Translation by Creative Content Consultants
ඩිට්වා (Ditwah) සුළි කුණාටුව නිසි පරිදි කළමනාකරණය නොකිරීම පිළිබඳ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිලධාරීහු දැඩි පීඩනයකට මුහුණ පා සිටිති. මෙම අර්බුදය මගින් රටේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියේ පවතින බරපතල බිඳවැටීම් ඉස්මතු කෙරේ.

(දින හතරකට පෙර පළ වූ ලිපියක් නිසා මෙම ඡේදයෙහි දැක්වෙන සංඛ්‍යා දත්ත යාවත්කාලීන ඒවා ලෙස නොසලකන්න.) ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් දින කිහිපයකට පසුව ද, දිවයිනේ දිස්ත්‍රික්ක 25හි ම වෙසෙන මිලියන 1.46කට අධික ජනතාවක් දශක දෙකක කාලයක් තුළ සිදුවූ දරුණුතම ගංවතුර උවදුරෙන් පීඩාවට පත්ව සිටිති. රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, නිල මරණ සංඛ්‍යාව 410ක් වන අතර, පුද්ගලයෝ 336 දෙනෙක් තවමත් අතුරුදහන්ව සිටිති. පීඩාවට පත් පවුල් 407,000කට අයත් 64,000කට අධික පිරිසක් රට පුරා පිහිටි රජය මගින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත මධ්‍යස්ථාන 1,450ක පමණ රැකවරණය ලබති.
දහස් ගණනක් කොටු වී, හුදකලා වී සිටිති
ශ්‍රී ලංකාව විසින් කරන ලද ආධාර ඉල්ලීමට රටවල් කිහිපයක් ප්‍රතිචාර දක්වා ඇති අතර, එහි පෙරමුණ ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇත. ඉන් අනතුරුව එක්සත් රාජධානිය, චීනය, ඕස්ට්‍රේලියාව සහ නේපාලය ද ආධාර ලබාදීමට ප්‍රතිඥා දී තිබේ. සුළි කුණාටුවේ පසු විපාකවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ මෙම ප්‍රකාශය සහ ජාත්‍යන්තර ආධාර පිළිබඳ පොරොන්දුව මධ්‍යයේ වුව ද, රජයේ ප්‍රතිචාරය පිළිබඳව ශ්‍රී ලාංකික මහජනතාව දැඩි කලකිරීමකින් පසුවන බවක් පෙනෙන්නට තිබේ. ඒකාබද්ධ සහන සහ මුදාගැනීමේ පද්ධතියක් නොමැති බව විචාරකයෝ පෙන්වා දෙති. මේ අතර මුදාගැනීමේ ඉල්ලීම් හමුවේ බලධාරීහු අසරණ වී සිටින බවක් පෙනෙන්නට ඇති අතර, කාලෝචිත ආකාරයෙන් සන්නිවේදන කටයුතු සිදු කිරීමට ඔවුහු අරගල කරති.
අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි අවධානය යොමු නොකිරීම සහ මෙම ව්‍යසනය මිනිස් පාලනයෙන් ඔබ්බට වර්ධනය වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්, කොළඹ පිහිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ශ්‍රී ලංකා රජයට චෝදනා කරයි. “මෙම අර්බුදය කළමනාකරණය කිරීමේදී රජයේ ක්‍රියාකලාපය යහපත් මට්ටමක නැත. ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවීමට රජය කටයුතු කළ යුතුව තිබුණි,” යනුවෙන් සරවනමුත්තු මහතා DW වෙත පැවසීය. සරවනමුත්තු මහතාට අනුව, “මෙම ව්‍යසනය මගින් ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණවල පවතින සැලකිය යුතු අඩුපාඩු අනාවරණය කෙරේ.” එසේම “අනාගත අසමත් වීම් වළක්වා ගැනීම” සඳහා පවතින රාමු ඇගයීමට ලක් කළ යුතුව තිබේ.
අපතේ ගිය පූර්ව අනතුරු ඇඟවීම්
නොවැම්බර් 28 වන දින ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වූ නමුත්, ඊට සති දෙකකට පෙර සිටම අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී තිබූ බව ඇතැම් පාර්ශව පෙන්වා දෙති. රජය කාලෝචිත ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජීවිත හානි ඉහළ ගිය බව විද්වත්හු පවසති.
“සුනාමි මෙන් නොව, සුළි කුණාටු වැනි ජල කාලගුණ විද්‍යාත්මක උවදුරු පැමිණීමට දින කිහිපයකට පෙර, පූර්ව ආරක්ෂක පියවර ගැනීම සඳහා ප්‍රමාණවත් දැනුම්දීම් ලැබේ. නොවැම්බර් මස අග භාගයේදී අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට නොවැම්බර් 12 වන දිනම ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියේ අනතුරු අඟවා තිබුණි. එය මධ්‍යම, පළාත් සහ පළාත් පාලන මට්ටම් හරහා රජයේ සූදානම් වීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හේතු විය යුතුව තිබුණි,” යනුවෙන් කොළඹ සිටින විද්‍යා ලේඛකයෙකු වන නාලක ගුණවර්ධන මහතා DW වෙත පැවසීය. “නමුත් පැහැදිලිවම එය සිදු වී නැත. ඩිට්වා සුළි කුණාටුව ආසන්න වූ විට හෝ එය රට තුළට ඇතුළු වූ පසු සිදු වූ නිල ප්‍රතිචාරය බොහෝ දුරට ප්‍රතිචාරාත්මක (reactive) ස්වභාවයක් ගත්තේය,” යනුවෙන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. “දරුණු ව්‍යසනයක් තවත් දරුණු අතට හැරවූ, එකිනෙක හා බැඳුණු අසාර්ථක වීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා වූ සමස්ත ආපදා කළමනාකරණ ව්‍යුහයම වගකිව යුතුය.”
