Nanda Wanninayaka in Jaffna

නන්ද වන්නිනායක විසිනි

යාපනයේ මිනිසුන් ගැන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනයා අතර තිබෙන මිථ්‍යා අදහස් හතක් පිළිබඳ මෑත වකවානුවේ තරමක කලක් යාපනයේ වැසියන් සමග එකට ජීවත් වූ නන්ද වන්නිනායක මෙසේ සටහන් කරයි. ඔහුගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න. මේ අදහස් විධිමත් අධ්‍යයනයක් මත පදනම් නොවූ පෞද්ගලික නිරීක්ෂණ බව ඔහු පවසනවා. ඒ ගැන ඔබටත් අදහස් දක්වන්නට පුළුවන්.

  1. යාපනේ වැසියන් කළු ය

බොහෝ දෙනෙකු සිතනවා යාපනයේ වැසියන් රටේ සෙසු ප්‍රදේශවල ජනයාට වඩා සමේ පැහැයෙන් කළු ය කියා. මෙය ලොකු වැරදි අදහසක්. ගමක, නගරයක හෝ යාපන පුරයේ සැරිසරන විට දැකිය හැකි සමේ වර්ණයේ විවිධත්වයෙන් ඔබ විස්මයට පත් වේවි. රෝස පාට, තැඹිලි පාට, තලඑළළු, දුඹුරු, කළු ආදී විවිධ පාට එහි තිබෙනවා.

A random photo of girls in Jaffna.

යාපනයේ ගැහැණු ළමයින් පිරිසකගේ අහඹු ඡායාරූපයක්. Photo Credits: http://jhlc.mysch.lk/

පිරිමි හා පිරිමි ළමයින් සම්බන්ධයෙන් නම්, ඔවුන් කළු ද, දුඹුුරු ද, තලඑළලු ද, සුදු ද යන්න ගැන සොයා බලන්නට මා එතරම් යොමු වුණේ නැතත්, එක දෙයක් පැහැදිලියි. යාපනයේ තරුණයන් ශක්තිමත්.

2. යාපනයේ අය ඉගෙනීමට දක්ෂයි

ඉස්සර එහෙම වෙන්න ඇති. දැන් නම් එහෙම නැහැ. තිස් අවුරුදු යුද්ධය යාපනය සුන්බුන් කළා. අවුරුදු 30කට පෙර යාපනයේ සිසුන් අධ්‍යාපනයට දැක්වූ උනන්දුව වැනි දෙයක් තවමත් ඇති බවක් පෙනෙන්නට නැහැ. යාපනයේ සිසුන් ඉස්සර දවල් දවස ගොවිපළවල වැඩ කරලා රෑට කුප්පි ලාම්පු එළියෙන්, නිදිමත නොඑන්නට කකුල් වතුර බේසම්වල දමාගෙන පාඩම් කළ බව කියවුණා. එහෙත්, දැන් පිරිමි ළමයි ඉක්මණින් රැකියා සොයාගෙන පාසල් හැර යනවා. බොහෝ ගැහැණු ළමයින් ජංගම දුරකථන හා අමතර කොටස් විකුණන කඩවල කැෂියර්ලා හෝ හැමදාමත් එකම මැහුම මහන ඇඟලුම් කම්හල් සේවිකාවන් බවට පත් වෙනවා. ඉස්සර වගේ දොස්තරලා, ඉංජිනේරුවන්, නීතිඥයන්, ගණකාධිකාරීන් වන්නට වෙහෙස වන දරුවන් දැන් හරි අඩුයි.

