ජාතික රූපවාහිනිය අවාරයේ සිරිපා කරුණා කළ හැටි

චන්ද්‍ර ජයසිංහ විසිනි

ජාතික රූපවාහිනියෙන් රියදුරු ගලගෙදර ධාවනය කරන WFR වෑන් රථයෙන් 1993 නොවැම්බර් 23 නිෂ්පාදක අනුර තන්තිලගේ, කැමරාශිල්පි නිසිත වර්ණසූරිය, ආලෝකරණ ශිල්පි අසෝක බුලත්සිංහල, ඊ.එන්.ජී. සහායක අනුරසිරිත් එක්ක එවකට පුහුණුවන පටිගත කිරීමේ ශිල්පියකු වෙච්ච මාත් පිටත් වෙන්නෙ අපූරු වාර්තා වැඩසටහනක් නිර්මාණය කරන්න. ලක්ෂ ගණනක ජනතාවක් සිරිපා සමයේ සිරිපා කරුණා කරද්දි, අවාරයේ සිරිපා අඩවියේ තොරතුරු වාර්තා කරන්න.

අපේ ගමන්මග රත්නපුර ගිලීමලේ හරහා පලාබද්දල විහාරය දෙසට. මුල්ම රාත්‍රිය ගෙවෙන්නෙ පලාබද්දල පන්සලේ බණමඩුවෙ. එතැන ඉඳන් සිරිපාමළුවට යන ගමනේදී අප රැගෙන යායුතු උපකරණ හා ඒවා වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ඉටි උර සකස් කරගැනීම ආදී කටයුතු.

Sinhala Tamil English Translations and Content Writing

24 වෙනිදා පාන්දර පලාබද්දල විහාරයේ සිදුකල ආගමික වතාවත්වලින් පස්සෙ අපේ නඩය අවාරේ සිරිපා කරුණාව පටන් ගන්නව. අපේ කට්ටියට අමතරව අතරමගදී ආහාර සකස්කර ගැනීමට හා අපගේ අමතර උපකරණ රැගෙන යාමට උදව්කරුවන් හතර දෙනෙකුත් එකතු වුනා. සිරිපා අඩවියෙහි රූ සිරි රූගත කරමින් ගමන් කරන අපේ දෙවන රාත්‍රී නවාතැන ලිහිණිහෙල අම්බලම. බර ඔසවාගෙන ආ උදව්කරුවන් කෝකියන් වෙන රාත්‍රිය. සීතලට ඔරොත්තු දෙන්න අධික ලෙස මිරිස් යෙදූ ආහාර ඔවුන්ගේ නිර්මාණ. රූපවාහිනියෙ රස්සාවට ඇවිදිල්ල තද සීතලේ කැලෑවක ගෙවන පලමු රාත්‍රිය…..එළිවෙනකන් අවධියෙන්. දරාගන්න බැරි සීතල හිංද ගිනිමැලයක් ගහන්න හැදුවම උදව්කරුවන් විරුද්ධ වුනෙ ප්‍රදේශයේ දිවියා ගැවසෙන බව සඳහන් කරමින්.

25 වෙනිදා විටින් විට වැසි වැටෙන තෙතබරිත, කූඩැල්ලන්ගෙන් පිරුණු පඩිපෙලක් නැති ලිස්සා වැටෙන දුෂ්කර ගමන්මග දිගේ පටිගත කිරීම් කරමින් ඉදිරියට. දුෂ්කරතා ජයගත යුතුම බැවින් අපේ ගමන සිදුවුනේ හරිම හිමින්. එදා රාත්‍රිය හැරමිටිපාන අම්බලමෙ.

26 වෙනිදා හැරමිටිපාන අම්බලමෙ ඉඳල ගමන පටන් ගත්තෙ සිරිපා මළුවට. මහගිරිදඹ දෙසට වන්න අක්‍රමවත් විදිහට උනත් පඩි තිබුණ. මහගිරිදඹ නගින්න උනේ අධික වර්ෂාවටත් අධික සුළඟටත් මුහුණ දෙමින්. වර්ෂාව සුළඟ අතරතුරේ පටිගත කිරීම් කරන්න අපි උත්සාහ කළා. 
ඉටිඋර තුල උපකරණ හොඳින් ආරක්ෂා වෙද්දි හොඳටම තෙමිච්ච සීතලෙන් වෙව්ලන අපි සන්ධ්‍යා අඳුරත් එක්ක ගන මීදුමෙන් පිරුණු සිරිපාමළුවට ගොඩ වෙනව. මළුවෙ පුංචි කුටියක ලැබුණු උණුසුම පන්පැදුර මත දිග හැරෙන සිතුවිලි නිදි ගන්වන්නට සමත් වෙලා.

27 වෙනිදා පාන්දර සුදුවළාවන් මතින් නැගි හිරු සිරිපා පුදන්නට සැරසෙද්දී අපි සිරිපා මළුව පිරිසිදු කිරීමෙන් පස්සෙ අවාරයේ සිරිපා වන්දනාව ආගමික වතාවත් එක්ක සිද්ධ කරනව. නිවීගොස් තිබුණු දොලොස්මහෙ පහන දැල්වෙනව. සුවඳ දුම් මිහිදුම් සුළඟට මුසුවෙනව. සිරිපා කඳුමුදුනෙන් ඝංටාර හඬ රැව්දෙනව. 

රූපවාහිනී කණ්ඩායමක් කළ පළමු අවාරයේ සිරිපා වන්දනා වාර්තා වැඩසටහන නිර්මාණය කරන්න ජාතික රූපවාහිනියෙ අපි සමත් වෙනව. ඒ 1993 අවුරුද්දෙ.

අවසන් සටහන…..
මම සිරිපා කරුණා කල පළමු අවස්ථාව තමයි ඒ. සුදු පිරුවට අඳින්නවත්, සීතගඟුලෙන් නාන්නවත්, ඉඳිකටුපානෙදි ගෙත්තම් කරන්නවත් කෝඩු කාරයෙක් වෙච්ච මට පුළුවන් වුනේ නැහැ. 

එදා ඉඳන් අද වෙනකන් විටින් විට මං සිරිපා කරුණා කරනව. බොහෝ වෙලාවට ඒ රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් විතරමයි.

සිරිපා කරුණා කරන රාජකාරිමය වන්දනාකරුවෙක් මං…….