අජිත් පැරකුම් ජයසිංහ
පරිවර්තකයෙකු සතු ප්‍රධානතම වගකීම වන්නේ මූලාශ්‍ර භාෂාවේ වචනවලට අදාළ ඉලක්ක භාෂාවේ වචන ආදේශ කිරීම නොව, එම වචන තුළ ගැබ්ව ඇති සැබෑ අර්ථය පාඨකයාට සමීප කිරීමයි. මෑත කාලීන භූ-දේශපාලනික සංවාද තුළ නිතර ඇසෙන චීනයේ Belt and Road Initiative (BRI) යන යෙදුම, යාන්ත්‍රික පරිවර්තනය සහ අර්ථ පූර්ණ පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීමට කදිම උදාහරණයකි.

බොහෝ අවස්ථාවලදී මෙම යෙදුම සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලබන්නේ “තීරය සහ මාවත මුලපිරීම” ලෙසයි. මෙය ඉංග්‍රීසි වචනවලට සෘජු සිංහල වචන ආදේශ කිරීමක් පමණක් වන අතර, ඉන් කියවෙන අර්ථය සිංහල පාඨකයාට ආගන්තුක හෝ ව්‍යාකූල විය හැකිය. මෙහි “තීරය” (Belt) යන්නෙන් රෙදි පටියක් හෝ භූමි තීරයක් ද, “මුලපිරීම” (Initiative) යන්නෙන් හුදු ආරම්භයක් ද ධ්වනිත විය හැකිය. නමුත් මෙම ව්‍යාපෘතියේ සැබෑ පසුබිම ඊට හාත්පසින්ම වෙනස්ය.
මෙම ව්‍යාපෘතියේ පසුබිම අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ මෙය පුරාණ “සේද මාවත” (Silk Road) සංකල්පයේ නූතන පුනරාගමනය බවයි. මෙහි “Belt” යන්නෙන් ගොඩබිම් හරහා වැටෙන ආර්ථික කොරිඩෝව (Economic Belt) ද, “Road” යන්නෙන් මුහුදු මාර්ග පද්ධතිය (Maritime Silk Road) ද අදහස් කෙරේ. එනම් මෙය ගොඩබිම සහ මුහුද යා කරන යෝධ වෙළෙඳ ජාලයකි.
එබැවින්, වචනවල එල්ලී පරිවර්තනය කරනවා වෙනුවට, එහි ඓතිහාසික සහ දේශපාලනික පසුබිම සලකා බැලීමේදී, මෙම යෙදුම සඳහා වඩාත් උචිත සිංහල පරිවර්තනය වන්නේ “චීනයේ නව සේද මාවත ව්‍යාපෘතිය” යන්නයි. එමඟින් ශ්‍රී ලාංකික පාඨකයාට ඓතිහාසික සේද මාවත පිළිබඳ මතකය අවදි කරමින්, මෙය අන්තර්ජාතික වෙළෙඳාම හා සම්බන්ධ යෝධ ව්‍යාපෘතියක් බව ක්ෂණිකව අවබෝධ කරවයි.
මෙයින් අප උගත යුතු පාඩම වන්නේ, යම් යෙදුමක් පරිවර්තනය කිරීමට පෙර එහි “සන්දර්භය” (Context) වටහා ගත යුතු බවයි. ශබ්දකෝෂයෙන් ලැබෙන අර්ථයට වඩා, එම වචනය නිර්මාණය වීමට බලපෑ පසුබිම, සංස්කෘතිය සහ අරමුණ විමසා බැලීමෙන් වඩාත් සාර්ථක සහ සන්නිවේදන බලයෙන් යුතු පරිවර්තනයක් සිදු කළ හැකිය.