3. යාපනයේ අය රළුයි

එවැනි මිථ්‍යාවක් නිර්මාණය වුණේ කොහොමද කියා මට තේරෙන්නෙ නැහැ. යාපන වැසියන් සම්ප්‍රදායිකව ම නිහතමානීයි. මෙය ඇතැමෙක් වරදවා වටහා ගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන සමයේ 2009දී හෝ 2010දී මා වරක් යාපනයේ විග්නේශ්වර විද්‍යාලයට ගියා. එහි විදුහල්පතිවරයා විශ්‍රාම යන්නට ආසන්න වයසේ මහත්මයෙක්. ඔහු කොයි තරම් නිහතමානී ද යත් දිගට ම මා ඇමතුවේ ‘සර්’ කියායි. ඔහුගේ පුතකුගේ වියේ සිටි, ඔහු තරම් උගතකු ද නොවූ මා එයට නුසුදුසු බව මා ඔහුට විනීත ලෙස කීවත් ඔහු දිගට ම මට
‘සර්’ කිව්වා. මාත් ඔහුට සර් කිව්වා. එය විහිළුවක් වුණා.

4. යාපන වැසියන් අපිරිසිදු ය

යාපනයේ වැසියන් ඉතා පිරිසිදු මෙන් ම, ඔවුන්ගේ නිවාස ද, ඒවා කුමන මට්ටමේ ඒවා වුණත් ඉතා පිරිසිදුව හා මනා පිළිවෙලට පවත්වාගෙන යනවා. මා වැඩිපුර යාපනයේ ජීවත් වූ මානියන්තෝට්ටම්හි කුඩා බිම්කඩවල, කුඩා නිවාස රැසක් තිබෙනවා. ඒ හැම එකක් ම වගේ ඉතා පිරිසිදුයි, පිළිවෙලයි. එහෙම නොවන නිවාස තිබෙන්නේ කලාතුරකින්.

5. යාපන වැසියන් මහන්සි වී වැඩ කරනවා

මේ සම්බන්ධයෙන් නම් යාපන වැසියන්ට ගරු කරන්නට මට බැහැ. ඉස්සර එහෙම වෙන්න ඇති. එහෙත්, අද නම් මා දකිනවා තරුණ, වැඩිහිටි බොහෝ මිනිසුන් අලස ලෙස කාලය කා දමන හැටි. නව යොවුන් හා තරුණයන් එතනදී විශේෂයි. ඔවුන් එක්කෝ සිය ජංගම දුරකථනවලට එබීගෙන පාරවල රස්තියාදු වෙනවා. නැතිනම්, ලොකු ඉන්දියන් මෝටර් සයිකල්වල නැගී ඉගිලෙනවා. ණයට ගත් මේ මෝටර් සයිකල වෙනුවෙන් මුදල් ගෙවන හැටි මට තේරෙන්නේ නැහැ. එහෙත්, ඔවුන් වැඩිදෙනෙකු තේරුමක් ඇති වැඩක් කරන බවක් පෙනෙන්නේ නැහැ. ඇතැමෙකුට කොළඹින් හා වෙනත් පැතිවලින් වෘත්තීය පුහුණුව හා පුහුණු වන අතරතුර වැටුප් ලබා ගත හැකි රැකියා සොයා දීමට මා ඉදිරිපත් වුණත් ඔවුන් වැඩි දෙනෙකු ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ.

6. යාපනය වැසියන් සකසුරුවම්කාරීයි

මෙයත් අතීත යාපන වැසියන් තුළ තිබුණ ලක්ෂණයක්. එහෙත්, දැන් දැන් එය එසේ නැහැ. 1977දී ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිඵල වෙනත් පළාත්වලට දැනුණ තරම් ඉක්මණින් උතුරට දැනුණේ නැහැ. 1983න් පසු පැනනැගුණ සිවිල් යුද්ධයත්, ඒ-9 පාර දිගු කලක් වසා තිබීමත් එම තත්වය පවතින්නට දායක වුණා. ඒ වුණත් තමිල්නාඩුවේ සිට හොරබඩු ජාවාරම නම් ජයට ම කෙරුණා. ජාතික ජාලයේ විදුලි බලයත් යාපනයට නැවත ලැබුණේ සිවිල් යුද්ධය අවසන් වූ පසුවයි. ඒ නිසා ඊට පෙර සමයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය සීමා වුණා.

ඒත් යුද්ධයේ නිමාවත් සමග තත්වය වේගයෙන් වෙනස් වුණා. මේ වන විට යාපනය වැසියනුත් අධි පාරිභෝජනවාදී ජීවන රටාවකට හැඩගැහිලා ඉවරයි. මේ වන විට යාපනයත් නවීන වාහන, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් උපාංග ආදිය සඳහා දැවැන්ත වෙළඳපොළක්. විදේශවල සිටින ඥාතීන් එවන තුට්ටු දෙකත් වැඩිපුර වැය වන්නේ මේ දේවලටයි. ඉස්සර යාපනයේ දෙමළ මිනිසුන් කළා සේ මුදල් ඉතිරි කර රත්තරංවල ආයෝජනය කරන එක දැන් අවමයි. ඒ වෙනුවෙන් ණය කාඩ්පත්, පහසු ගෙවීමේ ක්‍රම, ක්ෂුද්‍ර මුල්‍ය ණය ආදී ක්‍රමවලට යාපනය වැසියන් හසු වී හමාරයි.

7. යාපනය වැසියන් සිංහල විරෝධීයි

මේක තමයි නරක ම මිථ්‍යාව. තිස් අවුරුදු යුද්ධය යාපනයේ මහාත්මා මිනිසුන්ගේ ජීවගුණය දිය කර හරින්නට සමත් වී නැහැ. මට දෙමළ කතා කරන්නට හෝ තේරුම් ගන්නට බැහැ. ඒ නිසා මා පාරවල් අසාගැනීම වැනි දේට මුලින් ම කතා කරන්නේ සිංහලෙන්. බැරි වුණොත් ඉංග්‍රීසියෙන් කතා කරනවා. එවැනි අවස්ථාවලදී කට පුරා සිනා සී මට උපකාර කිරීමට ඉදිරිපත් වන යාපන වැසියන් එමටයි. මා සිංහලයකු වීම ඔවුන්ගේ හදවතේ උණුසුම අඩු කිරීමට කිසිදු හේතුවක් වන්නේ නැහැ. මා සිංහල බව දැනගත්තාම මට වැඩිපුරත් උපකාර ලැබෙනවා. බයිසිකල්වලින්, මෝටර් සයිකල්වලින් නොමිළේ ම අදාළ තැනට රැගෙන යන අයත් හමු වෙනවා. එහෙම වෙලාවට මගේ හිතේ මතු වන ප්‍රශ්නය වන්නේ “අපි මොන එකකට ද යුද්ධ කළේ කියලායි.”

2 thoughts on “යාපනයේ මිනිසුන් ගැන අනෙකුත් ප්‍රදේශවල ජනයා අතර තිබෙන මිථ්‍යා අදහස් හතක්

  1. යාපනේ වැසියා කියලා කෙනෙක් නෑ ඒකීය පුද්ගලයෝ විතරයා කොතනත් ඉන්නේ. ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.

  2. ඔබගේ අදහසට ස්තුතියි වගේම ගරු කරනවා. මා ඔය තරම් සරල කුලකයට ලඝු කිරීම සම්බන්ධයෙන්ම කණගාටුයි. කොහොමටත් ලංකාවේ මිනිස්සු කෙනෙකුගේ මතුපිටින් යමක් දැක කඩිනම් වර්ගීකරණයට දක්ෂයි. NGO කාක්කෝ, ඩොලර් කාක්කෝ, ටොය්යෝ, බයියෝ වැනි බොළඳ වර්ගීකරණයන් මෙහිම දිගුවක් මම හිතන්නේ.

    මම ලිව්වේ මට හිතනා දේ සහ දකුණේ වැසියන්ට වැදගත් වේ යැයි මා සිතූ දේ. මෙයින් මම උතුරේ හෝ දකුණේ කාගෙවත් හිත දිනාගැනීමට හෝ සිත් රිදවීමට බලාපොරොත්තු වුණේ නැහැ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.