බේබි 81, හෙල්පිං හම්බන්තොට හා 2004 සුනාමියේ මතක සටහන්

2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලාංකිකයන් 35,000ක පමණ පිරිසකට මරු කැඳවමින් සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 14ක් පිරේ. සුනාමි ව්‍යසනය පිළිබඳ කම්පා වී ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල ත්‍යාගශීලීන් විසින් එවන ලද ඩොලර් කෝටි ගණනක් ලංකාවේ සංසරණය වූ මුත් ඇතැම් විපතට පත් වූවන්ට තවමත් ඔවුන්ගේ අහිමි වූ භෞතික සම්පත් ලබාගැනීමට බැරි වී තිබේ.. සුනාමියෙන් බැට කා යන්තම් දෙපයින් නැඟී සිටින්නට උත්සාහ කරද්දී ඇවිළුණ යුද ගින්නෙන් යළි බැට කා බොහෝ දේ අහිමි වූ තවත් දසදහස් සංඛ්‍යාත පිරිසක් තවමත් .උතුරේ ජීවිත ගොඩනගාගන්නට වැර දරති. දිවයින පුරා ම සුනාමියෙන් පීඩාවට පත් බොහෝ අයගේ නිවාස තවමත් බාගෙට ඉදි කළ ගමන් ය. 

බේබි – 81 ළමා වියේදී

සුනාමියෙන් හැදුණු අය අතර රාජ්‍ය නොවන සංවිධාන ලොක්කෝ මෙන් ම දේශපාලකයෝ ද වෙති. ඇතැම් දේශපාලක අතවැසියන්ට සුනාමියෙන් වූ කිසිදු හිරිහැරයක් නැතත් ඔවුන්ට නිවාස දෙක තුන ලැබී තිබේ. දැන් ඒවායින් බොහොමයක් කුලියට දී තිබේ. 

2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නොවන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බව ද ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 2009දී පැවසී ය.

සුනාමි අවස්ථාවේදී මව්පියන් මගහැරී අතරමං වී දිවි ගලවාගෙන සිටියදී අසල්වැසියකු විසින් රෝහල්ගත කරනු ලැබ සිටියදී, දිවි බේරාගෙන පැමිණි මව්පියන් විසින් අයිතිය ඉල්ලා කරන ලද සටනක් හේතුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත්, අවසානයේදී ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් සැබෑ මව්පියන් හඳුනා ගනු ලැබූ ‘බේබි 81’ ලෙස ප්‍රසිද්ධ වූ කල්මුණේ ජෙයරාජා අභිලාෂ් සුනාමි විපත විකුණාගෙන කෑමේ මාධ්‍ය නිරුවත හෙළි කළ කදිම නිදසුනකි. 

අභිලාෂ් ජෙයරාජා
බේබි 81 අද 14 හැවිරිදි අභිලාෂ් ජෙයරාජා (ඡායාරූපය ලංකාදීප පුවත්පත)

‍අභිලාෂ්ගේ අයිතිය පතා මව්වරුන් නවයක් සටන් කළ පුවත බොරුවක් බව දැන් හෙළි වී තිබේ. එයින් ඒ දෙමව්පියන් හා දරුවා විඳි පීඩාව අපමණ ය. ඇමරිකාවේ NBC රූපවාහිනිය ඔවුන්ගේ Good Morning America නම් වැඩසටහනට මෙම පවුල කැඳවා ගත් මුත් එම වැඩසටහන වෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙව්වේ නැත. ඇමරිකා එක්සත් ජනපදයේ 13 දින චාරිකාව ඔවුන්ට දැන් සොඳුරු මතකයක් පමණි. 

ඇමරිකාවේ Black Rebel Motorcycle Club නම් රොක් සංගීත කණ්ඩායම 2007දී නිකුත් කළ ‘බේබි 81’ නම් ගීත එකතුව මුල් සති දෙක තුළ පමණක් පිටපත් 14,000ක් විකිණුනේ අභිලාෂ් නිසා ය. එහෙත් අභිලාෂ්ට කිසිවක් හිමි වූයේ නැත. දැන් 14 වියේ සිටින ඔහුත්, සුනාමියෙන් පසු කලෙක උපන් නංගීත්, මව ජෙනිටාත්, පියා වන ජෙයරාජා කරණවෑමි රැකියාව කර උපයා ගන්නා මුදලින් ජීවිත ගොඩනගා ගන්නට වැර දරති. මාධ්‍ය ප්‍ර‍චාරය නිසා විදේශ ආධාර යහමින් ලැබුණේ යයි කතාවක් පැතිර ගිය නිසා ඔවුන්ට සාමාන්‍ය ආධාර ද සීමා විය. මේ සතියේ ලංකාදීප පුවත්පතෙහි වසන්ත චන්ද්‍ර‍පාල ඔවුන් ගැන ලියා තිබුණ අතර, දිළිඳුකම නිසා තවමත් ඔවුන් කවුරු හෝ දරුවාට ඉගෙනීමට උපකාර කරනු ඇතැයි බලා සිටිති.

සුනාමියේ දුක්බර කතා ‘අනේ අපොයි’, ‍’දෙයියෝ සාක්කි’ ආදී ශීර්ෂ යටතේ පළ කරමින් මාධ්‍ය මුදල් ගරා ගත්හ. සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් විවිධ දේ කරන බව කියමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ලබා ගත් ඇතැම් පිරිස් පසුව නිශ්ශබ්ද වූ හ.

සුනාමිය රාජ්‍ය නොවන සංවිධානවලට කදිම ඉල්ලමක් විය. හොඳ වැටුප් ලබමින්, සුඛෝපභෝගී වාහනවල රට පුරා සැරිසරමින්, වාර්තා මුද්‍ර‍ණය කරමින්, විවිධ විකාර කරමින් කලක් ඔවුහු විශාල ප්‍රමෝදයක් ලැබූ හ.

සුනාමි සහන අරමුදල් වෙනුවෙන් යයි කියමින් විවිධ සංවිධාන විසින් කෝටි ගණනින් එක් රැස් කරන ලද මුදල්වලට වුණේ කුමක්දැයි කිසිවෙකු නො දනිති. 

සුනාමි සල්ලි ගැන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් හෙල්පිං හම්බන්තොට නම් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එවකට ඇමතිවරයකු වූ කබීර් හෂීම් විසින් කරන ලද පැමිණිල්ලක් මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.  

මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. නඩුවේ වගඋත්තරකරුවන් වූ පොලිස්පති චන්ද්‍රා ප්‍ර‍නාන්දු, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක හා කබීර් හෂීම්ට රු. ලක්ෂය බැගින් වන්දි ද පැමිණිලිකරු වන මහින්ද රාජපක්ෂට ගෙව්වේ ය. රජය රු. ලක්ෂ දෙකක් ඔහුට ගෙව්වේ ය. 

එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. මෙම තීන්දුව දුන් විනිසුරු මඬුල්ලේ ඔහු, ශිරානි තිලකවර්ධන සහ එන්.ඊ. දිසානායක සාමාජිකයෝ වූ හ. එසමයේ ජනාධිපතිවරණයට තරග කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුව ජනාධිපතිවරයා ද, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ද, අධිකරණය විසින් අත්හිටුවන ලද අගමැති ධුරයක ද සිට දැන් විපක්ෂ නායක වී තිබේ. 

සරත් නන්ද සිල්වා පසු කලෙක ප්‍ර‍සිද්ධ රැස්වීමකදී මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ මෙසේ ය: 

පහත දැක්වෙන්නේ සුනාමියෙන් මසකට පසු, එවකට හිරු පුවත්පතේ සේවය කළ මා හා අජිත් සී. හේරත් යතුරුපැදියකින් දකුණේ දින කීපයක් තිස්සේ කළ සංචාරයක් අතරතුර ගන්නා ලද ඡායාරූප කීපයකි.

අම්බලන්ගොඩ – රේල් පාරට මෙයට වඩා දැවැන්ත හානි සිදු වී තිබිණි.

අැමරිකන් හමුදාව – කොග්ගල (මේ පිංතූරය හිරු පත්තරේ මුල් පිටුවේ තුන්කාලක් ප්‍රමාණයෙන් පළ කළා)

ඇමරිකන් හමුදාව පිළි ගන්නා හබරාදූව ජනතාව (හිරු පත්තරේ මුල් පිටුවේ ගිය ඡායාරූපයක්)
පැරෑලියේදී දහසක් පමණ මගීන්ට මරු කැඳවමින් සුනාමියට අසු වී පෙරළුණ දුම්රිය කෙළින් කර නැවත රේල් පාර මත තැබීමෙන් පසු

හික්කඩුව (සුනාමියෙන් විනාශ වූ මේ පැරණි ගෙවල්වල බිත්ති බැඳ තිබූ හිරිගල්වලට වෙළඳපොළක් තිබුණා)
ඇමරිකන් හමුදාව සීනිගම දේවාලය අසල
සුනාමියෙන් හානියට පත් උණවටුන ශ්‍රී සුමනජෝති විද්‍යාලයේදී ගන්නා ලද ඡායාරූපයක්
උණවටුනේ සුන්බුන් අතරදී මගේ කැමරාවට මුහුණ දුන් මේ දැරිය දැන් යුවතියක විය යුතු ය
  • අජිත් පැරකුම් ජයසිංහ