ග්‍රීසිය යුරෝපා සංගමයට අයත් රටක්. ශ්‍රී ලංකාවට වඩා මඳක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍ර‍මාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩු යි. එනම් මිලියන 11.4ක්. ග්‍රීසිය ශ්‍රී ලංකාවට වඩා හාත්පසින් ම වෙනස් භූ දේශපාලනික කලාපයක පිහිටි රටක් වුණත්, එරට සමාජ හා ආර්ථික වශයෙන් ලංකාවට යම් සමානත්වයක් ද තිබෙනවා. ඒ රටත් ශ්‍රී ලංකාව වගේ ම දීර්ඝ කාලයක් තිස්සේ කෑදර ලෙස ණය ගනිමින්, ආපසු ගෙවන ආකාරය ගැන පවා සිතන්නේ නැතිව ඒ ණයෙන් සුවපහසු ලෙස පැවතුණ රටක්. ගත් ණය ගෙවන්නටත් නැවත නැවත ණය ගත්තා. අවසානයේදී ග්‍රීසියටත් අපට වගේ ම ණය ගෙවාගන්නට බැරි තත්වයක් ඇති වුණා. ග්‍රීසිය යුරෝ මුල්‍ය කලාපයට අයත් රටක් නිසා එය යුරෝවටත් දැවැන්ත ගැටලුවක් වුණා. ඒ නිසා ග්‍රීසියට නම් ආර්ථිකය ගලවාගන්නට උපකාර කරන්නට යුරෝපා සංගමය තිබුණා. ඒත්, එවැනි ගලවාගැනීමේ ණය ලැබෙන්නේ දැඩි කොන්දේසි මත යි. කලින් කළ ආකාරයට වියදම් කරන්නට ග්‍රීසියට සහන පොළියට ණය දීමේ උවමනාවක් යුරෝපා රටවලට තිබුණේ නැහැ. හැබැයි, ග්‍රීසියට ණය ගන්නට වෙන ක්‍ර‍මයක් තිබුණෙත් නැහැ. ඒ නිසා දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍ර‍තික්ෂේප වුණා. දැන් ග්‍රීසියේ බලයේ ඉන්නේ රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවකුයි. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එක ම තමයි. ග්‍රීසිය ගොඩගන්නට විවිධ යුරෝපා බලධාරීන් හා මුල්‍ය ආයෝජකයන් 2015 සිට යුරෝ බිලියන 294.7ක ණය ලබා දී තිබෙනවා. ග්‍රීසිය ඒ ණය කන්දරාව වසර 2059 දක්වා ගෙවිය යුතු යි.

ශ්‍රී ලංකාවේ අප ග්‍රීසියේ සිදුවීම්වලිය අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ එයයි. ග්‍රීසියේ මෑතකාලීන ඉතිහාසය ඉතා කෙටියෙන් මෙසේ යි.

