Galagodaaththe Gnanasara Thero

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී.

Sinhala Tamil English Translations and Content Writing

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් ගොනු කර තිබිණි. එම චෝදනා හතර මෙසේ ය:

නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධාවන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම

එම අවස්ථාවේදීම අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බවට සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව සහ නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම, අවමන් කිරීමෙන් වරදක් කිරීම

එහිදී බී 7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින් අණකර සිටීමෙන් අධිකරණ කටයුතුවලට බාධාකිරීමෙන් වරදක් කර තිබීම

එම අවස්ථාවේදීම බී 7417/10 නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පාරිභාවාත්මක වචනයෙන් ඇමැතීම මඟින් වරදක් කිරීම

ඒ අනුව පළමුවන චෝදනාවට වසර හතරක, දෙවන චෝදනාවට වසර හතරක, තෙවන චෝදනාවට වසර හයක, සිව්වන චෝදනාවට වසර පහක යනාදී ලෙස බරපතල සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් එකවර ගෙවීයන ලෙස ද නියම කෙරිණි.

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ 2018 අගෝස්තු 8දා ය. මාස කිහිපයක සිර දිවියෙන් පවා එහිමියන් දැඩි මානසික හා ශාරීරික පසුබෑමකට ලක්ව ඇති බව ද වාර්තා වේ. පවත්නා ක්‍රමයට අභියෝග කළ එහිමියන්, එහි ප්‍රතිවිපාක ගැන අවබෝධයකින් නොසිටි බව ඒවාට මුහුණ දීමේදී දක්වන දුර්වලකමින් පෙනේ. මේ වන විට ඥානසාර හිමිට පොදු සමාවක් ඉල්ලා ජනාධිපතිට ලිපි ලිවීමේ ව්‍යාපාරයක් දියත් වෙමින් තිබේ. බෞද්ධ සංඝ නිකායවල මහ නායක හිමිවරුන්, දළදා මාළිගාවේ දියවඩන නිලමේ, හින්දු කොංග්‍රසයේ සභාපතිවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා ආදීහු මෙම ඉල්ලීමට සම්බන්ධ වී සිටිති.

ඥානසාර හිමිට පමණක් දිය හැකි පොදු සමාව කුමක්දැයි අපි නොදනිමු. එය පොදු සමාවක් නොව, පෞද්ගලික සමාවකි. එසේ සමාව දීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියෙන් පැවරී තිබේ. එහෙත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ මම බලය පාවිච්චි කිරීම වුව නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ හැකි බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ 2019 ජනවාරි 29දා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට පැවසී ය.

මෙම බලය පාවිච්චි කළ අවස්ථා ගණනාවක් ඉතිහාසයේ තිබේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමයේ කුප්‍රකට ගෝනවල සුනිල්ට සමාව දීම එවැනි එක් සිද්ධියකි. ජනාධිපතිවරයා වාම නායිකාවක හා කාන්තා ක්‍රියාකාරිනියක වූ විවියන් ගුණවර්ධනට පහර දුන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කළ ශ්‍රේ්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට මැරයන් යොදවා හූ කියවූ අතර, වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් උසස් කිරීමට එවකට පැවති රජය කටයුතු කළේ ය. ඔවුන්ට ගෙවන්නට නියම වූ වන්දි ද රජයේ මුදලින් ගෙවන ලදී.

මහින්ද රාජපක්ෂ සමයේ ද මෙම බලය අයුතු ලෙස භාවිතා කරන ලදී. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටි එස්.බී. දිසානායකට සමාවක් ප්‍රදානය කරන ලදී. එපමණක් නොව, සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.

එසේම, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හිතවාදීව කටයුතු කිරීමේ හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරකට සිරගත කරන ලද ජේ.එස්. තිස්සයිනායගම්ට ද 2010 මැයි 3දා ලෝක පුවත්පත් නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සමාවක් දී නිදහස් කරන ලදී.

මීට අමතරව, අධිකරණයෙන් වරදකරුවන් වන්නට ඔන්න, මෙන්න තත්වයේ සිටි නැසී ගිය කාදර් හා හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි වැනි අයගේ නඩු කල් ඇතුව ම නීතිපති හරහා ඉවත් කර ගැනීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ තවත් කුප්‍රකට සිද්ධි දෙකකි. තමන් ඝාතනය කරන්නට කොටින්ට ඔත්තු දී මුදල් ලබා ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීම ද මෙසමයෙහි සිදු වූ තවත් සිද්ධියකි. හෙරොයින් සම්බන්ධ සැකයට භාජනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මීගමුව නිවස පොලිසිය විසින් වැටලූ පසු ජනාධිපතිවරයා වහා ඔහුගේ නිවස වෙත ගොස් නීතිය අභියෝගයට ලක් කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් ඝාතනය කිරීමට උත්සාහ කර වැරදිකරු වූ සිවරාජා ජනීපන්ට සමාව දෙමින්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2006දී ඇමතිවරයකු සමයේ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දස වසරකට සිරගතව සිටි තරුණයකුට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට 2016 ජනවාරි 8දා පියවර ගත්තේ ය. 2015 පෙබරවාරි මස සීගිරි කැටපත් පවුර මත කුරුටු ගා පොදු සංස්කෘතික උරුමයක් විනාශ කළ මඩකලපුවෙන් පැමිණි වැඩිහිටි තරුණියකට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කරන ලද අතර පසුව ජනාධිපති සමාවක් පිරිනමන ලදී.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී ඥානසාර හිමිට ජනාධිපතිවරයා සමාවක් දෙන්නේ ද, නැද්ද යන කරුණ කෙරෙහි ලංකාවේ පමණක් නොව ලෝකයේ ම අවධානය යොමු වී තිබේ. ඥානසාර හිමි යනු සිංහල, බෞද්ධ බහුතර බලය සහ සමාජයේ සංඝයා වහන්සේට ඇති ගරුත්වය අපහරණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම සම්බන්ධයෙන් නමගිය පුද්ගලයෙකි. මීට පෙර ද ඔහු බීමත්ව, රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් සිදු කිරීමේ වරදට දඬුවම් ලැබූවෙකි. විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම් හා කුරානයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුතු ගණනාවක් තිබේ. 2014 වසරේ අලුත්ගම, ධර්ගා නගරය, වැලිපැන්න වැනි ප්‍රදේශවල ඇති වූ මුස්ලිම් විරෝධී කෝලාහල ඇවිලවීමට ඔහු විසින් කරන ලද ප්‍රකෝපකාරී කතාවක් හේතු වූ බව ද ප්‍රසිද්ධ ය.

මෙම නඩුවෙහිදී ඔහු වරදකරු වූයේ නිකම් ම අධිකරණයට අපහාස කිරීමකට පමණක් නොවේ. එය එස්.බී. දිසානායක රැස්වීමකදී කළ කතාව වැනි දෙයක් නොවේ. ඔහු අධිකරණයට කඩා පැන මැරවරයකු සේ විනිසුරුවරයාට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, විත්තියේ නීතිඥයන්ට හා නඩුවේ සාක්කිකාරිනියට තර්ජනය කළේ ය. නපුංසකයන් ලෙස ඔවුන් හැඳින්වූයේ ය. එවැනි වරදක් කළ අයෙකුට වරදට දඬුවම් ලබා මාස කීපයක් ගත වන්නටත් පෙර ජනාධිපතිවරයා සමාව දෙන්නේ නම් අධිකරණයට හා රජයේ නිලධාරීන්ටත්, නීති වෘත්තියටත්, වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ටත් යන කල දසාව කුමක් ද? ඔවුන්ට තව දුරටත් ස්වාධීනව හා හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්නට හැකි වාතාවරණයක් මේ රටේ තිබේ යයි කිව හැකි ද? මෙවැනි ක්‍රියා කරන්නට තවත් මෙවැනි අය දිරිගැන්වීමක් එමගින් සිදු නොවන්නේ ද? ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් හා අධිකරණයේ ගරුත්වය සම්බන්ධයෙන් ද, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද ලෝකය ඉදිරියේ නිර්මාණය වන ප්‍රතිරූපය කුමක් ද? මේ කරුණු පිළිබඳ ගැඹුරින් සලකා නොබලා ඥානසාර හිමියන් නිදහස් කිරීම අනුවණ ක්‍රියාවකි.

ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආර්ථික සංවර්ධන හාස්කම් පෙන්වීමට දැන් කිසිවෙකුට එතරම් ඉඩක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යන පිලිපීන් ආදර්ශය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔහු පෙන්වා දෙන්නේ ද රාජ්‍ය හා මහජන විනය ආමන්ත්‍රණය කළ යුතුව තිබෙන වැදගත් අංශයක් බවයි. ලංකාව විනයගත කරන්නට නම්, ගොඩනැගෙමින් තිබෙන නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම හා එයට දිරි දීම අවශ්‍ය ය.

Call 077 1734470 for Sinhala Tamil English Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.