ඉරනමඩු වැවේ පැරණි ඵලකය කඩා බිඳ දැමීම ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ කඩා බිඳ දමන ලද පැරණි ඵලකයේ පැහැදිලි රූපයක්. එහි සඳහන් වන පරිදි මෙම වැව ඉදිකරනු ලැබුවේ 1903 සිට 1920 දක්වා වකවානුවේදී යි. එය වැඩිදියුණු කරනු ලැබුවේ අභාවප්‍රාප්ත පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අණ පරිදි ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක විසිනි. 1954දී එය සම්පූර්ණ කරනු ලැබුවේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමති පී.බී. බුලන්කුලම විසිනි. 1954 ජුනි 5 දින මෙම ඵලකය විවෘත කරන විට වාරිමාර්ග අධ්‍යක්ෂව සිටි ඩබ්ලිව්.ටී.අයි. අලගරත්නම්ගේ නම ද එහි සඳහන් වේ. 

Sinhala Tamil English Translations and Content Writing

මේ වනාහි වැදගත් ඉතිහාස කතාවකි. එම වකවානුව වන විට පැවතියේ ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයයි. ඩී.එස්. සේනානායක මහතා 1953දී මියගියේ ය. ඉන් පසු අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාට 1953 හර්තාලයෙන් පසු ඉල්ලා අස්වන්නට සිදු විය. 

කනගරායන් ආරු හරස් කර ඉදි කරන ලද මෙම වැවෙහි කටයුතු පළමු ලෝක යුද්ධය නිසා පමා වූ මුත් 1921දී අවසන් කරන වතුර පුරවන ලදී. රු. 194,000ක වියදමින් මිනිස් ශ්‍රමයෙන් හදවන ලද මේ වැව විසින් කනගරායන් ආරු ගඟට අයත් තෙත්බිම් දෙකක් එකට සම්බන්ධ කර එහි වතුර රඳවන ලදී. මෙම වැවට ඉරනමඩු යන නම වැටුණේ පොකුණු දෙක යන අරුතිනි. 

මුලින් අඩි 26ක් වූ වැව් බැම්ම 1951දී අඩි 30 දක්වා ද 1954දී අඩි 32 දක්වා ද ඔසවන ලදී. ඒ අනුව, එහි ධාරිතාව අක්කර අඩි 82,000ක් විය. 1975දී යළි වැව් බැම්ම අඩි 34 දක්වා ඔසවන ලදී. එහෙත්, වැව් බැම්මෙහි ශක්තිය මඳබව 1984දී සොයාගැනීමෙන් පසු අඩි 32ට වඩා වතුර පිරවීම නවත්වන ලදී. 2014 වන විට අක්කර 22,000ක් පමණ මෙම වැවේ ජලයෙන් වගා කරන ලද බව කියවේ.

ඡායාරූපය ලංකා නිව්ස් ලයින්

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගියදා එම පැරණි පුවරුව ගලවා දමා තිබුණු ආකාරයයි. මෑතදී මෙම වැව ප්‍රතිසංස්කරණය කරන ලද අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඒ සම්බන්ධ නව ඵලකයක් විවෘත කරන ලදී. 

ඡායාරූපය ලංකා නිව්ස් ලයින්

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් රු. මිලියන 2100කට වැඩි වියදමින් මෙම වැව තවදුරටත් වැඩිදියුණු කරන ලද අතර දැන් එහි වැව් බැම්මේ උස අඩි 36කි. වර්තමානයේ එහි ධාරිතාව සඳහන් වන්නේ ඝන මීටර මිලියන 148ක් ලෙසයි. (අක්කර අඩි ගණන 120,000ක් පමණ වේ.

  • අජිත් පැරකුම් ජයසිංහ 

2 thoughts on “ඉරනමඩු වැව, ඩඩ්ලි සහ මෛත්‍රී

  1. Shyaman Hemakody (ෆේස්බුක්හි පළ කළ අදහසකි.) පැරණි නාමපුවරුව ඉවත් කිරීම වැරදියි වගේම ඒ පැරණි නාමපුවරුවත් වැරදියි. ඉරණමඩු ජලාශය උතුරු පළාතේ ඇති ප්‍රධානතම ජලාශයයි. වර්ග කිලෝ මීටර් පනහක පමණ භූමි ප්‍රදේශයක්‌ මේ ඉරණමඩු ජලාශයට අයත් වෙයි. පස්‌වෙනි ශතවර්ෂයේදී ධාතුසේන රජතුමා විසින් ඉදිකළ මේ ඉරණමඩු ජලාශය එදා හඳුන්වා ඇත්තේ “රණමඩු” ජලාශය වශයෙනි. එවකට පැවති පරිපාලනමය තත්ත්වය යටතේ උතුරුමැද පළාතට මේ “රණමඩු” ජලාශය අයත් වූ අතර ප්‍රාදේශීය පාලනයෙන් බෙදීයැමේදී යාපනයේ රජ කළ අප්‍රකට රජෙකු බාරයට “රණමඩු” ජලාශය පත්ව තිබේ.

    යල මහ දෙකන්නයට ඉතා හොඳින් කුඹුරු වගකිරීමට හැකි මේ ඉරණමඩු ජලාශය වටා ඇති ජල පෝෂක වනාන්තරයේ වන්නියටම ආවේණික වූ ඉතා දුර්ලභ ගණයේ ශාක හා කඩොලාන වලින් පරිපෝෂිත වූ ප්‍රදේශයකි. මාස්‌ කන්නයේ මහවැසි සමග ඉරණමඩු කොමළිය වාන්දමන විට මුළු මහත් වන්නියටම දැඩි චමත්කාර සුන්දර දසුනක්‌ ගෙන එයි.

    පෙර රජවරුන් වැව් බැඳි රටක්‌ නිර්මාණය කරමින් ගිය ගමනේදී මේ වැව් කර්මාන්තය නිමාවී ඇත්තේ වන්නියෙනි. එදා “වැව්නිමාව” ලෙස සැලකූ මේ භූමිය අද වවුනියාව බවට පත්වී ඇති බවට ඉදිරිපත් කළ හැකි පුරාවිද්‍යා සාධකද එමටය. 1902 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්‌කරණය කළ අවස්‌ථාවේද වැවේ ධාරිතාවය අක්‌කර අඩි 119 කින් වැඩි කිරීමට කටයුතු කළා මිස එදා ධාතුසේන රජතුමාගේ මූලික බලාපොරොත්තුවට හෝ උත්සාහයට අබමල් රේණුවක තරම් හෝ විනාශයක්‌ සිදු කිරීමට ක්‍රියාකොට නොමැත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: