියා සිටියේය.
“අපගේ සෑම සබඳතාවක්ම අපට වැදගත්. අපි සෑම කෙනෙකු සමඟම වැඩ කරනවා. නමුත් ඒ සැමවිටම එකම අරමුණක් වෙනුවෙන්. එනම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් තුළ ශ්‍රී ලාංකිකයන්ට යහපත් ලෝකයක් උදා කිරීමයි,” යනුවෙන් දිසානායක මහතා පැවසීය.
ඇඳුම් සහ වෙනත් අපනයන සඳහා තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දිසානායක මහතා අප්‍රේල් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පෞද්ගලික ඉල්ලීමක් ලිඛිතව යොමු කළේය. අනතුරුව එම තීරු බදු අඩු කරන ලදී.
“ශ්‍රී ලංකාවට සාර්ථකත්වය යනු වෙළඳපොළ ප්‍රවේශය සහ නැවත ඇතිවන ආයෝජන ගලා ඒමයි. ශ්‍රී ලංකාව ස්ථාවර සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු මෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අපි ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ කටයුතු කරමින් සිටිනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
චීනයට ගෙවිය යුතු ණය
චීනය විවේචනයට ලක්කරන්නන් විසින් චීනයේ “ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය” සඳහා ප්‍රධාන උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දෙනු ලැබේ. විශේෂයෙන් හම්බන්තොට ගැඹුරු මුහුදු වරාය සහ වරාය නගරය (Port City) සඳහා ණය ලබා ගැනීම මේ සඳහා හේතු විය. ව්‍යාපෘතිවල දීර්ඝකාලීන පාලනය චීනය සතුවීම තුළින් ඒවා යුදමය අරමුණු සඳහා යොදා ගත හැකි බවට චීනයේ ප්‍රතිවාදීන් තුළ බියක් ද ඇත.
“කිසිදු විදේශීය හමුදා කඳවුරකට මෙහි අවසර නොමැති බවත්, අප එය බලාත්මක කරන බවත් අප පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. වරාය නගරය මූලික වශයෙන් වාණිජ සංවර්ධන ව්‍යාපෘතියක්. එය රැකියා නිර්මාණය කරනවා, ආයෝජන ආකර්ෂණය කරනවා, ආදායම් උත්පාදනය කරනවා,” යනුවෙන් දිසානායක මහතා පැවසීය.
“අපි මෙහෙයුම් නිරීක්ෂණය කළ යුතු අතර ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල බව සහතික කළ යුතුයි. මෙම වත්කම් භාවිතා කරන ආකාරය පිළිබඳ ස්වෛරීභාවය පවත්වා ගත යුතුයි. මෙම ව්‍යාපෘති යථාර්ථයන් වන අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි තක්සේරුවකින් යුතුව ඒවා කළමනාකරණය කළ යුතුයි.”
ඩිට්වා සුළි කුණාටුව හමා ඒමට පෙර, ආධාරකරුවන්ගේ අපේක්ෂා ඉටු කිරීමේ අභියෝගයට දිසානායක මහතා මුහුණ දෙමින් සිටියේය. විපක්ෂයේ විරෝධතාකරුවෝ දහස් ගණනක් ඔක්තෝබර් මාසයේදී ඔහුට එරෙහිව සිය පළමු ප්‍රධාන රැලිය පැවැත්වූහ. ආරක්ෂාව සැලසීමට සහ දූෂණය අවසන් කිරීමට අපොහොසත් වූ බවටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තම ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා කරන බවටත් ඔවුහු ඔහුට චෝදනා කළහ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සීමා සහිත අන්තර්ජාල ආරක්ෂණ පනත වැනි නීති ප්‍රතිසංස්කරණය කිරීමට තමා කැපවී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.
“මෙම නීති මර්දනකාරී මෙවලම් ලෙස භාවිතා කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයකට ඒවා ගැලපෙන්නේ නැහැ,” යි හෙතෙම කීවේය. “දශක ගණනාවක් තිස්සේ ගොඩනගා ඇති ක්‍රමවේදයන් වෙනස් කිරීමට අපි උත්සාහ කරමින් සිටිනවා. පාලනය සහ ආයතනික පුරුදු පිළිබඳ දේශපාලන සංස්කෘතිය එක රැයකින් වෙනස් වන්නේ නැහැ. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් අවශ්‍යයි. අප නිවැරදි දිශාවට ගමන් කරන්නේද යන්න සහ අපගේ ප්‍රතිසංස්කරණ හරවත්ද යන්න අපගේ හවුල්කරුවන් සොයා බැලිය යුතුයි.”
ම්ලේච්ඡ ක්‍රියාවලින් සලකුණු වූ සිවිල් යුද්ධය පවතින කාලයේ සිදු වූ සිදුවීම් ඇතුළුව, අතීත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාවලියක් සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. විපතට පත් කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන සහ දේශීය විශේෂඥවරුන් සමඟ එක්ව මෙම කටයුතු සිදු කෙරේ.
දූෂණය
දූෂණ චෝදනා මත තම පූර්වගාමියා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු දේශපාලන මැදිහත්වීම් පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කළේය.
“වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සාධාරණද යන්න රඳා පවතින්නේ සාක්ෂි මතයි. එය මාධ්‍ය මගින් හෝ දේශපාලන බලපෑම් මත නොව, විධිමත් ක්‍රියාවලියක් හරහා අධිකරණයේදී පරීක්ෂා කළ යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
“ආයතනික දූෂණය ගැන පුළුල්ව කතා කරන විට – ඔව්, අපි තවමත් ප්‍රමාණවත් යමක් කර නැති බවක් පෙනෙන්නට තිබෙනවා. එසේ පෙනෙන්නට හේතුව දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු දූෂණය ආයතන තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබීමයි. මෙයින් අදහස් වන්නේ දේවල් නිවැරදි කිරීමට හුදෙක් අත්අඩංගුවට ගැනීම් පමණක් නොව පද්ධතිමය වෙනසක් අවශ්‍ය බවයි.”
ඩිට්වා සුළි කුණාටුවෙන් යළි ගොඩනැගීම දැන් අනෙකුත් අභියෝග යටපත් කරමින් මතු වී ඇතැයි දිසානායක මහතා පැවසීය. තම රජයේ ප්‍රතිචාරය විවේචකයන් දෝෂ දර්ශනයට ලක් කරන බවත්, ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කෙරෙන බැවින් එවැනි විවේචන අනාගත ප්‍රතිචාර හැඩගස්වා ගැනීමට උපකාරී විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගත කම්පන සඳහා ද සූදානම් විය යුතු බව හෙතෙම පැවසීය.
“දැන්ම ක්‍රියාත්මක නොවුණහොත් අප කොටු වනු ඇත. මෙම උගුල අප විසින්ම සාදාගත් එකක් නොවේ. ගෝලීය විමෝචනය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඉතා අල්පය. එහෙත් වසර ගණනාවක සංවර්ධන ප්‍රගතිය එක රැයකින් විනාශ කළ හැකි දේශගුණික කම්පනවලට අපි මුහුණ දී සිටින්නෙමු. නමුත් අපි මෙම චක්‍රය බිඳ දැමිය යුතුයි. සෑම ගංවතුරක්ම, සෑම සුළි කුණාටුවක්ම, සෑම නියඟයක්ම විසින් අපව ආරම්භක ස්ථානයටම ආපසු ඇද දැමීමට ඉඩ දිය නොහැක,” ඔහු පැවසීය.
“එබැවින් මෙම උගුලෙන් ගැලවීම සඳහා සැලැස්මක් සකස් කිරීමට අපට උදව් කරන ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට අපට උදව් කරන්න. මේ සඳහා මූලිකව වැඩි මුදලක් වැය වනු ඇත. නමුත් එමගින් නැවත නැවත යළි ගොඩනැගීමෙන් අපව බේරා ගනු ඇත.”
(පරිවර්තකවරයාගේ හා අදාළ ආයතනයේ පරිවර්තන අයිතිය පිළිබඳ සඳහන් කරමින් උපුටා දැක්වීමට අවසර ඇත.)










