Chang'e-4

චීනයේ චන්ද්‍ර තරණය

ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමාජවාදී ජනරජ සංගමයත් අභ්‍යවකාශයේ ආධිපත්‍යය පැතිරවීම ආරම්භ කළ සීතල යුද සමයේ චීනය සංවර්ධනය වෙමින් පැවති තුන්වන ලෝකයේ නොබැඳි රටක්. බොහෝ පසු කලෙක අභ්‍යවකාශ තරණයට එක් වූ චීනය දැන් එහි වේගවත් සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා.

Sinhala Tamil English Translations and Content Writing

මානව අභ්‍යවකාශ තරණයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් චීන චන් ඊ (Chang’e-4) යානය අද දින චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තට ගොඩබැස්සා. චන්ද්‍රයා භ්‍රමණය වුණත්, පෘථිවි ගුරුත්වාකර්ෂණයේ ප්‍රබලකම නිසා මේ පැත්තට හැමදාමත් හැරී තිබෙන්නේ එකම පැත්තක්. අනෙක් පැත්තේ ඡායාරූප වෙනත් අභ්‍යවකාශ යානා විසින් අරගෙන තිබුණත්, මේ තමයි අභ්‍යවකාශ යානයක් එහි ගොඩබැස්ස පළමු අවස්ථාව.

චේන්ජ්-4 විසින් එවන ලද චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තේ පළමු සමීප ඡායාරූපය


චන් ඊ-4 යානය ගොඩබස්වා තිබෙන්නේ සඳ නිර්මාණය වූ මුල් ම යුගයේ ග්‍රහ වස්තුවක ගැටීමකින් සෑදුණු දැවැන්ත ආවාටයක් වන එයිට්කන් නිම්නයටයි. චන් ඊ -4 යානයෙන් පිටත් වන රොබෝ රෝවරය මගින් එහි භූ විද්‍යා සමීක්ෂණයක් කරමින් පෘථිවියට දත්ත එවනු ඇති. ඒ දත්ත ඔස්සේ චන්ද්‍රයාගේ නිර්මාණය පිළිබඳ උපකල්පන කරන්නට පුළුවන් වේවි. එපමණක් නොවෙයි, චන්ද්‍රයාගේ ඛනිජ සම්පත්, චන්ද්‍ර ධ්‍රැවවල ජලය ඇති නැතිකම, අඩු ගුරුත්වය යටතේ බීජ ප්‍රරෝහණය වීමේ හැකියාව මෙන් ම හීලියම්-3 වැනි චන්ද්‍රයා මත බහුලව ඇති වටිනා සම්පත් පෘථිවියට ගෙන ඒමේ හැකියාව ආදිය පමණක් නොව අනාගතයේ චන්ද්‍රයා ජනාවාස කිරීමේ හැකියාව පවා චීනය අධ්‍යයනය කරනවා.

චේන්ජ්-4 මගින් දියත් කිරීමට නියමිත රෝවරයේ චිත්‍රයක්

පෘථිවියේ සිට සඳේ අනෙක් පැත්ත සමග කෙළින් ම රේඩියෝ තරංග ඔස්සේ සන්නිවේදනය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා චන්ද්‍ර කක්ෂයක සන්නිවේදන චන්ද්‍රිකාවක් මුලින් ස්ථානගත කරන්නට සිදු වුණා.

ෂීචෑං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් චන් ඊ -4 යානය පිටත් වුණේ පසුගිය දෙසැම්බර් 8දා යි. දින හතරකට පසුව එය චන්ද්‍ර කක්ෂයකට පිවිසුණා.

සඳ මත ගොඩබැසීමක් සිදු කළ තුන්වන රාජ්‍යය ලෙස චීනය පළමුව සිය චන් ඊ -3 යානය 2013දී චන්ද්‍රයාගේ අපට පෙනෙන පැත්තට ගොඩබැස්සුවා. එහි රෝවරය දින 972ක් ක්‍රියාත්මක වුණා.

චීනය මෙම චන්ද්‍ර ව්‍යාපෘතිය චන් ඊ ලෙස නම් කර තිබෙන්නේ චීන දේව කතා සාහිත්‍යයේ සඳ දෙව්දුව ඒ නමින් හැඳින්වෙන නිසායි.

වසර 2020 වන විට අඟහරු ගවේෂණය ආරම්භ කිරීමට හා 2022 වන විට ස්ථාවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් චීනය සැලසුම් කර තිබෙනවා.

අභ්‍යවකාශය ලෝක බලවතුන් අතර යුද දේශපාලනික අරගලයේ අලුත් ම සටන් බිම බවට පත් වී තිබෙන බවත් මේ සමග ම කිව යුතුයි.