ව්‍යසනය හා පාලකයන්……

චන්ද්‍ර ජයසිංහ

ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ බුද්ධි අංශයේ ප්‍රධානියා ගේ ලිපිය තමන් දුටුවේ facebook ජාලයෙන් බව. බුද්ධි ප්‍රධානියා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පති වරයා හෝ තමන්ට තොරතුරු ලබා නොදුන් බව ඔහු කියා සිටී. ඔහු මේ රටේ විධායකයේ බලධාරියාය.

අගමැතිවරයා තමන්ට ද බුද්ධි තොරතුරු වාර්තා නොකළ බවත් පසුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට තමන් සහහාගී කරගත්තේ නැති බවත් ප්‍රකාශ කරයි. තවද මෙය ගෝලීය ත්‍රස්තවාදයක් බැවින් එය මර්දනයට නීති ප්‍රමාණවත් නැති බවත් ප්‍රකාශ කරයි. ඔහු ව්‍යවස්ථාදායකය නියොජනය කරමින් නීති සම්පාදනය කරන්නාවූ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාය.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනුයේ තමන් මේ රජයට ලබාදුන්නේ නිදහස් රටක් බවත් ව්‍යසනයේ වගකීම සම්පූර්ණයෙන් රජය බාර ගත යුතු බවයි. බුද්ධි අංශයේ ලිපිය තම ආරක්ෂක අංශයටද ලැබී ඇති බව ඔහු පිළිගනී. ඔහු විධායක ජනාධිපති ධූරය හා අගමැතිද ධුරය දැරූ රටේ වර්තමාන විපක්ෂ නායකවරයාය.

සභානායක වරයා ඔහු කියන විලසින් Colombo Telegraph වෙබ් අඩවියේ ප්‍රකාශිත ජනාධිපතිවරයා විවේචනය කරන්නා වූ ලිපියක සිංහල පරිවර්තනය විහාරස්ථානවල නායක හාමුදුරුවන් වෙත හා දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට තැපැල් කර යැවීමට පියවර ගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මුස්ලිම් අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මීලඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර සිටී.

ෆීල්ඩ් මාර්ෂල්වරයා තමන්ට දැනුමක් හා දැක්මක් ඇති බවත් තමන් ආරක්ෂක ඇමති කෙළහොත් තත්ත්වය සමනය කරන බව ප්‍රකාශ කර සිටී.

විපක්ෂ මංත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙය අධිරජ්‍යවාදී ඇමරිකානු කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරමින් සිටී.

ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරුන් ප්‍රකාශ කරනුයේ ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන ආරම්භ වූයේ පසුගිය රජය වකවානුවේ බවත් වගකීම ඔවුන් බාරගත යුතු බවය.

මේ අපේ රටේ ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්නා වු විධායකය හා ව්‍යවස්ථාදායකය තුළ ක්‍රියා කරන්නා වූ හා ජනතා බලය ලබාගන්නට බලාපොරොත්තු වන්නා වු පිරිසකගේ මාධ්‍ය තුල දක්නට ලැබුණු අදහස්….. ..

පුරවැසියකුගේ සිතුවිලි……….

රටක සැබෑ ජනතා නායකත්වයන් හැසිරිය යුත්තේ මෙලෙසින්ද…….
ජනතාව කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් මරු වැළඳ ගනිද්දී ඔවුන් වෙනුවෙන් අවංකව පෙනී සිටිය යුතු නැද්ද……
ජාතික ව්‍යවසනයක් සේ සලසා එකමුතුව කටයුතු කල යුතු නැද්ද…..
රටක, ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛතම කාර්යය විය යුතු නැද්ද…
සියල්ල පසෙකලා සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් වත් නිශ්චිත ආරක්ෂක ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතු නැද්ද….
ජාතීන් අතර හෝ ආගම් අතර සංහිදියාව බිඳී යාම වළක්වා ගැනීම උදෙසා දීර්ඝකාලීනව විසඳුම් ලබා දිය යුතු නැද්ද ……
ජාතිවාදී අන්තවාදී සංවිධාන බිහිවී⁣මට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අසුරා දැමිය යුතු නැද්ද…..

පාලකයන් නැවත නැවතත් සනාථ කරමින් සිටින්නේ ඔවුන්ගේ අසමත්කම් නොවන්නේද….

ජාතික ව්‍යසනයක් අවස්ථාවේදීත් ඔවුන් තම පැවැත්ම, බලය ,වෙනුවෙන් අරගල කිරීම නවතා දමා නැති බව අවබෝධ කර ගන්න. පෑදි දිය බොරදිය කර ඇත්තේ ඔවුන්ම බව මතක තබාගන්න. ඔවුන් අවංකව පෙනී සිටිනුයේ ජනතාව වෙනුවෙන් නොවන බව වටහා ගන්න.

බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් වරෙක මෙසේ ප්‍රකාශ කර සිටී …….

ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි. මක්නිසාද අමන ජනතාවක් කිසි දින පාදඩ පාලකයන්ට විරුද්ධ වෙන්නේ නැත.

යථාර්ථයන් හඳුනා ගන්න……
අළුතින් හිතන්න ……
මේ ඔබ වෙනස් විය යුතුම කාලයයි……..

චන්ද්‍ර ජයසිංහ