ශ්‍රී ලංකාව වැටී සිටින්නේ දැවැන්ත අගාධයක බව දැන් දැන් ජනතාවට වැටහෙමින් තිබේ. වසර 2017 අවසන් වන විට රජයේ ණය කන්දරාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.6%ක් වූ බව 2017 මහබැංකු වාර්තාව පවසයි. ඒ අනුව, 2017 අවසානය වන විට ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය බර රු. බිලියන 10,300 ඉක්මවයි. පසුගිය වසර තුළ සිදු වූ රුපියලේ අවප්‍රමාණය වීම් හේතුවෙන් තවත් රු. බිලියන සිය ගණනක් මෙම ණය බරට එකතු විය. එම රුපියල් ප්‍රමාණය පවා තවත් අධිවේගී මාර්ගයක් හදන්නට තරම් ප්‍රමාණවත් ය. 

Sinhala Tamil English Translations and Content Writing

මේ වන විට ශ්‍රී ලංකාව සැලකෙන්නේ අධික ලෙස ණය වී සිටින රටක් ලෙසයි. මේ බව පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුමෙන් ද පැහැදිලි විය. ඉදිරි මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම රු. බිලියන 1,765කි. එයින් බිලියන 970ක් ම වැය වන්නේ ණය හා පොළී ගෙවීම සඳහා ය. ණය වෙනුවෙන් දරණ වියදම සමස්ත වියදමෙන් 50%කටත් වැඩි ය.  දැන් දැන් ශ්‍රී ලංකා රජය කරමින් සිටින මූලික කාර්යය වන්නේ ණය ගෙවීම සඳහා ණය ගැනීමයි. නිදසුනක් ලෙස පසුගිය මැයි මාසයේදී ද රජය විදේශවලින් ඩොලර් බිලියන 3.5ක ණය ලබා ගත්තේ ය. කලින් කල  මහා භාණ්ඩාගාරය දුවවන පී.බී. ජයසුන්දර, ආර්.එච්.එස්. සමරතුංග වැනි වැඩකාරයන් ඇත්තට ම කරන්නේ මේ ණය ආර්ථිකය කළමනාකරණය කිරීමයි. 

මේ සම්බන්ධයෙන් දැන් කලින් ආණ්ඩුවලට ඇඟිලි දිගු කරමින් සිටීමෙහි තේරුමක් නැත. වත්මන් ආණ්ඩුව ද ඒ ආණ්ඩුව මෙන් ම ණය ගනිමින් සිටියි. මේ වන විට නම්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකවල ද පහළට වැටී තිබෙන නිසා දැන් දැන් විවෘත මුල්‍ය වෙළඳපොළේ ණය ලබාගැනීම තවත් අමාරු වී තිබේ. 

ලංකාව මෙතරම් ණය අර්බුදයක හිර වුණේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු ය. මේ ණය ලබාගත්තේ රටේ ආර්ථික සංවර්ධනයට නම් එමගින් ණය ගෙවාගන්නට පුළුවන් තරමට නිෂ්පාදනය සංවර්ධනය වී තිබිය යුතු ය. ගත් ණය ගෙවන්නට තවත් ණය ගන්නට ද, ණය ද ගන්නට බැරි විට තිබෙන රාජ්‍ය දේපලක් විකුණන්නට ද සිදු වී තිබෙන්නේ රටේ නිෂ්පාදන සංවර්ධනයක් සිදු වී නැති හෙයිනි. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ආයෝජන සිදු වී නැති බැවිනි. 

මහින්ද රාජපක්ෂ රජය විසින් මේ රටේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කරන ලදී. ඒ වෙනුවෙන් අති විශාල වශයෙන් විදේශීය වශයෙන් ණය ලබාගන්නා ලදී. මේ යටිතල පහසුකම් සංවර්ධනයෙන් නිෂ්පාදනයට ප්‍රමාණවත් දායකත්වයක් ලැබී තිබේ ද? හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව වැනි සුදු අලින්ගෙන් රටට කිසිදු ප්‍රයෝජනයක් නැත. එහෙත්, කිසිවෙකු අධිවේගී මාර්ගවලට බනින්නේ නැත. රටට තව තවත් අධිවේගී මාර්ග අවශ්‍ය බව ජනතාව කියති. වත්මන් ආණ්ඩුව ද කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයට ප්‍රමුඛතාව දී තිබේ. එහෙත්, අධිවේගී මාර්ග හෝ රටේ නිෂ්පාදනය සංවර්ධනයට ප්‍රමාණවත් දායකත්වයක් සපයයි ද? ඒ ඔස්සේ ඈත ප්‍රදේශවල සිට නගරවලට හෝ වරායවලට හෝ ප්‍රවාහනය කරනු ලබන කෘෂිකාර්මික හෝ කාර්මික නිෂ්පාදනවල වර්ධනයක් සිදු වී තිබේ ද? ඒවා සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා හෝ නම්නීකරණය කර තිබේ ද? අධිවේගී මාර්ගවල වේගයෙන් වාහන පදවමින් කතරගම දේවාලයට වන්දනාවේ යන එකෙන් ණය ගෙවන්නට පුළුවන් නිෂ්පාදන සංවර්ධනයක් සිදු වන්නේ නැති බව මේ රටේ ජනතාව තබා දේශපාලකයන්වත් අවබෝධ කරගෙන නැත. අධිවේගී මාර්ග යනු සංදර්ශනයකි. ඒ සංදර්ශනය පවත්වන්නේ දැවැන්ත ණයබරක් මත බව අප දන්නේ නැත.

මිළ අධික පොසිල ඉන්ධන අධි පාරිභෝජනයට හේතු වන අධිවේගී මාර්ගවලට වඩා ඉන්ධන පිරිමසින මහා පරිමාණ ප්‍රවාහන මාධ්‍ය වන විදුලි දුම්රිය සේවා පහසුකම් සංවර්ධනයට රට යොමු නොවූයේ ඇයි? කොළඹ සිට ප්‍රධාන දුම්රිය මාර්ග හතරකි. ඒවා යන්නේ පොල්ගහවෙල, පුත්තලම, මාතර හා අවිස්සාවේල්ලටයි. මෙම මාර්ග අතරින් කොළඹ දිස්ත්‍රික්කය හරහා  පමණක් වැටී තිබෙන එක ම දුම්රිය මාර්ගය වන අවිස්සාවේල්ල දුම්රිය මග ද්විත්ව මාර්ගයක් කිරීමේ වැඩසටහනට අධිවේගී මාර්ග වැඩසටහනට මෙන් ප්‍රමුඛතාවක් ලැබී නැත්තේ ඇයි? මහනුවරට, කුරුණෑගලට, මීගමුවට හෝ ද්විත්ව මාර්ග ඉදිකරන්නට සැලසුමක් නැත්තේ ඇයි? දකුණු පයාගල දක්වා ද්විත්ව මාර්ගයක් ඉදි කර තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ තව බොහෝ දුම්රිය ධාවනය කළ හැකිව තිබියදී ඒ රේල් පාරවල් දවසේ වැඩි කාලයක් වේලෙන්නේ දුම්රිය එන්ජින් හා මැදිරි නැති නිසා ය. ඒ හේතුවෙන් මහාමාර්ගවල දවස පුරා අධික වාහන තදබදයකි. රාත්‍රී කාලයේ දුම්රිය මාර්ගවල අඩු වියදමින් භාණ්ඩ ප්‍රවාහනය සිදු කළ හැකිව තිබියදී එසේ නොකරන්නේ ඇයි? කලින් කලට සාකච්ඡා වන විදුලි දුම්රිය පද්ධති කිසිදා ඉදි නොවන්නේ ඇයි?

පිළිතුර පැහැදිලි ය. අප රටේ යටිතල පහසුකම් වෙනුවෙන් පවා සිදු කර තිබෙන්නේ තේරුමක් නැති ආයෝජනයි.  එසේ නම්, අප මෙතරම් ණය වී තිබෙන්නේ කුමට ද? අපට අති විශාල රාජ්‍ය යන්ත්‍රයක් තිබේ. මේ රාජ්‍ය යන්ත්‍රය තවමත් ගුවන් සේවාවල සිට සිල්ලර කඩ පවත්වාගෙන යාම දක්වා ව්‍යාපාර රාශියක් සිදු කරයි. ප්‍රශ්නය එය නොවේ. ඒවායින් මහජනතාවට සිදු වන යහපත කුමක් ද යන්නයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය මෙන් ම රජයේ සතොස හා රජයේ ආධාර මත පවත්වාගෙන යන සමුපකාර සමිති පවා මහජනතාවට ප්‍රයෝජනයක් ඇති ව්‍යවසාය නොවේ. රජය මහජනයාට අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවා නොමිළේ සපයයි. එහෙත්, ඒ වෙනුවෙන් මහජනතාව උර දෙන බදු හා ණය බරට සාධාරණ සේවාවක් එම ආයතනවලින් මහජනතාවට සැපයේ ද? රජයේ සේවාවන්ගේ ප්‍රධාන කාර්යය සේවා සම්පාදනය නොව රැකියා සම්පාදනයයි. සේවා සම්පාදනය කරන්නේ රැකියා සම්පාදනය වෙනුවෙන් කරනු ලබන වියදම් සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් වන මට්ටමට පමණි. ඇමතිවරුන්ට, නිලධාරීන්ට වැටුප්, දීමනා, වරප්‍රසාද, නිල වාහන, විදේශ සංචාර ආදිය සැපයීම රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ මූලික අරමුණයි. මේ අතර බිම් මට්ටමේ සේවා සම්පාදනය කරන රාජ්‍ය සේවකයන් ද තෘප්තිමත් නැත. ඔවුන්ගේ වැටුප් ද ඇත්තේ පහළ මට්ටමක ය. එහෙත්, රාජ්‍ය සේවයට ඇතුළත් වීම සඳහා දැඩි ඉල්ලුමක් තිබේ. සාපේක්ෂව වැඩ අඩුවීම, නිවාඩු ගැනීමේ හැකියාව, සේවා සුරක්ෂිතභාවය හා විශ්‍රාම වැටුප් එයට හේතු වී තිබේ. 

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මෙසේ පවසයි: “දවසකට අපි කිලෝ කැලරි 2200ක් ශක්තිය නිපදවන ආහාර පාරිභෝජනය කළ යුතුයි. කොළඹ පාරිභෝගික මිළ දර්ශකය අනුව හතරදෙනෙකු ඉන්න පවුලක් දිනකට දළ වශයෙන් රු. 500ක් වැය කළ යුතුයි. ඒ අනුව, මසකට රු. 15,000ක් අවශ්‍යයි. අනෙකුත් වියදම් අනුව දිනකට රු. 1,000ක් අවශ්‍යයි. ඒ අනුව, රු. 30,000ක් ඉපැයිය යුතුයි. රජයේ සේවකයන් බොහෝ දෙනෙකුගේ මූලික වැටුප මීට අඩුයි.  ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණයි, රු. 30,000 ඉක්මවා උපයන්නේ. 75%කගෙ ආදායම ඊට අඩුයි.” 

