Priyantha Weerasuriya, IGP, in his school

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන්. කුඩා කලම ඔහුට පියා අහිමි වුණ බව වාර්තා වෙනවා.

ඔහු පොලිසියට බැඳෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් සුදුසුකමින් පොලිස් කොස්තාපල්වරයකු ලෙසයි. ඒ 1988දීයි. එවකට පැවති භීෂණය හමුවේ ආරක්ෂා වීම සඳහා පොලිසියට බැඳෙනවිට ඔහුට වයස අවුරුදු 19කි. වරක් කුරුඳුවත්ත පොලීසියේ සේවය කරමින් සිටියදී ඇති වූ කලහකාරී තත්ත්වයක් මැඩ පැවැත්වීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

Sworn Translations by Creative Content Consultants

පොලිසියේදී තමයි ඔහු උසස් පෙළ විභාගය සමත් වන්නේ. 1990 වසරේදී බාහිර අයදුම්කරුවකු ලෙස උසස් පෙළ විභාගයට ඉදිරිපත්වී පළමු උත්සාහයෙන්ම ඉහළ සමාර්ථ්‍යයක් ලබාගත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරෙනවා. 1992දී ඔහු උප පොලිස් පරීක්ෂක තනතුරකට උසස් වෙනවා.

පොලිසිය ඉහළට ඉගෙන ගන්නා අයට ස්ථානමාරු, උසස්වීම් ඇතුළු දිරිගැන්වීම් සපයන ආයතනයක් බව අපේ නිරීක්ෂණයයි. උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත වීරසූරිය 1993 ජූලි 1 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙනවා. එල්.එල්.බී උපාධිය හා නීතීඥ දිවුරුම් දීමෙන් පසුවත් ඔහු දිගටම පොලිසියේ රැඳෙමින් අධ්‍යාපනයත් කරගෙන යනවා.

තරග විභාගයක් ඔස්සේ 1999 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලද ඔහු 2007දී පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලබනවා. ප්‍රියන්ත වීරසූරිය 2016දී නියෝජ්‍ය පොලිස්පති පදවියට පත්වෙනවා. 2020දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වන ඔහු 36වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහකිරීමට පෙර සේවය අත්හිටුවීමට ලක්ව සිටින සමයේ පොලිස්පති පදවියේ වැඩ ආවරණය කරනවා.

ප්‍රියන්ත වීරසූරියගේ අධ්‍යාපන සුදුසුකම් අතර ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තිකයින් සඳහා වන ඉංග්‍රීසි ඩිප්ලෝමාව, නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය (සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද තිබෙනවා.

වෘත්තීය වශයෙන් ඔහු පොලිසියේ විශේෂ කාර්ය බලකාය, යුද සමයේ නැගෙනහිර පළාතේ තනතුරු, හයිටියේ හා නැගෙනහිර ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක සේවා කටයුතු හා පොලිස් අධ්‍යාපන, පරිපාලන තනතුරු රැසක් දරා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීමත් සමගම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යේෂ්ඨම නිලධාරීවරයා වන්නේ ලලිත් ෂෙල්ටන් පතිනායකයි. ප්‍රියන්ත වීරසූරිය දෙවන තැනට පත් වූ අතර තුන්වන ස්ථානය හිමි වන්නේ පී.පී. සංජීව ධර්මරත්නටය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස්පති ධූරය සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබුවේ ප්‍රියන්ත වීරසූරියගේ නම පමණි.

නීතීඥ නිල්මිණී නීටා සමරතුංග මහත්මිය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ බිරිඳ වන අතර ඇය මේ වන විට පොලිස් පවුල් සුබසාධක සංගමයේ සභාපතිනියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *