Shiral Lakthilaka

ධනේශ්වර ආර්ථිකයේ පියා වන ඇඩම්ස් ස්මිත්ට අනුව, සෑම මිනිසකු ම සතුටට කැමතියි. ඒ සතුට ලබාගැනීම සඳහා මිනිසුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යෙදෙනවා. ඒවා වෙළඳපොළේ විකුණා ලැබෙන ලාභය තම සතුට වෙනුවෙන් යොදාගන්නවා. සතුට භාණ්ඩ මිළ දී ගැනීම, දරුවන්ට ඉගැන්වීම හෝ අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීම හෝ වෙන්නට පුළුවන්. මෙය තමයි ධනේශ්වර ආර්ථිකයේ මූලික ම සරළ සිද්ධාන්තය.

Sinhala Tamil English Translations and Content Writing

මෙය ලංකාවට අදාළව ගත්තොත් ලංකාවේ ධනය නිපදවීම සිදු වන්නේ ඉතා අඩුවෙන්. විද්‍යාත්මක සමීක්ෂණයක් කර නැතත්, ලංකාවේ ජනගහනයෙන් දළ වශයෙන් 3%ක් පමණයි ධනය නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 97% කරන්නේ යැපෙන එකයි. 

ඒ අනුව ගත් විට අපේ රටේ තිබෙන්නේ යැපුම් ආර්ථිකයක්. අපට ලැබෙන ආදායම හා වියදම අතර ප්‍රශ්නයක් තිබෙනවා. අපනයන ආදායම හා ආනයන වියදම අතර වසරකට ඩොලර් බිලියන 10ක පමණ පරතරයක් තිබෙනවා. එය තමයි වෙළඳ ශේෂය. ඒ කියන්නේ යටත් විජිත පාලකයන්ගෙන් පසු පසුගිය දශක හතක පමණ කාලය තුළ අප නිෂ්පාදනය සඳහා ආයෝජනය කර නැති බවයි. මෑත භාගයේදී කළ ආයෝජන වන ඇඟලුම් කම්හල්, මැදපෙරදිග ශ්‍රමය හා සංචාරක කර්මාන්තය විතරයි තිබෙන්නේ.

අපනයන ආදායම ඉපදවීම සම්බන්ධයෙන් අප දැන් සංවෘත තැනකට පැමිණ සිටිනවා. එහෙත් සමාජයක් විධියට අපට මූලික අවශ්‍යතා පමණක් නොවෙයි වර්ධනය වන අවශ්‍යතා තිබෙනවා. ඒවා තෘප්ත කරගැනීමට ගිය විට ආනයන වියදම තවත් වැඩි වෙනවා. බත් කාපු මිනිහාට නූඩ්ල්ස් ඕනැ වෙනවා. නූඩ්ල්ස් කාපු මිනිහට පැස්ටා අවශ්‍ය වෙනවා. පැස්ටා ඉතාලියෙන් ගෙන එන විට ආනයන වියදම වැඩි වෙනවා. සමාජයක් විදියට මේ අන්දමින් මුහුකුරා යද්දි අර කී ආදායම් මදි වෙනවා.

ශේෂයක් තියෙන විට අපට ණය ගන්නට සිදු වෙනවා. දළ ජාතික නිෂ්පාදනයෙන් 86%ක් පමණ ණය වී තිබෙනවා. එයට පොළිය ගෙවන්නටත් වුණා ම ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වී තිබෙනවා. හේතුව තමයි, නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ආයෝජනය කර නැති වීම. 

යහපාලන ආණ්ඩුවෙන් වුණත් පොරොන්දු වූ ෆොක්ස්වැගන් කම්හල හෝ කළුතර දිස්ත්‍රික්කයේ ටයර් කම්හල හෝ ඇර වෙනත් සිදු වී ඇති දෙයක් නැහැ. ප්‍රාග්ධන වියදම අප නාස්ති කර තිබෙනවා, කාර් ආනයනය වැනි දේ වෙනුවෙන්. මේ අර්බුදයට අද පිළියම් කළත් ප්‍රතිඵල ලැබීමට තව අවුරුදු දහයක්  පමණ ගතවෙනවා. 

ලංකාවේ මධ්‍යම පන්තියේ ආදායම වැඩි වීමක් සිදු වී හෝ නැහැ. විවෘත ආර්ථිකය 1980 දශකයේදී රේගන්වාදය, තැචර්වාදය හරහා හඳුන්වා දෙන ලද්දක්. ලෝක බැංකුව වොෂින්ටන් සම්මුතිය හරහා විවෘත ආර්ථිකය හා පාරිභෝජනවාදය හඳුන්වා දුන්නා. 2011 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දුන් වෙලාවෙ ජෝජ් බුෂ් ජනතාවගෙන් ඉල්ලා සිටියෙ හැකි තරම් භාණ්ඩ මිළ දී ගන්න ය කියලා. එතකොට ආර්ථිකය නොවැටෙන නිසා. එහෙත් ලංකාවේ එහෙම නැහැ.

ලංකාවේ ජනගහනයෙන් පාරිභෝජනවාදයේ යෙදෙන්නේ 5%ක් වන මිලියනයක පමණ ජනතාවක් විතරයි. ඉතිරි 95%ක්ට වන පවුල් මිලියන හතක් පමණ ම භාණ්ඩ මිළ දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය නැහැ. පිරිසක් ණය කාඩ්පත් ආදිය හරහා යම් මිළ දී ගැනීම් ප්‍රමාණයක් කරනවා. 1977 සිට තිබුණත් ලංකාවේ විවෘත ආර්ථිකය සක්‍රිය වෙලා නැහැ. 

විශාල ජනගහනයක් වෙළඳපොළෙන් ඉවත දමලා. දවසකට අපි කැලරි 2200ක් ශක්තිය නිපදවන ආහාර පාරිභෝජනය කළ යුතුයි. කොළඹ පාරිභෝගික මිළ දර්ශකය අනුව හතරදෙනෙකු ඉන්න පවුලක් දිනකට දළ වශයෙන් රු. 500ක් වැය කළ යුතුයි. ඒ අනුව, මසකට රු. 15,000ක් අවශ්‍යයි. අනෙකුත් වියදම් අනුව දිනකට රු. 1,000ක් අවශ්‍යයි. ඒ අනුව, රු. 30,000ක් ඉපැයිය යුතුයි. රජයේ සේවකයන් බොහෝ දෙනෙකුගේ මූලික වැටුප මීට අඩුයි.  ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණයි, රු. 30,000 ඉක්මවා උපයන්නේ. 75%කගෙ ආදායම ඊට අඩුයි. 

ලංකාවේ විවෘත ආර්ථිකය දුවන්නට අවශ්‍ය නිෂ්පාදනය, පාරිභෝජනය හා වෙළඳපොළ නැහැ. අප අද මුහුණ දී සිටින අර්බුදයෙන් රට ගොඩගන්නට නම් මුලින් ම දුප්පත්කම නැති කිරීමට වැඩ කළ යුතුයි. සමෘද්ධිය යනු අන්තිම පහළ ස්ථරය තවදුරටත් කඩා වැටීම වළක්වා ගැනීමට දෙන දීමනාවක්. එහෙත් දුප්පත්කම නැති කිරීම යනු ඔවුන් නිෂ්පාදන හා සේවා ක්‍රියාවලියට ඇතුළත් කරගැනීම. පසුගිය අවුරුදු 20ක් තිස්සේ එය සිදු කර නැහැ. ඒ නිසා මේ රට දුප්පතුන්ගේ රාජ්‍යයක්. 

ලංකාවේ අපට ප්‍රශ්නය පිළිබඳ එකඟතාවක් නැහැ. සැලසුම්කරණය සඳහා මුලින් ම ප්‍රශ්නය හඳුනාගත යුතුයි. අපට ප්‍රශ්නය විසඳාගැනීමට සමස්ත ප්‍රවිෂ්ඨයක් නැහැ. 

ජනතාව හරි කැමතියි අධිවේගී මාර්ගවලට. එහෙත්, ෆොසිල ඉන්ධන හිඟ වීම හා මිළ ඉහළ යාම නිසා ලෝකයේ වැඩි ප්‍රවණතාවක් තිබෙන්නේ මහා පරිමාණ ප්‍රවාහනයට හෙවත් දුම්රියවලට. හොඳ දුම්රිය සේවයකට අපට සැලසුම් නැහැ. ලංකාවේ ආනයන වියදමෙන් 25%ක් පමණ වැය වන්නේ ඉන්ධන සඳහා. විදුලි බලයෙන් දුවන දුම්රිය හා සූර්ය බලශක්තිය මගින් මෙයින් 15%ක් පමණ අඩු කරගත හැකියි. 

ලංකාවට ආහාර ආනයනයට වැය වන්නේ ආනයන වියදමෙන් 10%යි. ඒවා අඩු කිරීමෙන් ලොකු ඉතිරියක් කරගන්නට බැහැ. රත්තරං, කාර් ආදිය ගෙන්වන්නට 10%ක් වැය වෙනවා. ඒවා නම් නැවැත්තුවාට කමක් නැහැ.

රාජාංගන වැවේ උස්සාන වාරිමාර්ග ක්‍රමය තවමත් ක්‍රියාත්මක වන්නේ ඩීසල්වලින්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවමත් හිතලාවත් නැහැ සූර්ය බලශක්තිය වැනි නවීන ක්‍රමවේද සඳහා. අපේ විදුලි බල පද්ධතියත් ස්මාට් කළ හැකියි. විදුලියෙන් දුම්රිය දිවවිය හැකියි. හොඳ සේවාවක් සැපයිය හැකියි. පෞද්ගලික වාහන අවශ්‍ය අයට පමණක් ලෝක වෙළඳපොළේ මිළට තෙල් මිළ දීගෙන වාහන පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම හිතන්නේ කොහේ ද?

ආර්ථිකය ගැන කතා කරනවා නම් අප අලංකාරිකවලින් එහාට ගොස් රජය, විපක්ෂය, දැන් ආණ්ඩුව, කලින් ආණ්ඩුව ආදී වශයෙන් කතා නොකළ යුතුයි. මෙයට අප සියලු දෙනා ම වගකිව යුතුයි. උගතුන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, පර්යේෂකයන්, පාලකයන් ආදී අප සියලු දෙනා මෙයට වගකිව යුතුයි. හැබැයි, පාලකයන් හා දේශපාලන ප්‍රජාව තමයි මේ සාකච්ඡාව හරියට සිදු වන්නට ඉඩ නොදෙන්නෙ. සත්‍යය නොදැකිය හැකි ලෙස අපේ ඇස් කඩතුරාවකින් වහන්නේ. එකිනෙකාට ඇඟිලි දික්කිරීම වැඩක් නැහැ. සමස්ත ශ්‍රී ලාංකික බුද්ධිය හා ඥානය මෙයට වගකිව යුතුයි. 

මම සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. අපටත් තිබෙනවා මන‍ස්කල්පිත ඉලක්ක. හැම මිනිහෙකු ම එක වගේ වෙනවාට අප කැමතියි. මා කොමියුනිස්ට්වාදියකු නොවෙන්නේ එයින් අප තිබෙන තැනිනුත් පහළට වැටෙන එක නිසායි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළත් යම් ආකාරයක ෆැන්ටසි තිබෙනවා. ලෝකයේ ධනේශ්වර ආර්ථිකය වර්ධනය වෙනවා. අප කරන්නට ඕනැ ධනේශ්වර ආර්ථිකයට ඇණ ගහන එකයි. ආදායම් විෂමතා ඇති වෙනවා නම්, බෙදාහැරීම් ක්‍රමය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විදියට වෙනස් කරන්නට ඕනැ. අසමානතා අඩු කරන එක රජයේ වගකීමක්. පරිසර හානි වළක්වන්නට ඕනැ. නියාමනය කරන්නට ඕනැ. රජය රොබින් හුඩ් වගේ උඩින් සල්ලි අරන් පහළ මිනිසුන්ට දෙන්නට ඕනැ. හැකි නම් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නොමිළේ දෙන්නට ඕනැ. අපේ රටේ සමාජ ප්‍රගමනය සිදු වුණේ ම අධ්‍යාපනය හරහායි. හැබැයි, සම්පූර්ණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියොත් රට බංකොලොත් වෙනවා. ඒ නිසා නිෂ්පාදනය කරන්නට ඕනැ.