1821-1829 – ඔටෝමාන් අධිරාජ්‍යයෙන් නිදහස් වීම සඳහා ග්‍රීක් නිදහස් යුද්ධය
1832 – බැවේරියාවේ ඔටෝ කුමාරයා නිදහස් ග්‍රීසියේ පළමු රජු ලෙස තෝරාගැනීම
1919-22 – ග්‍රීසිය තුර්කිය සමග යුද්ධයක පැටලීම
1924 – රාජ පාලනය අහෝසි කර ජනරජයක් බවට පත් වීම
1936 – දක්ෂිණාංශික ඒකාධිපති පාලනයකට යටත් වීම
1940 – ඉතාලි ඒකාධිපති මුසෝලිනිගේ හමුදා ග්‍රීසියට පහර දීම
1941 – ග්‍රීසිය ජර්මනියට යටත් වීම
1942 – 1944 – කොමියුනිස්ට් හා රාජකීයවාදී බලවේග විසින් ආක්‍ර‍මණික ජර්මනියට එරෙහිව දරුණු සටනක් කිරීම
1944 – ග්‍රීසිය බ්‍රිතාන්‍ය හමුදා සමග එක්ව නාසීන් පළවා හැරීම
1946 – 1949 – කොමියුනිස්ට්වාදීන් පරදවා රාජකීයවාදීන් මැතිවරණයෙන් ජයගැනීම
1952 – ග්‍රීසිය පාර්ලිමේන්තු පාලනයක් සහිත රාජධානියක් බවට පත් කරන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සහ ග්‍රීසිය නේටෝ සංවිධානය සමග එක්වීම
1967 – හමුදාව බලය අල්ලාගැනීම
1973 – රාජධානිය අහෝසි කර ජනරජයක් බවට පත් කිරීම
1974 – සයිප්‍රස් ජනාධිපතිට එරෙහි කුමන්ත්‍ර‍ණයකට ග්‍රීසිය සහාය දීමෙන් පසුව තුර්කිය ග්‍රීසියේ උතුරුදිග කොටස් ආක්‍ර‍මණය කිරීම
1975 – නාමික ජනාධිපතිවරයකු සිටින පාර්ලිමේන්තු විධායකයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වා දීම
1980 – සංරක්ෂණවාදී කොන්ස්ටන්ටයින් කරමන්ලිස් ජනාධිපති ලෙස තේරී පත්වීම
1981 – ග්‍රීසිය යුරෝපා සංගමයට එක්වීම හා ඇන්ඩ්‍රියස් පපැන්ඩ්‍රියෝගේ සමාජවාදී පක්ෂය මැතිවරණය ජයගැනීම
2008 – දිගින් දිගට ම ණය ලබා ගනිමින්, ණය ගෙවීමට ද නැවත ණය ලබා ගනිමින් සිටි ග්‍රීසිය දරුණු ණය අර්බුදයකට ගොදුරු වීම, රජය දැඩි සකසුරුවම් නීති හඳුන්වා දීම සහ ජීවන ප්‍ර‍මිතීන් වේගයෙන් කඩාබිඳවැටීම. ඒවාට එරෙහිව රට පුරා විරෝධතා පැනනැගීම.
2009 – ග්‍රීක් රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.4% දක්වා ඉහළ යාම
2009 දෙසැම්බර් – ජාත්‍යන්තර ණය දර්ශක විසින් ග්‍රීසියේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමන්නට පටන් ගැනීම
2010 – තවදුරටත් රාජ්‍ය වියදම් කපාහැරීම, විරෝධතා මැද ග්‍රීසිය ණය ගෙවීමට අසමත් වනු ඇතැයි බිය හේතුවෙන් යුරෝපා මුල්‍ය කලාපය විසින් යුරෝ බිලියන 110ක ආර්ථිකය ගලවාගැනීමේ ණයක් අනුමත කිරීම. එහි කොන්දේසි ලෙස තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග යෝජනා කිරීම. වෘත්තීය සමිති මහා වැඩවර්ජනයක් කැඳවීම

වසර 2011දී එවකට ශ්‍රී ලංකාවේ බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ග්‍රීක් බැඳුම්කරවල කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් සිදු වන්නේ ද මේ කාලයේ ය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

2011 ජුලි – රට පුරා විරෝධතා, වැඩ වර්ජන මැද යුරෝපා සංගමය යුරෝ බිලියන 109ක් වන ආර්ථිකය ගලවාගැනීමේ ණය ප්‍ර‍දානය කිරීම. ඒ සමග දැඩි සකසුරුවම් කොන්දේසි පැනවීම. ප්‍ර‍ධාන ණය දර්ශක තුන විසින් ම ග්‍රීසිය ණය ගෙවීම පැහැරහැරීමේ අවදානම ඇති රටක් ලෙස ශ්‍රේණියෙන් පහළ දැමීම
2011 ඔක්තෝබර් – ග්‍රීසිය තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් ආර්ථිකය ගලවාගැනීම සඳහා දුන් ණයෙන් 50%ක් කපාහැරීමට යුරෝපා සංගමය යෝජනා කිරීම. අගමැති පපැන්ඩ්‍රියෝ ඒ පිළිබඳ ජනමතවිචාරණයක් යෝජනා කිරීම
2011 දෙසැම්බර් – විරෝධතා මැද අගමැති පපැන්ඩ්‍රියෝ ඉල්ලා අස් වීම. මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ලූකස් පැපඩිමෝස් අගමැති ධුරයට පත් වීම
2012 පෙබරවාරි – දරුණු වීදි සටන් මැද, යුරෝපා සංගමයේ ණය කොන්දේසිවලට අනුකූලව දැඩි සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමට ග්‍රීක් රජය තීරණය කිරීම
2012 මැයි – මහමැතිවරණයෙන් වාමාංශික කොටස්වල බලය වර්ධනය වීම. කිසිදු පක්ෂයක් ආණ්ඩු සන්ධානයක් බිහිකරගැනීමට අසමත් වීම. නැවත මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීම
2012 ජුනි – නව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නායක ඇන්ටෝනිස් සැමරාස් කලින් බලයේ සිට මේ වන විට තුන්වන තැනට වැටී සිටි සමාජවාදී පක්ෂය සහ තවත් කුඩා කණ්ඩායම් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම. ආණ්ඩුවේ අරමුණ තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීමයි.
2012 සැප්තැම්බර් – රජයේ සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහිව වෘත්තීය සමිති පැය 24ක සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවද්දී පාර්ලිමේන්තුව ඉදිරිපිට අරාජිකවාදීන් රැළියක් පැවැත්වීම
2012 ඔක්තෝබර් – යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථිකය ගලවා ගැනීමේ ණය වෙනුවෙන් ආණ්ඩුව තවදුරටත් සකසුරුවම් ක්‍රියාමාර්ග ගැනීම. ඒ අතර විශ්‍රාම වැටුප් කප්පාදුව සහ බදු ඉහළ නැංවීම තිබේ.
2013 ජනවාරි – විරැකියාව 26.8% දක්වා ඉහළ යමින් යුරෝපා සංගමයේ වැඩි ම විරැකියාව ඇති රට බවට ග්‍රීසිය පත්වීම
2013 තරුණ විරැකියාව 60% දක්වා ඉහළ යාම.
2013 ජුනි – මුදල් ඉතිරි කරගැනීම සඳහා ආණ්ඩුව රාජ්‍ය රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන සේවා වසාදැමීම
2013 අගෝස්තු – අලුත් රාජ්‍ය විකාශන සමාගමක් ආරම්භ කිරීම
2013 දෙසැම්බර් – ආර්ථිකය ගලවාගැනීමේ ණයවලින් නිදහස් වී, සය වසරක ආර්ථික අවපාතයෙන් පසු වර්ධනයක් අපේක්ෂාවෙන් අයවැය යෝජනාවලියක් සම්මත කරගැනීම
2014 පෙබරවාරි – විරැකියාව 28% දක්වා ඉහළ යාම
2014 මාර්තු – ණය කොන්දේසි සැපිරීම සඳහා නිදහස් වෙළඳපොළ පුළුල් කරන ප්‍ර‍තිසංස්කරණ යෝජනාවලියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම
2014 අප්‍රේල් – යුරෝ බිලියන අටක ආර්ථිකය ගලවාගැනීමේ ණය ග්‍රීසියට ලබාදීමට යුරෝපා සංගම් මුදල් ඇමතිවරු එකඟ වීම. ආර්ථිකය යථා තත්වයට පත් කරගැනීම සඳහා සිව් වාර්ෂික බැඳුම්කර හරහා ග්‍රීසිය ඩොලර් බිලියන හතරක ණය ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ලබාගැනීම.
2014 මැයි – සකසුරුවම් ක්‍රියාමාර්ගවලට එරෙහි රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය 26.6%ක ඡන්ද ප්‍ර‍තිශතයක් ලබාගනිමින් යුරෝපා මැතිවරණය ජයගැනීම
2014 දෙසැම්බර් – නව ජනාධිපතිවරයකු පත්කරගැනීමට පාර්ලිමේන්තුව අසමත් වීම නිසා දේශපාලන අර්බුදයක් ඇති වීම. නියමිත කලට කලින් මහමැතිවරණය කැඳවීම
2015 ජනවාරි – සිරිසා සන්ධානයේ ඇලෙක්සිස් ටිසිප්‍රාස් මහ මැතිවරණය ජයගනිමින් අගමැති පදවියට පත් වීම. සිරිසා සහ ජාතික ස්වාධීනතා ග්‍රීක් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීම

රැඩිකල් වාම සන්ධානය ‍සිරිසා කියන නම ලබන්නේ ග්‍රීක් බසින් එන Synaspismós Rizospastikís Aristerás වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත වාමවාදීන්, මාඕවාදීන්, ට්‍රොස්කිවාදීන්, යුරෝ කොමියුනිස්ට්වාදීන් මෙන් ම යුරෝපා විරෝධීන් ආදීන්ගෙන් ද සමන්විත දේදුනු සන්ධානයක්. ඒ අතරින් විශාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් තමයි සිරිසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා. සිරිසා පක්ෂය නිල වශයෙන් දියත් වුණේ 2004දීයි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

සිරිසා පක්ෂය තරමක් දුරට යුරෝපා විරෝධී පක්ෂයක් ලෙස සලකන්නට පුළුවන්. සිරිසා පක්ෂයට පිටින් ග්‍රීසියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයත් ප්‍රබල පක්ෂයක් ලෙස පවතිනවා.

ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරිසා පක්ෂය ඡන්දවලින් සියයට 36.34ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා ගත්තා. කලින් බලයේ සිටි අගමැති අන්තෝනියෝ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණයි.

Sinhala Tamil English Translations and Content Writing

සිරිසා පක්ෂය ජනප්‍රිය වුණේ මේ කොන්දේසිවලට එරෙහි උද්ඝෝෂණ සමගයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ශක්‍ය විසඳුමක්” ඉදිරිපත් කරන බව යි. යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ ඇප කොන්දේසි ඔහුගේ දැඩි විරෝධයට ලක් වුණා.

2015 ජුනි – යුරෝපා මහ බැංකුව ග්‍රීසියට දුන් හදිසි ආධාර අවසන් කරයි. ග්‍රීසිය බැංකු වසා ප්‍රාග්ධන පාලනයක් පනවයි.
2015 ජුලි – යුරෝපා සංගමය විසින් ආර්ථිකය ගලවාගැනීම සඳහා දෙනු ලබන ණය පිළිබඳ පැවැත්වුණු ජනමතවිචාරණයේදී බහුතරය එයට එරෙහිව ඡන්දය ප්‍ර‍කාශ කරයි.
2015 අගෝස්තු – ග්‍රීසිය හා එරටට ණය දෙන ආයතන යුරෝ බිලියන 86ක ආර්ථිකය ගලවාගැනීමේ ණයක් සඳහා එකඟ වෙති. රට බංකොලොත් වීම හා යුරෝ මුල්‍ය කලාපයෙන් ඉවත් කිරීම වළක්වාගැනීම සඳහා තවදුරටත් වියදම් කප්පාදු කරනු ලැබේ.
2016 මාර්තු – මැසිඩෝනියාව ග්‍රීසියෙන් පැමිණෙන සංක්‍ර‍මණිකයන් සඳහා දේශසීමා වසා දමයි.
2016 මැයි – යුරෝපා මුල්‍ය කලාපයේ මුදල් ඇමතිවරු ග්‍රීසියට යුරෝ බිලියන 10.3ක ණය ලබාදීමට එකඟ වෙති. එයින් කොටසක් අවශ්‍ය වන්නේ ජුලි මාසයේ ගෙවීමට තිබෙන ණය සඳහා ය. ඔවුහු ග්‍රීසියට තවදුරටත් සහන ලබාදීමටත්, ණය ආපසු ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීමටත් පොළී සීමා ලබාදීමටත් එකඟ වෙති. 
2018 පෙබරවාරි – ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ග්‍රීසියේ ණය ශ්‍රේණි ඉහළ නංවයි. ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය එයට හේතුවයි.
2018 ජුනි – මැසිඩෝනියාවේ නිල නාමය සම්බන්ධයෙන් ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර පැවති දශක තුනක මතභේදය නිරාකරණය කරගැනීමට ග්‍රීසිය ඓතිහාසික ගිවිසුමක් අත්සන් කරයි.

ග්‍රීසිය දැන් නැවතත් අමාරුවෙන් හුස්ම ගනිමින් ඉන්නවා. හැබැයි, මේ අර්බුදයෙන් ගොඩඑන්නට තව පරම්පරාවක කාලයක් ගත වනු ඇති.

  • අජිත් පැරකුම් ජයසිංහ 

Leave comment

Your email address will not be published. Required fields are marked with *.