ත්‍රස්තවාදී වෙඩිතැබීමකදී ඔබ කළ යුතු දේ (කියවා බෙදාගන්න)

අජිත් පැරකුම් ජයසිංහ

සක්‍රිය වෙඩිතැබීමකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ තොරතුරු සඳහා මා පාදක කරගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සේවකයන්ට ලබා දෙන පුහුණුවක්. එහි කරුණු සමස්ත සමාජයට ම ප්‍රයෝජනවත් විය හැකි නිසා සිංහලෙන් පළ කරනවා. අනිවාර්යයෙන් ම කියවන්න. සෙසු අයටත් බෙදා දෙන්න. (පුහුණුව වෙනුවෙන් වෙහෙස වූ සැමට ප්‍රණාමය!)

(ලිපිය දැන්වීමෙන් පසු)
Sinhala Tamil English Translations and Content Writing

වෙඩි තැබීමක් ඕනැ වෙලාවක වෙන්නට පුළුවන්. මෑත වකවානුවේදී එවැනි දේ ලෝකයේ බොහෝ තැන්වල සිදු වී තිබෙනවා. දෘෂ්ටිවාදී අන්තවාදීන්ගේ සිට මානසික රෝගීන් දක්වා විවිධ පුද්ගලයන් ඒවා කරන්නට පුළුවන්. කෝපය, පළිගැනීම, දේශපාලන අරමුණු, ඊනියා ආධ්‍යාත්මික අරමුණු ආදී දේ ඒ පසුපස තිබෙන්නට පුළුවන්. එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙන් ම සමූහයන් ඉලක්ක කරගෙන ද වෙන්නට පුළුවන්.

මේවා කරන අය එවැනි ක්‍රියා බොහෝ කලක සිට සැලසුම් කර තිබෙන්නට පුළුවන්. ක්‍රියාත්මක කරන විට ඔවුන් එයට දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් ඉලක්ක කරන පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට දුකක් නැහැ. ඔවුන් බොහෝ විට සියදිවි නසාගන්නන්. ඔවුන් බොහෝ විට කරන්නේ ආරක්ෂක අංශ හෝ වෙනත් කවුරුන් හෝ විසින් ඔවුන් බලය පාවිච්චි කර වළක්වන තෙක් වෙඩි තබමින් ඇවිදගෙන යාමයි. ඔවුන්ට අවශ්‍ය හැකි තරම් ජීවිත සංඛ්‍යාවක් විනාශ කිරීමයි.

ගෙදරදී, කාර්යාලයේදී, අධ්‍යාපන ස්ථානයේදී, වෙනත් පොදු ස්ථානයකදී ඔබ වෙඩි තැබීමකට මැදිවුවහොත් කළ යුතු දේ ගැන හිතන්න.

මේ කරුණුත් දැනගන්න. බියවීම සාමාන්‍ය දෙයක්. සන්සුන් වන්න. ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න. මානසිකව සූදානමින් ඉන්න. හදිසි අවස්ථාවකදී කතා කළ යුතු අංක ළඟ තබාගන්න.

මගහරින්න

වෙඩි තැබීම සිදුවන්නේ කොහේද යන්න අවබෝධ කරගෙන එයට විරුද්ධ පැත්තට යන්න.

අනෙක් අයට ද ආරක්ෂිත ස්ථානයකට යන්නට උදව් කරන්න.

හැකි ඉක්මණින් ආවරණ සහිත ස්ථානයකට යන්න.

සෙසු අයට ද අනතුරුදායක ප්‍රදේශය ගැන අනතුරු අඟවන්න.

හදිසි ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි පොලිසිය, ආරක්ෂක අංශ ආදියට කතා කරන්නට. ඊට පෙර එසේ කතා කිරීමට සුදුසු තත්වයක් තිබේ ද යන්න ගැන සැලකිලිමත් වන්න.

ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

හදිසි චලන එපා. ආරක්ෂක අංශ දෙසට දුවන්න එපා.

