JVP April 3

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්.

ඉතින් ජවිපෙ එහෙම වෙලා තියෙන්නෙ මොකටද? අන්න ඒක තමයි ස්වර්ණමය ප්‍රශ්නය? දීපල්ලකො පුළුවන් නම් උත්තර.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe

ඇත්තටම ජවිපෙ පවතින්නෙ මොකටද? සමාජවාදය ගොඩනැගීම, විප්ලවය, පරිවර්තනය වෙනුවෙන් කියන එක නම් පිළිගන්නට හේතු තවදුරටත් පවතින්නෙ නැහැ. පෙනෙන විදියට ජවිපෙ මෙතෙක් නම් පැවතිලා තියෙන්නේ එකම එක උවමනාවක් වෙනුවෙන් බවයි පෙනෙන්නට තියෙන්නෙ. ඒ බලය වෙනුවෙන්. සමහර විට තනි බලයක් වෙනුවෙන් වෙන්නට පුළුවන්.

බලය වෙනුවෙන් අතිශය ප්‍රචණ්ඩ කැරැලි දෙකකුත් ගහපු, 2022දී මොබ් අරගලයකිනුත් වාසි ගන්නට හැදූ ජවිපෙට ඒ කිසිවකින් ලබාගන්නට බැරි වුණ බලයක් මැතිවරණවලින් ලබාගෙන ඉතා පහසුවෙන් බලය අතට ගන්නට ලැබුණු එක ඇත්තටම විස්මිත තත්වයක්.

බලය, බලය හා බලය වෙනුවෙන්ම වැඩ කරමින් සිටි ඔවුන්ට බලය ලැබුණු එක හරියට සුරතාන්තය වගේ තත්වයක්. දැන් තියෙන්නෙ සුරතාන්තයෙන් පසු දැනෙන හිස්කම වගේ දෙයක්. දැන් ප්‍රශ්නය බලය කුමකටද කියන එක.

බලය කෙසේ හෝ රැකගත යුතුයි කියන එක තමයි මේ වෙලාවෙ ඔවුන්ගෙ අදහස. ඔවුන් ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. යෞවන සමාජවල පවා බලය අල්ලා ගැනීමෙන් බලය රැකගත හැකි යයි ඔවුන් සිතනවා. මේක තව තවත් පහළට විහිදෙයි. රාජ්‍ය සේවයේ තනතුරුවලට පවා තමන්ගේ මිනිසුන් දමාගැනීමෙන් ද බලය තහවුරු කරගත හැකි යයි ඔවුන් සිතනවා.

ඒ අතර ඔවුන් බලය පාවිච්චි කරන්නෙ කුමකටද? ඔවුන්ගේ සිහිනය වන්නේ චීන, වියට්නාම් වැනි කොමියුනිස්ට් පක්ෂ විසින් මෙහෙයවනු ලබන තනි පක්ෂ දේශපාලනයක් තුළ වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම බවයි පෙනෙන්නේ. චීනයේ ආර්ථික වර්ධනය තනිකරම නිර්මාණය වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ පරිභෝජනය මත බව දැන් එක්සත් ජනපදය වටහාගෙන තිබෙනවා. ඔවුන් එම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්නෙ ඒ නිසායි. වියට්නාමය වුණත් යන්නෙ ඒ පාරෙ. ලංකාවට ඒ පාර තෝරාගන්නට තවත් මෙවැනි රටවල් රැසක් සමග තරග කරන්නට සිදුවෙනවා. එතනදි ලංකාව ඉන්නෙ පසුපසින්. ලංකාවේ නිෂ්පාදන පිරිවැය, විදුලි ගාස්තු, වැටුප්, ව්‍යාපාර කිරීමේ පහසුව, නීති රීති ආදිය ආයෝජක හිතවාදී නැහැ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය යන ආර්ථික සම්පත් හතරෙන්ම ලංකාව එතරම් වාසිදායක තත්වයක නැහැ.

ජවිපෙට බලය හැර වෙනත් දෙයක් ගැන අදහසක් නැති නිසා ජවිපෙ දැනට කරන්නෙ තමන්ට ලැබී ඇති තත්වයන් තුළ අඳුරේ අතපතගාමින් මොනවා හෝ සීරුමාරු කරන්නට පුළුවන්ද කියලා බලන එකයි. බලය සදාකාලික කරගත හැකි යයි ඔවුන් සිතන්නෙ ඒ අතර.

ඒ සඳහා ඔවුන්ට පෙනෙන විදියට තියෙන්නෙ එකම ක්‍රියාමාර්ගයයි. ඒ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වැනි මතුවිය හැකි නායකත්වයන් නීතිය භාවිතා හෝ අවභාවිතා කරමින් සිරගත කිරීමයි. එහෙත්, එය ද හිතන තරම් පහසු නැහැ. ඒ වගේම වෙනත් නායකයන් මතු වීමට තියෙන ඉඩත් වළක්වන්නට බැහැ.

මේක ජවිපෙ බලයේ ඉන්න අවසාන වතාව බව තමයි මගේ නිගමනය. ජවිපෙ විතරක් නෙමෙයි, ජවිපෙ සාරයක් තිබුණා නම් එයත්, ඉතිහාසයේ උරුමයත් ජවිපෙට අහිමි වෙනවා.

ධනවාදය රැකගන්න ජවිපෙ වැනි පක්ෂයක් උරදිය යුතු නැහැ. එසේ කරනවා නම් ඔවුන්ට ධනවාදය විනාශ කිරීම සඳහා මුල සිටම වැඩ නොකර ඉන්නට තිබුණා. එහෙම වුණා නම් අඩු තරමේ පරම්පරා කීපයක අවංක මෝඩ තරුණයන් පිරිසකගෙ ජීවිත හරි රැකගන්නට තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *