Sri Lanka Supreme Court Verdict Cartoon

ගහට පොත්ත සේ ශ්‍රී ලංකාවට මේ අවධියේ වැඩියෙන් ම අවශ්‍ය දෙය වන්නේ දේශපාලනික ස්ථාවරත්වයයි. එයට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථිකයක් ලෙස ඉන්නේ දැඩි අවදානම් තත්වයක වීමයි. එවැනි වාතාවරණයක් තුළ දේශපාලන කැළඹිලි, බල අරගල ආදිය පැන නැගිය හැකි වුවත්, රටේ දේශපාලන ස්ථාවරත්වයට හානි නොවන පරිදි කටයුතු කිරීම රට ගැන හැඟීමක් තිබෙන සියලු දේශපාලනඥයන්ගේ වගකීමකි. ගන්නා යම් කිසි දේශපාලන ක්‍රියාමාර්ගයක් වේ ද, එය රටේ ස්ථාවරත්වයට හානි සිදු කරන්නක් නොවිය යුතුයි. මතභේදාත්මක ක්‍රියාමාර්ග ගන්නන්ට කෙටි කාලයකදී නැවත ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ හැකියාව තිබිය යුතුයි. පසුගිය ඔක්තෝබර් 26දා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් දියත් වූ කුමන්ත්‍රණය මෙහිදී මුළුමනින් ම අසාර්ථක වී පරාජය වුණා. එය දේශපාලන කුමන්ත්‍රණයක් පමණක් නොවෙයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. එසේ වන්නට මූලික හේතුව වන්නේ එම කුමන්ත්‍රණය විසින් ආර්ථිකයට කරන ලද නස්පැත්තියයි.

Sinhala Tamil English Translations and Content Writing

දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් යයි අප කියන්නේ අප ආර්ථික වශයෙන් දැඩි අවදානම් තත්වයක සිටින නිසායි. ඒ අවදානම කෙබඳු ද යන්න මේ රටේ මහජනතාව හෝ නිලධාරීන් හෝ දේශපාලකයන් හෝ තේරුම් ගෙන නැහැ. “බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් ඉන්නවා.” මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එසේ කීවේ, මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා 2018 අප්‍රේල් 4දා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනුයි. ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය වැදගත් වුවද අප එකම වරද දිගින් දිගටම කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවසුවා. ඔහු කී පරිදි ම ඔක්තෝබරයේ ද රටේ ජනාධිපති ම නැවතත් ඒ වරද කළා.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4%කින්වත් වර්ධනය වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු වසර මුලදී ප්‍රකාශ වුණා.  එහෙත්, පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා දිගින් දිගට ම සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගත් ගැටුම් මෙන් ම මාර්තු මාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ වාර්ගික කලබලත් ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළා. වසරේ මුල් මාස නවය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.3%ක් පමණක් වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත් ම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඔක්තෝබර් මාසයේ සිට ඇති වූ අස්ථාවරත්වය නිසාත්, සංචාරක කර්මාන්තයට එහි සරු කාලයේදී සිදු වූ බලපෑම නිසාත්, වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ දක්වා අඩු වන්නට ඉඩ තිබෙනවා. 

දේශපාලන අර්බුදය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සිටි
මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ කොටසක් ද අත්හිටුවන ලදී. සමස්තය ඩොලර් බිලියන 1.5ක් වූ, 2016 සිට කොටස් වශයෙන් ලබා දෙන ලද දීර්ඝ කාලීන සහන ණයක හයවන කොටස ලෙස ලැබෙන ඩොලර් මිලියන 250ක් වන මේ ණය පාවිච්චි කරන්නට නියමිතව තිබුණේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගන්නටයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙම ණය ලබා දී තිබෙන්නේ පුළුල් ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදුකිරීමේ කොන්දේසි මතයි. කරන ලද ආර්ථික ප්‍ර‍තිසංස්කරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම ණය වාරික වශයෙන් නිකුත් කරන්නේ. බදු ප්‍ර‍තිපත්තිය, ඉන්ධන මිළ සූත්‍ර‍ය වැනි ආර්ථික ප්‍ර‍තිසංස්කරණ ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙම ණය සඳහා කොන්දේසි ලෙසයි. ඔක්තෝබර් 26දා බලය අල්ලාගන්නා ලද ආණ්ඩුව විසින් ඉන්ධන මිළ සූත්‍ර‍ය අහෝසි කරන ලදී. 

එක්සත් ජනපදයේ මිලෙනියම් චැලේන්ජ් සහයෝගිතාව යටතේ ශ්‍රි ලංකාවට ලැබෙන්නට තිබුණු ආපසු නොගෙවිය යුතු ඩොලර් මිලියන 450ක් ද කුමන්ත්‍රණය හේතුවෙන් රටට අහිමි වන තර්ජනයක් පැනනැගී තිබෙනවා. මේ මුදල් ආයෝජනය කරන්නට නියමිතව තිබුණේ මිනින්දෝරු කටයුතු, ඔප්පු සැකසීම්, ට්‍රැෆික් පාලනය සහ ප්‍රාදේශීය පාරවල් හැදීම වැනි කටයුතුවලට ය. කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය ලබාදෙන්නට නියමිතව තිබුණු ඩොලර් බිලියන 1.4 ක ආධාරය ද මේ අන්දමින් ම අත්හිටුවා තිබෙනවා. මේ විදේශ ප්‍රාග්ධනයන් රට තුළට ගලා ඒම ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය තුලනය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වුණා.

මේ වසරේදී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපයන ආදායම ඩොලර් බිලියන 3.5ක් වනු ඇතැයි අපේක්ෂා කර තිබුණු නමුත්, අර්බුදය නිසා මේ වන විට යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව වැනි රටවලින් පැමිණෙන්නට නියමිතව සිටි සංචාරකයන් සිය සංචාර අවලංගු කිරීම නිසා ඩොලර් 400,000ක පමණ පාඩුවක් රටට සිදු වනු ඇතැයි කර්මාන්ත අංශ ගණන් බලා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතිකවාදී ආර්ථික ප්‍ර‍තිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රාග්ධනය ගලායාමේ ප්‍ර‍වණතාවක් අර්බුදයට පෙර සිට ම තිබුණ අතර ඔක්තෝබර් 26දායින් පසුව එය වේගවත් විය. මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍ර‍මාණය ද අඩු වෙමින් තිබේ. මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 9.5ක දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මාසයේදී නිවේදනය කළේ ය. එහෙත් දැන් මෙම ඉලක්ක සපුරාගත නොහැකි තත්වයක් ඇති වී තිබේ. අර්බුදය තීව්‍ර වෙමින් පැවති නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 884.9කින් පහත වැටුණා. දැන් සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතක් පමණ වෙනවා. එය ප්‍රමාණවත් වන්නේ මාස හතරක පමණ ආනයන සඳහා පමණයි. බැංකුවල ද්‍රවශීලතා හිඟයන් හෙවත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් හිඟයන් පියවීමට රුපියල් බිලියන 90ක් ලබා දීමත්, රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන හතක් යෙදවීම ද මෙයට හේතු අතර තිබෙනවා. ශ්‍රී ලංකාව වසරේ මුල පටන් ම දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටිනවා. කුමන්ත්‍රණය විසින් තත්වය තවත් තීව්‍ර කළා. ගෙවුම් ශේෂයෙන් කියවෙන්නේ ශ්‍රී ලංකාව අපනයනවලින් උපයන මුදලට වඩා ආනයන සිදු කරන බවයි. මේ දෙක තුලනය කරගැනීමට නම් අනිවාර්යයෙන් ම විදේශවලින් ණය ලබාගන්නට සිදු වෙනවා. 

මූඩිගේ ආයෝජන සේවායතනය විසින් පසුගිය 20දා ශ්‍රී ලංකා රජය පිළිබඳ විග්‍ර‍හයක් නිකුත් කරමින් ඔවුන්ගේ ණය ශ්‍රේණිගතකිරීම් තුළ ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ සිට බී-2 මට්ටම දක්වා පහත දැමුවා. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ආයෝජනය කිරීම ස්ථාවර වෙන්නට පුළුවන් වගේ ම අස්ථාවර වෙන්නටත් ඉඩ තිබෙනවා. පසුගිය ජුලි මාසයේදී මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ තහවුරු කළා. මූඩි ආයතනය ශ්‍රී ලංකා රජය විවරණය කිරීම ආරම්භ කළේ 2010දීයි. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍ර‍මාණනය මෙසේ පහත දමන ලද පළමු වතාව මෙයයි. 
හේතුවෙන් මූඩි, ෆිච්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් යන ප්‍ර‍ධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතන තුන ම විසින් ශ්‍රී ලංකාව පහත හෙළුවා. ණය ආපසු ගෙවීමේ අවදානම ඉහළ රටක් ලෙස හඳුනාගැනීමෙහි ප්‍ර‍තිඵලයක් ලෙස දැන් ශ්‍රී ලංකා රජයට ණය ලබාගැනීම පහසු නැත. එහෙත් අපට ණය නොගෙන පැවතිය නොහැකි නිසා සිදු වන්නේ ඉහළ පිරිවැයක් යටතේ ණය ලබාගන්නටයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මේ වන විට සිදු වන මූලික කාර්යය වන්නේ ණය ගෙවීම සඳහා ණය ගැනීම යි. ඒ සඳහා රටේ ණය ගෙවීමේ හැකියාව පවත්වාගෙන යා යුතුයි. 

ශ්‍රී ලංකාව ස්වකීය බාහිර ණය සීමාවන්හි උපරිම තලයට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළේ 2017 ඔක්තෝබර්වල වොෂින්ටන්හි පැවැත්වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් සිටිනා අතරතුර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනුයි. මූඩි ආයතනයට අනුව 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර ඩොලර් බිලියන 47ක් වුණා. 2017දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5ක විදේශ ණය ගෙව්වා. 2019 වසරේ සිට 2022 දක්වා දළ වශයෙන් වසරකට ඩොලර් බිලියන 3.9ක පමණ විදේශ ණය හා වාරික ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතුයි.  2007 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් වාණිජ පොලිය මත ලබා ගත් ණය 2019 සිට එකවර කල් පිරෙනවා. එසේ ගන්නා ලද ණයවලින් අපනයනය වැඩි කිරීම සඳහා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙසේ ණයබරතාව උග්‍ර වී තිබෙනවා.

විගණකාධිපතිගේ මහජන ණය කළමනාකරණ වාර්තාවේ සඳහන් වූ ආකාරයට 2016 වසර අවසන් වන විට සෑම ශ්‍රී ලාංකිකයකු ම වෙනුවෙන් රජය රු. 417,913ක් ණය වී තිබෙනවා. මෙම ඒක පුද්ගල ණය බර 2016 වසර ඇතුළතදී 12%කින් වැඩි වී තිබීමත් සුවිශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් රජය විශාල වශයෙන් ණය ලබා ගත් යුගයක් ලෙස සැලකෙන රාජපක්ෂ පාලනය තුළ 2005දී රු. 108,908ක් වූ ඒක පුද්ගල ණය බර 2014 අවසන් වන විට රු.357,233 දක්වා ඉහළ ගොස් තිබිණි. වත්මන් පාලනය තුළදී ද 2016 වසර අවසන් වන විට කර තිබුණු රජයේ ණය ගැනීම් නිසා එ්ක පුද්ගල ණය බර රු. 60,680කින් වැඩි වී තිබේ.

රජය මේ තරම් ණය වුණේ මහජනතාවට මොනවා කරලා ද? අද වන විට අප මුහුණ දී තිබෙන ලොකුම ප්‍රශ්නය මේ ණය බරයි. මේ ණය බර නිසා මහජනතාව වන අපට අධික ලෙස බදු ගෙවන්නට සිදු වී තිබෙනවා. ණය ගෙවන්නට රජය තව තවත් ණය ගන්නවා. මේ ඔක්කොම මැද අපට රජයෙන් හරි හමන් සේවාවක් ලැබෙන්නේත් නැහැ. අප මේ ණය බරින් ගැලවෙන්නේ කොහොමද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.