ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස සිටින බලවේග දැන් හෙළිදරව් වෙමින් සිටිති. ඇතැම් සියදිවි නසාගත් බෝම්බකරුවන් හඳුනාගෙන තිබේ. ‍සියලු තොරතුරු ඉතා කෙටි කලකින් මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න)

Media and Social Entrepreneur

ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මක වීමකි. දැනට අප දන්නා තොරතුරු අනුව මෙම ප්‍රහාර මාලාව සිදු කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ ඇතැම් පුද්ගලයන් අපනයන ව්‍යාපාර හා සම්බන්ධ ඉතා ධනවත් අයයි. නිදසුනක් ලෙස දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත්, 2015 මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයකු වූ ඊබ්‍රාහිම් නමැත්තා වටිනාකම් එකතු කළ තඹ අපනයන ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ. ඔවුන් යෙදී සිටි ව්‍යාපාරය අති විශාල ලාභ ලබන ව්‍යාපාරයකි. මෙම පුද්ගලයාගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ක්‍රියා කර තිබෙන අතර, එම නිවසේ පිපිරවීමෙන් මිය ගිය අය ද එම පවුලේ අයයි.

ඔවුන් දැඩි ලෙස අන්තවාදී පිරිසක් වන අතර, කෆීර් ලෙස සැලකෙන මුස්ලිම් නොවන සෙසු දෘෂ්ටිකයන් විනාශ කරමින් ආගමේ නාමයෙන් දිවි පිදීමෙන් ස්වර්ගයට යා හැකි යයි විශ්වාස කරන පිරිසකි.

කුඩා කුඩා පල්ලි තැන් තැන්වල අටවාගෙන සම්ප්‍රදායික මුස්ලිම් පල්ලියට ද අභියෝග කරමින් සිටින ජාතික තව්හීද් ජමාත් මෙන් ම ශ්‍රී ලංකා තව්හීද් ජමාත් ද සිගරැට්, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම වැනි බාල, බොළඳ ක්‍රියාමාර්ග හරහා මුස්ලිම් සමාජයේ උපයා ගන්නා ජනප්‍රියත්වය භාවිතා කරන්නේ අන්තවාදී අදහස් ප්‍රචාරණයට හා ඒ වෙත ජනයා හරවා ගැනීමටයි. නිදසුනක් ලෙස වයස අවුරුදු අටේ පමණ දැරියන් විවාහ කරගැනීමේ හා වයස අවුරුදු 12 පමණ වන දැරියන් සමග සංසර්ගයේ යෙදීමේ අවස්ථාව ලබා දෙන මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට සම්ප්‍රදායික මුස්ලිම් සමාජයට ඉඩ නොදෙන ප්‍රධාන බලවේගයක් වන්නේ මෙකී අන්තවාදී සංවිධානයි. ඔවුන්ට මැදපෙරදිගින් විශාල වශයෙන් මුදල් ද ලැබේ.

සම්ප්‍රදායික මුස්ලිම් භක්තිකයන් කාතන්කුඩි වැනි ඈත ප්‍රදේශවලින් පැමිණ කොළඹත් රටත් අවුල් කරන මෙකී අන්තවාදී කල්ලි වනසා දැමීමේ වගකීම සෙසු සමාජය බෙදාහදාගත යුතු ය.

භයානක ම කාරණය වන්නේ මෙම ප්‍රහාරකයන් බුද්ධි අංශ විසින් නමින් ම හඳුනාගෙන තිබියදීත්, ඔවුන්ව වළක්වන්නට ආරක්ෂක අංශ අසමත් වීමයි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැඩි නීති අවශ්‍ය වන්නේ එවැනි සංදර්භයක් තුළයි. මූලිකව ම ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්වලට සමාජය ගරු කළ යුතු සීමාවක් තිබේ. එසේම, ත්‍රස්තවාදයට ප්‍රජාතන්ත්‍රවාදය අදාළ කරගත නොහැකි බව ද කිව යුතු ය.

මෙම ත්‍රස්තවාදීන් ප්‍රහාරය සැලසුම් කරමින් සිටියදී, ඔවුන්ගේ කුමන්ත්‍රණයේ මූලික මට්ටමේදීමත් ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ හැකියාව තිබිණි. එවැනි අවස්ථාවකදී මානව හිමිකම් පිළිබඳ ගැටලු මතු වීම වළක්වා ගත නොහැකි ය. වඩා දැඩි ත්‍රස්ත මර්දන නීති අවශ්‍ය වන්නේ එවැනි සංදර්භයන්හිදී ය. සියලු සාක්ෂි සහිතව ක්‍රියාමාර්ග ගන්නට බලා සිටීමේ අවස්ථාව ත්‍රස්තවාදය විසින් නීතියට ලබාදෙන්නේ නැත. එවැනි නීති රාමුවක් තුළට ත්‍රස්තවාදය නොවන වෙනත් දේ ද ඇතුළත් කරන්නට හැකියාව ලැබීම ද වළක්වන්නට බැරි දෙයකි. උදාහරණයක් ලෙස ඉහත කී ත්‍රස්තවාදීන් ඔවුන්ගේ කුමන්ත්‍රණයේ මුල් අදියරේදී අත්අඩංගුවට ගත් ආකාරයට ම කුමන්ත්‍රණකරුවන් නොවන පිරිසක් ද අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත හැකි ය.

ත්‍රස්ත මර්දන නීතිවලට විරුද්ධ අයට එසේ විරුද්ධ වීමට මානව හිමිකම් පදනමක් තිබේ. එහෙත්, ත්‍රස්තවාදය මානව හිමිකම්වලට ගරු කරන්නේ නැත. එහෙයින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තිරශ්චීන අන්දමින් කටයුතු කරන්නට සිදුවීම මානව හිමිකම් ගැටලුවක් බවට පත් කර නොගත යුතු ය. රජය හෝ ආරක්ෂක අංශ මෙම මර්දන නීති දේශපාලනික හා පෞද්ගලික වාසි සඳහා භාවිතා කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ත්‍රස්ත මර්දන නීතිවල ඇතුළත් විය යුතු ය. එසේම, ඒ සම්බන්ධ සමාජ විචක්ෂණභාවයක් ද තිබිය යුතු ය.

අත්‍යවශ්‍ය සේවාවන්ට බාධා කිරීම ත්‍රස්තවාදය ලෙස සැලකිය හැකි බවට ගෙන ආ ප්‍රතිපාදන වාමාංශිකයන්ගේ විශේෂ විරෝධයට හේතු විය. එයට හේතුව එමගින් ඉල්ලීම් දිනාගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම යොදාගැනීමට ඇතැම් ශ්‍රම කණ්ඩායම්වලට තිබෙන හිමිකම උල්ලංඝනය වෙනවා ය යන අදහසයි. මෙතැනදී ද සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. ත්‍රස්තවාදය ආයුධ සන්නද්ධව මෙන් ම නිරායුධව ද ක්‍රියාත්මක විය හැකි ය. ඇතැම් දෘෂ්ටිවාදීමය අන්තවාදයන් අදහන අය ද ජිහාඩ් කල්ලි වැනි ම වේ. ඔවුන් කඩාකප්පල්කාරිත්වය සඳහා ශිෂ්‍ය හා කම්කරු අරගල භාවිතා කරන බවට පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් වුව ද වටහා ගත හැකි ය. ආර්ථික ඉල්ලීම් දිනාගැනීම සඳහා වන උද්දේශනයේදී විචක්ෂණ අන්දමින් වර්ජනය පාවිච්චි කිරීම හා කඩාකප්පල්කාරිත්වය සඳහා එය යොදාගැනීම අතර වෙනස සලකුණු කිරීමේ වගකීම රජයට මෙන් ම වෘත්තීය සමිතිවලට ද තිබේ. මෙහිදී ද වැදගත් වන්නේ සමාජ විචක්ෂණභාවයයි.

සමස්තයක් ලෙස, ත්‍රස්ත මර්දන උපක්‍රමවලදී නීතිය සීමාසහිත මෙවලමකි. එහෙත්, එය ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා බාධාකාරී නොවීම මූලික අවශ්‍යතාවකි. එසේම, ත්‍රස්ත මර්දනයේ සීමා නිර්ණය කිරීම සඳහා නීති වැදගත් ය. එය විශේෂයෙන් ම රජයේ, පොලිසියේ හා ආරක්ෂක අංශවල ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ගවල සීමා නිර්ණය කිරීම සඳහා නීති වැදගත් වේ.

මෙම ප්‍රහාර මාලාවත් සමග ශ්‍රී ලංකාව නව යුගයකට පිවිස තිබේ. එය සුසමාදර්ශීය වෙනසකි. 2015 සිට විවෘත වූ ප්‍රජාතාන්ත්‍රික අවකාශය මේ සමග වසා දමනු ලැබේ. ලංකාවේ සෑම මට්ටමක ම දේශපාලන, ආගමික, වෘත්තික, ශිෂ්‍ය, මාධ්‍ය ආදී ස්ථර රැසක් විසින් විවෘත වූ ප්‍රජාතාන්ත්‍රික අවකාශය නින්දිත ලෙස අපහරණය කරන ලදී. එමගින් එය තාර්කික ලෙස අන්තයක් කරා යමින් තිබුණු අතර, මෙම බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් එම අවසානය වඩාත් ඉක්මන් විය.

සිද්ධිමය වශයෙන් මෙම ත්‍රස්තවාදය අවසන් නැත. එය ආරම්භයක් පමණි. මරාගෙන මැරුණු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා ඇතුළු සෙසු අය විසින් තවත් විශාල පිරිසකට වැරදි අනුප්‍රාණයක් සපයා තිබේ. මෙම අලුත් මරාගෙන මැරෙන දේශපාලනයේ අනුනාදය ලෙහෙසියෙන් මැකී නොයනු ඇත.

කණගාටුදායක ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ තාවකාලික ප්‍රජාතාන්ත්‍රික අවකාශය වැසී යන්නේ බරපතල සාමය කඩවීමක් ද සමග වීමයි. සාමය ස්ථාවර කිරීම සඳහා ලැබුණු අවස්ථාව අප විසින් අත්හැර දමා තිබේ. දේශපාලනය ගැන අලුතින් ම සිතන්නට සිදු වී තිබේ.

Sinhala Tamil English Translations and Content Writing

Leave comment

Your email address will not be published. Required fields are marked with *.