මේ දවස්වල ඒ වාදෙ තමයි ජර්මනියෙ තිබෙන්නේ. ඇන්ජලා මර්කල්ගෙ පක්ෂය වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් දෙවෙනි තැන්වලට පත් කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වගේ පිරිසක් නෙමෙයි. ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කියන්නේ රෝසා ලක්සම්බර්ග් විශ්වාස කරන අය. ඔවුන් විශ්වාස කරන්නේ බර්න්ස්ටයින්. මේ ගැන සමාජ, දේශපාලන කතිකාවක් නැහැ. ලංකාවේ එක කොනක ආගමික මාක්ස්වාදීන් ඉන්නවා. අනෙක් පැත්තෙ මේ ආණ්ඩුවේ ඉන්නවා වගේ තමන් කරන දේ මොකක්දැයි නොදත් බහුබූත ධනවාදීන් ඉන්නවා. මැද කවුරුවත් නැහැ.

අපේ රටේ ධනේශ්වර සංවර්ධනය සිදු විය යුතු යි. ධනය උපයන්නේ නැතුව බදු අයකරන්නට බැහැ. කොමියුනිස්ට් සමාජයක වගේ මට පුළුවන් හැටියට වැඩ කරලා අවශ්‍ය ප්‍රමාණයට පරිභෝජනය කරන මිනිසුන් නෙමෙයි අපි. අපි හරි ආත්මාර්ථකාමී, පෘථග්ජන මිනිස්සු. මේ සාකච්ඡාව ලංකාවෙ වෙන්නෙ නැහැ. වෙන සාකච්ඡාව පවා වෙන්නෙ රොමැන්ටික් විදියට. ඒක මෝඩයි. ලංකාවේ ගැඹුරු සාකච්ඡාවක් නැහැ. ප්‍රතිඵලය ෂුවර්. අපි ග්‍රීසිය වෙන්නට ඔන්න මෙන්න තත්වයක ඉන්නෙ. කසාය බීලා හරි වෙනස් වෙන්නට වෙනවා. 

මාක්ස්වාදයට අනුව, ආර්ථිකය දේශපාලනය අධිනිශ්චය කරනවා. ආර්ථිකය හසුරුවන්නට බැරි නම් දේශපාලනය හසුරුවන්නටත් බැහැ. දේශපාලනිකව ගත්තොත් ලංකාවට අවශ්‍ය වෙලා තිබෙනවා සියල්ලන් ඇතුළත් කරගන්නා දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේ ආයතන. ලංකාවේ ඩොලර් බිලියන 86ක් වන ආර්ථිකය හසුරුවන්නේ කවුරුද? මහා භාණ්ඩාගාරයේ ඉන්නා නිලධාරීන් පස්හයදෙනෙකුයි, කවුරු හෝ මුදල් ඇමතිවරයා හා ඔහුගේ කුස්සි කැබිනට්ටුවයි. එහෙම හරියන්නෙ නැහැ. ඉන්දියාවේ ආර්ථික කොමිෂමක්, සැලසුම් කොමිෂමක් තිබෙනවා. ප්‍රාඥයන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට මේකෙ මැජික් පෙන්නන්න බැහැ. ආයතනයි ගොඩනැගිය යුතු වෙන්නේ. එහෙම ආයතනික වශයෙන් ශක්තිමත් වූ දවසක තමයි ලංකාවේ දේශපාලනයත් ගොඩ යන්නේ.  

ආර්ථිකයේ අභියෝග මැයෙන් ශිරාල් ලක්තිලකගේ ෆේස්බුක් පිටුවෙහි පළ වූ වීඩියෝවක් ඇසුරිනි. එම වීඩියෝව පහත දැක්වේ. 

ආර්ථිකයේ අභියෝග …..!

ආර්ථිකයේ අභියෝග …..!

Posted by Shiral Lakthilaka on Sunday, December 23, 2018

මේ ලිපියත් කියවන්න. 

ග්‍රීක් ණය අර්බුදයෙන් ලංකාවට උගත හැකි පාඩම්

December 13, 2018admin

ග්‍රීසිය යුරෝපා සංගමයට අයත් රටක්. ශ්‍රී ලංකාවට වඩා මඳක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍ර‍මාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩු යි. එනම් මිලියන 11.4ක්. ග්‍රීසිය ශ්‍රී ලංකාවට වඩා News Detail

Leave comment

Your email address will not be published. Required fields are marked with *.