අලුත් අවුරුද්දේ ජනාධිපතිවරණයක් එයි ද?

අලුත් අවුරුදු උදාවෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ආරංචි පැතිරෙනවා. මෙය සිදු වන්නේ පුවත් ශීර්ෂ මවාපෑම පිණිස වාර්තාකරුවන් විසින් නිර්මාණය කරනු ලබන අතේ රෝල් නිසායි. ඇතැම් විට මේ අතේ රෝල්වලට අනුව දේශපාලකයන් ද කටයුතු කරනවා. එය හරියට වලිගය විසින් බල්ලා නැටවීම වගෙයි. (ලිපිය දැන්වීමෙන් පසු)

Media and Social Entrepreneur

අපගේ තක්සේරුව අනුව නම්, ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේ නැහැ. එයට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි, මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂය සමග එළැඹ තිබෙන සම්මුතිය. එම සම්මුතිය අනුව ඔහුට විසින් මහින්ද රාජපක්ෂ සමග එක්ව පසුගිය ඔක්තෝබර් 26දා දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහුටත්, අනෙකුත් කුමන්ත්‍රණකරුවන්ටත් එරෙහිව පියවර නොගැනීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී තිබෙනවා. එයට හිලව් ලෙස 2020 දක්වා එජාපයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දීමට ඔහු එකඟ වී තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන යනු විශ්වාස තැබිය හැකි පුද්ගලයකු නොවන බව පැහැදිලියි. එහෙත්, ඔහු මේ වන විට සිටින තත්වය අනුව ද ඔහුට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ උවමනාවක් නැහැ. එයට හේතුව වන්නේ, ඔහුට ඉදිරි ජනාධිපතිවරණයකදී පුළුල් සහයෝගයක් ලබාගැනීමට හැකියාවක් නැතිකම. එහෙත්, ඔහු සතු සීමිත ඡන්ද පදනම හා වත්මන් ජනාධිපතිවරයා ලෙස සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට හා පොදු දේපල පාවිච්චි කිරීමට ඔහුට තිබෙන වරප්‍රසාදිත තත්වය නිසා ඔහු ජනාධිපතිවරණ සටනකදී වැදගත් ක්‍රීඩකයෙක්.

අනෙක් පැත්තෙන් මේ වන විට ඔහු උත්සාහ කරමින් සිටින්නේ ඔහුගේ පස් වසරක ධුර කාලය ආරම්භ වුණේ 2015 ජුනි මස සිට ය කියා තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගැනීමටයි. එහි සියුම් නීති තර්කයක් තිබෙනවා. ඒ අනුව, ඔහුට අවස්ථාව ලැබෙනවා ඔහු ජනාධිපති ධුරයේ සිටින අතරතුරදී ම මහ මැතිවරණයක් කැඳවීමට. පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් පිරෙන්නට නියමිත 2020 පෙබරවාරියෙන් පසු ඔහුට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාව ලැබෙනවා.

මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් එක්සත් ජාතික පක්ෂයට වාසියි. මුලින් මහ මැතිවරණයක් පැවැත්වුණොත් පොදුජන පෙරමුණට වාසියි.

හැබැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෛත්‍රීපාල සිරිසේනට වාසිදායක තීන්දුවක් ලැබුණොත්, මුලින් පවත්වන්නේ කොයි මැතිවරණය ද යන්න එජාපයට හා පොදුජන පෙරමුණට කේවල් කිරීමේ හැකියාව ඔහුට ලැබෙනවා. එහිදී ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කොයි පැත්තකින් හෝ අපේක්ෂා කරන්නට ඉඩ තිබෙනවා.

ප්‍රධාන පාර්ශ්ව දෙකෙන් එකක් ඔහුට ජනාධිපති අපේක්ෂක ධුරය දෙන්නට කැමති වෙයි ද? එහෙම නැතිනම් ඔහු සමග අගමැති ධුරය වැනි වෙනත් ආකාරයක සම්මුතියකට යාමට එකඟ වෙයි ද?

Sinhala Tamil English Translations and Content Writing