අත් සම්පූර්ණයෙන් ම පෙනෙන පරිදි තබාගන්න. (ඉහළට එසවීම සුදුසුයි)

වළක්වාගන්න

ඔබ සිටින ස්ථානයේ දොරක් තිබේ නම් එය වසා යතුරු දමාගන්න. දොර ඇරීමට බැරි පරිදි බර ද්‍රව්‍ය තබන්න.

විදුලි පහන් නිවන්න. නිශ්ශබ්දතාව රැකගන්න. දුරකථන වහා නිහඬ කරන්නට මතක් කරගන්න.

දොරවල්, ජනෙල්වලට දුරින් ඉන්න.

ඝාන ද්‍රව්‍ය පිටුපස ආවරණය සලස්වාගන්න.

ආරක්ෂා වන්න

අවසාන විසඳුම ලෙස, වෙනත් කළ හැකි කිසිවක් නැති විට, සටන් කරන්න.

ප්‍රහාරකයාට එරෙහිව ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්න.

අතට අසු වන දෙයින් පහර දෙන්න. ප්‍රහාරය වැඩිදියුණු කරගන්න.

ප්‍රහාරකයාගේ අවධානය වෙනතක යොමුකිරීම සඳහා කෑගසන්න.

අතින් පයින් සටන් කරන්නට සිදු වුණොත්, ප්‍රහාරකයා දැඩි ලෙස දුබල කළ හැකි පරිදි දැඩි ලෙස පහර දෙන්න.

ගෙදරදී වෙඩිතැබීමකට ලක්වුණොත්

හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය ගැන සැලැස්මක් සකස් කරගන්න. පවුලේ අය, පාසල්, මිතුරන් ආදීන් සමග සන්නිවේදනය කරන හැටි සැලසුම් කරන්න.

පිටවීමේ ස්ථාන හඳුනාගන්න.

නිවසේ ආරක්ෂිත කාමරයක් හෝ ස්ථානයක් හඳුනාගෙන තබාගන්න.

විදුලි පහන් නිවන්න. නිශ්ශබ්දතාව රැකගන්න. දුරකථන වහා නිහඬ කරන්නට මතක් කරගන්න.

පවුලේ අයත් සමග ආරක්ෂක පියවර පුහුණුවීමක් කරන්න.

සේවා ස්ථානයේදී

හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය ගැන සේවා ස්ථානයේ සගයන් සමග සැලසුමක් සකස් කරගන්න.

ස්ථානයකට ඇතුළුවීමේදී පිටවන ස්ථාන හඳුනාගන්න.

ඔබගේ සේවා ස්ථානයේ ආරක්ෂාව භාර නිලධාරියා / නිලධාරීන් ගැන දැනගන්න. ආරක්ෂාව පිළිබඳ සන්නිවේදන ජාලයක් ගොඩනගාගන්න.

නිහඬව චලනය වන්න.

පොදු ස්ථාන, බස්, දුම්රිය ආදියේදී

අවට තිබෙන සම්පත් ගැන අවබෝධ කරගන්න. පිටවීමේ දොරටු, ආවරණය විය හැකි ස්ථාන ආදිය හඳුනාගන්න.

ඔබ අවට තත්වය නිරීක්ෂණය කර සැකසහිත ද්‍රව්‍ය, පුද්ගලයන් හා සිදුවීම් පිළිබඳ ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න.

සමූහයකදී, එම සමූහය සමග එකට සිටින්න.

මේ ආයුධවලින් හානි කළ හැකි සාමාන්‍ය දුර අවබෝධ කරගන්න (ප්‍රහාරකයාගේ සිට හෝ ප්‍රහාරය එල්ල වන ස්ථානයේ සිට රවුමට – මෙහි දැක්වෙන්නේ වෘත්තයේ අරයයි)

පිස්තෝල – මීටර් 25

ප්‍රහාරක රයිෆල – මීටර් 100

අත් බෝම්බ – මීටර් 25

පිපිරවීම් – මීටර් 50