– අජිත් පැරකුම් ජයසිංහ

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයත්, ශාන්ත මේරි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ 1963දීයි. එක්තරා කාලයක් මේ ‘කෝරළේ සටන’ ප්‍රදේශය ප්‍රධානම විනෝදාස්වාද අවස්ථාවක් වුණා. දහස් ගණන් ජනයා මෙම ක්‍රිකට් තරගය බලන්නට එක්රොක් වුණා. ඒ දින දෙකේදි මතුගම නගරය කානිවල් එකක සිරි ගත්තා. ආනන්ද ශාස්ත්‍රාලයේ රතු-දුඹුරු හා කහ පාට කොඩිත්, ශාන්ත මේරියේ නිල් හා සුදු කොඩිත් ප්‍රදේශය පුරාම ලෙලදුන්නා. මේ මහා ක්‍රිකට් තරගය අනුකරණය කළ සැහැල්ලු පන්දු මහා ක්‍රිකට් තරග ගම් මට්ටමෙනුත් අවුරුදු පතා පැවැත්වුණා.

පළමු මහා ක්‍රිකට් තරගයේ ප්‍රධාන සංවිධායකවරයකු වූ එවකට ශාන්ත මේරි විද්‍යාලයේ තරුණ ගණිත ගුරුවරයකු වූ සිරිල් ප්‍රනාන්දු මහතා 50වන මහා ක්‍රිකට් තරගය අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ සිට ලිපියක් ලියමින් මෙසේ අතීතය සිහිපත් කළා: “එම කාලය තුළ මතුගම නගරයේ පාසල් එකට බැඳ තබන පොදු සමාජ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ අඩුව පිරවීමට මෙම බිග් මැච් එක සමත් වුණා. මුළු සමාජයම ජීවමාන වූ අතර ක්‍රිකට් උද්‍යෝගය බෝවනසුලු වුණා. ඒ උනන්දුව ලැව් ගින්නක් වගේ පැතිරුණා.”

(සිරිල් ප්‍රනාන්දු මහතාගේ සටහන matugama.com වෙබ් අඩවියෙන් කියවන්න)

ආනන්ද ශාස්ත්‍රාලය කලින් අයත් වුණේ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමට. ශාන්ත මේරි විද්‍යාලය කතෝලික සභාවට අයත් පාසලක්. 1961දී ආනන්ද ශාස්ත්‍රාලයත්, 1962දී ශාන්ත මේරි විද්‍යාලයත් රජයට පවරාගත්තා.

1960 දශකය වන විට මතුගම ප්‍රධාන පාසල් තුනේම ක්‍රිකට් ක්‍රීඩාව තිබුණු බව ඉතිහාසයෙන් වාර්තා වෙනවා. මුලින්ම ක්‍රිකට් ක්‍රීඩා කළ පාසල වන්නේ මතුගම මධ්‍ය මහා විද්‍යාලය බව වාර්තා වෙනවා. මුලින්ම මහා ක්‍රිකට් තරගයක් පවත්වන්නට උත්සාහ කර තිබෙන්නේ මධ්‍ය මහා විද්‍යාලයත් ශාන්ත මේරි විද්‍යාලයත් අතරයි. කෙසේ වෙතත්, එය සම්ප්‍රදායක් බවට පත්වී නැහැ.

ප්‍රධාන නගරවල පැවති අන්තර් පාසල් මහා ක්‍රිකට් ගැටුම් වැනි ක්‍රිකට් තරගයක් මතුගමත් ආරම්භ කිරීමට මුල් වුණේ එවකට ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ආනන්ද පස්කුවල් හා ශාන්ත මේරි විද්‍යාලයේ විදුහල්පති සුගුණදාස අතුකෝරළ යන මහත්වරුන්. අතුකෝරළ මහතා පසු කලෙක නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධුරය හෙබවූ අධ්‍යාපනඥයෙක්.

පළමු මහා ක්‍රිකට් තරගය පැවැත්වුණේ ශාන්ත මේරි ක්‍රීඩාංගනයේයි. එවකට එම පාසලේ ක්‍රිකට් භාර ගුරුවරයා මෙන්ම පුහුණුකරු වුණේ පසු කලෙක ආනන්ද ශාස්ත්‍රාලයේ ද ක්‍රිකට් භාර ගුරුවරයා ලෙස සේවය කළ සිරිල් ප්‍රනාන්දු මහතායි. ඒ වෙනුවෙන්ම පිටිය තැපැල් කාර්යාලය පැත්තෙන් අඩි 40ක් පමණ දිගට ගොඩකර පුළුල් කරන ලදි. එයට පාසලේ ක්‍රිකට් කණ්ඩායමත්, අනෙකුත් සිසුනුත් දායක වුණ බව විදුහලේ ආදි ශිෂ්‍ය හා ආදි ගුරු ගාමිනී විජේතුංග පවසනවා. 1968 දක්වාම මහා ක්‍රිකට් තරගය පැවැත්වුණේ ශාන්ත මේරි පිටියේයි.

පළමු ක්‍රිකට් තරගයේ ආනන්ද කණ්ඩායමේ නායකත්වය එන්.ඩබ්.ඩී. ජෝන් විසින් ද, ශාන්ත මේරි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වින්සන්ට් ධර්මදාස විසින් දරන ලදි. එක් දිනක් තුළ පැවැත්වුණ මෙම තරගයෙන් ශාන්ත මේරි විද්‍යාලය ඉනිමකින් ජයගත් බව සඳහන් වෙනවා.

මතුගම ප්‍රභූ පවුලක සාමාජිකයකු වන ඊටින් විජේගුණවර්ධන මහතා විසින් මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් ලබාදෙන ලද කුසලානය වසර 60කට ආසන්න කාලයක් තිස්සේ මෙම මහා ක්‍රිකට් තරගයේ කුසලානයයි. එය තිබෙන්නේ ජයග්‍රාහී කණ්ඩායම භාරයේයි.

මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් පළමු සමරු කලාපය නිකුත් කර තිබෙන්නේ 1967දීය. දෙපිළේම ක්‍රීඩකයන්ගේ සමූහ ඡායාරූප, ක්‍රීඩක විස්තර ආදිය ඇතුළත් මෙම සමරු කලාපය සංස්කරණය කර තිබෙන්නේ වර්තමානයේ ප්‍රකට නාට්‍යවේදියකු වන, ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විජිත ගුණරත්න විසින් බව සඳහන් වේ. එය මුද්‍රණය කර තිබෙන්නේ එවකට මතුගම ප්‍රසිද්ධ මුද්‍රණාලයක් වූ විද්‍යාවිලාස මුද්‍රණාලයේයි.

ක්‍රිකට් කියන්නෙ මතුගම විනෝදාස්වාදයේ කොටසක්. පස්දුන් කෝරළේ මහා ක්‍රිකට් තරගය කියන්නෙ මතුගම ඉතිහාසයේ කොටසක්.

පහත දැක්වෙන ඡායාරූපය ගත්තේ 2013දී ආනන්ද – ශාන්ත මේරි මහා ක්‍රිකට් තරගයේ 50වන සංවත්සරයේදීයි. ඒ දක්වා ඉතිහාසයේ පාසල් දෙකේ කණ්ඩායම්වල නායකත්වය දැරූ බොහෝදෙනෙකු මෙම ඡායාරූපයේ සිටිනවා.

Sworn Translations by Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *