අජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත)

සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල සුබ පැතුමක් ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්ද නිමිත්තෙන් එවා තිබිණි. සුබ යන වචනය වෙනුවට එහි යොදා තිබුණේ සුභ යන වැරදි යෙදුමයි. ඉංග්‍රීසියෙන් එවා තිබුණ නිසා අරුණලු කෙසේ ලියුවාදැයි නොදනිමි. කෙසේ වෙතත් අලුත් අවුරුද්දේ මේ රටේ මිනිසුන් වැඩිදෙනෙකුගේ අරුණ අළු කර දැමීමට මෙම ස්පෑම් පණිවුඩය හේතු වූ බව නිසැක ය.

දේශපාලනිකව ගත් කල ජනාධිපතිවරයා පිරිපුන් යුගයක් ඇති කිරීමෙහි ලා සිය හැකියාව පෙන්වා නැත. ඔහු රටේ සාමය හා සෞභාග්‍යය ඇති කිරීමට ක්‍රියා කරන පුද්ගලයකු ද යන්න සැක සහිත ය. රටක පළමු පුරවැසියා වන ගමන් ම රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට ම යුද්ධ ප්‍ර‍කාශ කරන පුද්ගලයකුට සාමය ගැන කතා කරන්නට හෝ අයිතියක් නැත. මේ දිනවල රටේ යම් සාමයක් දකින්නට ලැබෙන්නේ ඇත්ත වශයෙන් ම ජනාධිපතිවරයාගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජය වූ නිසා ය. විධායක ජනාධිපති බලය හේතුවෙන් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රාජ්‍යයට නැත. ඉතා ඉක්මණින් ඔහු නැවත කුමන්ත්‍ර‍ණ ආරම්භ කරන්නට ඉඩ තිබේ. සුබ අලුත් අවුරුද්දක් නැත. ජනතාව ලෙස අප ඔහුගේ ඊළඟ ගේම දෙස අවදියෙන් බලා සිටිය යුතු ය.

ජනවරමට එරෙහිව යමින් හා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු ය. එහෙත්, ඒ වෙනුවට ඔහු දැන් අලුත් ගේමක් ගසමින් සිටින්නේ කඩිනම් ජනාධිපතිවරණයක් කැඳවා නැවත තේරී පත්වීමට බව පෙනේ. එහිදී ඔහු පාවිච්චි කරන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා රාජපක්ෂ පවුල ඇතුළේත්, එක්සත් ජාතික පක්ෂයේත් පවතින අවුල් වියවුල් සහ බල අරගලයි. ඒවා නිසා තමන් කිසියම් වාසිදායක තත්වයක සිටින බව ඔහු සිතන බව පෙනේ. කෙසේ වෙතත්, කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීම නරක නැත.

Sinhala Tamil English Translations and Content Writing

රටේ පවතින තත්වය මත ශ්‍රී ලංකාවට දැඩි දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය ය. ඔක්තෝබර් 26 කුමන්ත්‍ර‍ණය නිසා සිදු වූ එක් යහපත් දෙයක් තිබේ. එනම්, ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය හා අධිකරණය, පාර්ලිමේන්තුව, රජය ඇතුළු පද්ධතිවල අවංකභාවය, පරිපූර්ණත්වය හා විශ්වසනීයත්වය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අලුත් විශ්වාසයක් ගොඩනැගීමයි. ලංකාවේ සමාජ ක්‍ර‍මයට ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී කුමන්ත්‍ර‍ණවලට මුහුණ දී පරාජය කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දීම ආයෝජක විශ්වාසය, ජාත්‍යන්තර වෙළඳාම වැනි ආර්ථික සාධක සම්බන්ධයෙන් වැදගත් ය. එහෙත්, ශ්‍රී ලංකාවේ දේශපාලකයන් හා විශේෂයෙන් ම ජනාධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂා කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.

2019 වසරේ මහ බැංකු මූලෝපායන් ප්‍ර‍කාශයට පත් කරමින් මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි ආණ්ඩුවෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ රාජ්‍ය මුල්‍ය විනය රැකගන්නා ලෙස හා යථාර්ථය තේරුම් ගන්නා ලෙසයි. මැතිවරණ වර්ෂයක් වූ පළියට රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති ලිහිල් කිරීමේ හැකියාවක් ආර්ථිකයට නැති බව ඔහු පෙන්වා දුන් කාරණයයි. “අපි වැරදි අවබෝධයන් නිවැරදි කරගත යුතුයි. මෙය වෙනස් සුසමාදර්ශයක්. එකම වරද නැවත නැවත කරන්නට අපට හැකියාවක් නැහැ,” යි ඔහු පැවසී ය.

ඔක්තෝබර් 26 දින ආරම්භ වූ දේශපාලන අර්බුදයේ ප්‍ර‍තිඵල ඉදිරියේදී නිකුත් වන 2018 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත මගින් නිරූපණය වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. එ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2018 වසරේදී 3% දක්වා පහත වැටෙන්නට ඉඩ ඇතැයි ද ඔහු පැවසී ය.

ආර්ථික වශයෙන් ගත් කල 2019න් උදා වන්නේ පසුගිය වකවානුවේ ලබාගත් ණය ආපසු ගෙවන්නට සිදු වන කාල පරිච්ඡේදයකි. ඉදිරි වසර කීපයේදී ණය හා පොළී ලෙස ශ්‍රී ලංකා රජය අවුරුද්දකට ඩොලර් බිලියන හතරක් පමණ ගෙවිය යුතු ය. මේ ණය ගෙවන ආකාරය මහජනතාව අවබෝධ කරගත යුතු ය. ජනවාරි මාසයේ මැදදී කල් පිරෙන, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලබාගත් ඩොලර් බිලියනයක බැඳුම්කර සඳහා ආපසු ගෙවීම සඳහා යොදාගන්නට යන්නේ හම්බන්තොට වරාය ඒකාබද්ධ ව්‍යවසායෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.1ක මුදලෙහි දෙවන කොටස ලෙස ලැබෙන ඩොලර් මිලියන 650න් සහ චීනයෙන් ලබාගන්නා තවත් ණයකිනි. රනිල් වික්‍ර‍මසිංහ ආණ්ඩුව රාජ්‍ය දේපල විකුණනවා ය යන චෝදනාව නිරන්තරයෙන් එල්ල වුව ද, එසේ කරන්නට සිදු වී තිබෙන සංදර්භය මෙයයි.

මේ වන විට ජාත්‍යන්තර ණය දර්ශකවල ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ වැටී තිබේ. ඔක්තෝබර් 26 අර්බුදය ඇති නොවී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ, එම අරමුදල මගින් සපයමින් සිටි තුන් අවුරුදු ණය පහසුකමේ අවසන් කොටස ලබාගත්තා නම් ණය දර්ශකවල පහළට වැටීම වළක්වාගත හැකිව තිබුණු බව කුමාරස්වාමි පෙන්වා දුන්නේ ය. 2018 මාර්තු මාසයේ සිට බැංකුවලට මුදල් පොම්ප කිරීම හරහා විදේශ සංචිත අහිමි කරගැනීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන නවත්වා දැමීමට හේතු විය. එහෙත්, දේශපාලන අර්බුදය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන් අවුරුදු ණය පහසුකම 2019 අප්‍රේල් වන විට අවසන් වීමට නියමිත ය. එම සහන ණය ලබා දී තිබුණේ මුල්‍ය විනය පවත්වාගැනීමට අවශ්‍ය ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදුකිරීමේ කොන්දේසි මත ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමීම, සහන කප්පාදුව, බදු ඉහළ නැංවීම, ඉන්ධන මිළ සූත්‍ර‍ය ආදිය පැමිණෙන්නේ එහි ප්‍ර‍තිඵල ලෙසයි.

දේශපාලන අර්බුදය නිසා ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාම වේගවත් වීම නිසා විනිමය අනුපාතිකයේ ඇති වූ ගැටලු මැද නැවත වතාවක් ගෙවුම් ශේෂ අර්බුදයක හිර වී සිටින ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් තවදුරටත් දීර්ඝ කරගැනීමට කල්පනා කරමින් සිටින බව මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි පැවසී ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය ලැබෙන්නේ මුල්‍ය විනය සම්බන්ධ දැඩි කොන්දේසි මත ය. එම කොන්දේසි ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවට දැනෙන ආර්ථික පීඩනයක් ඔස්සේ ය. ඇත්තෙන් ම එය වනාහි රටේ පවතින සත්‍ය ආර්ථික පීඩනයයි.

එහෙත්, දේශපාලකයන් කරන්නේ මේ සත්‍යය වසන් කරමින් තමන් ජනතාවට සෞභාග්‍යය රැගෙන එන සුර දූතයන් පිරිසක් ලෙස පෙනී සිටින්නට උත්සාහ කිරීමයි. සත්තකින් ම ඔවුන් ජනතාව වෙත ගෙන එන සෞභාග්‍යයක් නැත. ඒ වෙනුවට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් දේශපාලකයන් කැලතක් ද, සුබසාධනයේ නාමයෙන් අති දැවැන්ත රජයක් ද නඩත්තු කිරීමේ බර පමණක් මහජනයා මත කඩා පාත් වේ.

ණය අර්බුදය කළමනාකරණය කර ගනිමින්, ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය කර ගනිමින්, දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් හා විදේශ විනිමය උත්පාදන මාර්ග වැඩි කර ගනිමින් මිස ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ජය ගත නොහැකි ය. කඩාකප්පල්කාරී ජනාධිපතිවරයකු රාජ්‍ය නායකත්වයේ තබාගෙන මේ කිසිවක් කළ නොහැකි ය. ශ්‍රී ලංකාවට දේශපාලනික ස්ථාවරත්වය අත්‍යවශ්‍ය ය. රජයන් වෙනස් වුවත්, ආර්ථික ප්‍ර‍තිපත්ති හා මූලෝපායන් වෙනස් කිරීමේ ලොකු නිදහසක් ණය අර්බුදයක කර වටක් එරී සිටින ශ්‍රී ලංකාවට නැති බව අප වටහා ගත යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.