ඔහු පවසන පරිදි ලංකාවේ ධනය නිපදවීම සිදු වන්නේ ඉතා අඩුවෙනි. විද්‍යාත්මක සමීක්ෂණයක් කර නැතත්, ලංකාවේ ජනගහනයෙන් දළ වශයෙන් 3%ක් පමණයි ධනය නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 97% කරන්නේ යැපීමයි. මෙම යැපුම් මානසිකත්වය ඇති කිරීමෙහි ලා රජයේ සේවය අතිවිශාල දායකත්වයක් සපයන බව අපගේ තර්කයයි. ශ්‍රමයේ පරමාදර්ශය, ප්‍රමිතිය බවට රජයේ සේවය පත් වී තිබෙන සංදර්භය තුළ නිෂ්පාදන කර්මාන්තවල සේවය සඳහා තරුණ තරුණියන්ගේ යොමු වීම අඩු වී තිබේ. රටේ ඇඟලුම් කම්හල්වල කිසිදා නොපියවෙන පුරප්පාඩු දසදහස් ගණනක් තිබේ. සංචාරක කර්මාන්තය වැනි අංශවල පවා ශ්‍රම හිඟයක් පවතී. අභියෝග අඩු, ආදායමත් අඩු, එහෙත් රැකියා සුරක්ෂිතභාවය ඉහළ රජයේ රැකියා හේතුවෙන් දක්ෂතා ඇති විශාල පිරිසකගෙන් නිෂ්පාදනයට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබේ. 

ලංකාව ගොඩගන්නට නම්, රටේ නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය හා විදේශ ශ්‍රම බලකාය සංවර්ධනය කිරීම හැර වෙනත් මාර්ගයක් නැත. ණය ගෙවීමට, රට සංවර්ධනයට අත්‍යවශ්‍ය ධනය නිෂ්පාදනය කරන්නේ ඔවුන් ය. දැනට නම් මේ පිරිසට අයත් වන ප්‍රධාන කොටස් වන්නේ කෘෂිකර්මාන්තයේ, නිෂ්පාදන කර්මාන්තවල, සංචාරක කර්මාන්තයේ හා විදේශ රැකියාවල යෙදී සිටින පිරිස් හා ව්‍යවසායකයෝ ය. මේ අයට යටිතල පහසුකම් හා සේවා සැපයීමෙන් සෙසු ශ්‍රමිකයන් ධනය නිෂ්පාදනයට දායක වෙති. රජයේ සේවය ස්ථානගත වන්නේ මෙම ද්විතීයක ස්ථානයේ ය. ශ්‍රමය පිළිබඳ ආකල්ප වෙනස් කිරීමෙහිදී මෙම කරුණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු ය. 

මේ රට ගොඩගැනීම ඉක්මණින්, පහසුවෙන් කළ හැක්කක් නොවේ. ඒ වෙනුවෙන් රටේ ජනතාව ශ්‍රමය වැගිරවිය යුතු ය. ධනය නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රමය වගුරුවන ජනයා රටේ සැබෑ වීරයන් ලෙස ගෞරවයට පාත්‍ර විය යුතු ය. ඒ සඳහා සුවිසල් ආකල්පමය වෙනසක් අවශ්‍ය ය. එය ආරම්භ කළ යුත්තේ කොතනින් ද?

බොහෝ අය සිතන්නේ දේශපාලකයන් ආදර්ශවත් නොවී මෙය කළ නොහැකි බව ය. එහෙත්, එවැනි ආදර්ශවත් දේශපාලක පරපුරක් ගැන සිතන්නට හෝ බැරි තරමට ලංකාවේ දේශපාලනය දූෂිත ය. රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ද එසේ ම ය. මෙම ආකල්ප වෙනස සිදු කළ හැක්කේ බිම් මට්ටමේ මහජන ව්‍යාපාරවලට ය. එය එතරම් සංකීර්ණ සංකල්පයක් නොවේ. වැඩ කරන ජනතාව සාමූහිකව ද, පුද්ගලයන් ලෙස ද හැම විට ම දේශපාලකයන්, නිලධාරීන් ප්‍රශ්න කරමින් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ යුතු ය. ශ්‍රමයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. 

  • අජිත් පැරකුම් ජයසිංහ, 2018-12-30 ලංකා පුවත්පතේ පළ විය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.