“සුළි කුණාටුවේ මාරාන්තික බලපෑම ප්‍රමාද වන තෙක්ම වටහා නොගත් හෙයින්” එහි ප්‍රතිඵල “අතිශය බිහිසුණු” බවට මහජන යහපත වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක සහ තීරු ලිපි රචිකාවක වන කිශාලි පින්තු ජයවර්ධන මහත්මිය පවසයි. හදිසි අවස්ථාවලදී “තීරණාත්මක තීරණ ගැනීමේ හැකියාව සහ නිපුණතාව” රජයන් සතු විය යුතු බව ඇය DW වෙත පැවසුවාය. “අර්බුදකාරී අවස්ථාවලදී ජනතාව ‘එක්ව කටයුතු කිරීම’ අගයමින් දේශපාලනඥයින් සිදු කරන හැඟීම්බර ප්‍රකාශ මගින් එම වගකීම ප්‍රතිස්ථාපනය කළ නොහැක,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මුදාගැනීමේ කණ්ඩායම්වල ‘ශක්‍යතාව’ ඉක්මවා යයි
ගැටුම් පශ්චාත් සමයේ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතව සිටින, දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන සිවනේසන් නවීන්ද්‍ර පැවසුවේ සුළි කුණාටුව හේතුවෙන් උතුරු ශ්‍රී ලංකාවේ මාර්ග සහ සන්නිවේදන මාර්ගවලට හානි සිදුව ඇති බවයි. “උතුරේ මන්නාරම, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල තත්ත්වය අතිශයින් දරුණු ය. විදුලි සංදේශ කුලුනු අක්‍රිය වීමත් සමඟ මුලතිව්හි සම්පූර්ණ විදුලි බිඳවැටීමක් සිදුව ඇති අතර, පදිංචිකරුවන්ට දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් නොමැති තත්ත්වයක් උදා වී තිබේ,” යනුවෙන් යාපනයේ සිට නවීන්ද්‍ර මහතා DW වෙත පැවසීය. “මාර්ග අවහිර වීම් හේතුවෙන් උතුරු පළාත සෙසු ප්‍රදේශවලින් ඵලදායී ලෙස විසන්ධි වී ඇති අතර, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය අතර ගමන් කිරීමට නොහැකි වී තිබේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉවත් කිරීමේ කටයුතු “අතිශයින් දුෂ්කර” වනු ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අනතුරු ඇඟවීය. කැළණි ගඟ දෙපස සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. “ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි දුෂ්කරතා ඇති වී තිබේ. නමුත් බලපෑම අධ්‍යයනය කිරීමට සහ සහන සංවිධානය කිරීමට ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායන් පිහිටුවා ඇත. යළි ගොඩනැගීම සඳහා යම් කාලයක් ගතවනු ඇත,” යනුවෙන් අබේසිංහ මහතා DW වෙත පැවසීය. “සුළි කුණාටුව ගමන් කරන දිශාව පුරෝකථනය කිරීමේ මූලික දුෂ්කරතා අපට තිබුණා,” යනුවෙන් පැවසූ අබේසිංහ මහතා, අපේක්ෂිත අධික වර්ෂාපතනය ප්‍රදේශ රැසකට ඇද හැලුණු බවත්, එය අවශ්‍යතාව සහිත සියලු දෙනා වෙත ළඟා වීමට ඇති “මුදාගැනීමේ කණ්ඩායම්වල ශක්‍යතාව ඉක්මවා ගිය” බවත් සඳහන් කළේය. හුදකලා වූ අවදානමට ලක්විය හැකි ජනගහනය වෙත ළඟා වීම සඳහා රජය යුද කාලීන මට්ටමේ සූදානමකින් කටයුතු කරමින් සිටින බව ද අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජීවිත හානි සම්බන්ධයෙන් විපක්ෂය රජයට දොස් පවයි
කෙසේ වෙතත්, රජය විවෙචනයට ලක්කරන්නන් මෙම නිල ප්‍රකාශය විශ්වාස කරන්නේ නැත. විපක්ෂ දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය (SJB) රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මෑතදී ශපථ කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා, මෙම ව්‍යසනයේ බරපතලකම 2019 වසරේදී පුද්ගලයින් 270 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරවලටත්, බලවත් රාජපක්ෂ පවුල යටතේ වඩාත් මෑතකදී සිදු වූ ආර්ථික බිඳවැටීමටත් සමාන කළේය. “රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව ගොනු කළ අපරාධ නඩුවට සමානව, අපි වත්මන් රජයට එරෙහිව නඩුවක් ගොනු කරන්නෙමු. මන්ද මෙම ව්‍යසනයෙන් මියගිය සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම ඔවුන් වගකිව යුතුය,” යනුවෙන් මරික්කාර් මහතා සඳුදා මාධ්‍ය වෙත පැවසීය.
දෙමළ භාෂාවෙන් නිකුත් කළ දැනුම්දීම් ඉතා අල්පය
සහන ද්‍රව්‍ය බෙදා හැරීම සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ඇතැම් පීඩාවට පත් ස්ථාන වෙත ළඟා වෙමින් තිබුණ ද, පූර්ණ සහාය ලැබෙන්නේ කවදාද සහ යථා තත්ත්වයට පත්විය හැක්කේ කවදාද යන්න පිළිබඳව බොහෝ ප්‍රජාවන්ට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැත. කොළඹ පදනම් කරගත් වැරදි තොරතුරු පිළිබඳ විශේෂඥයෙකු සහ විශ්ලේෂකයෙකු වන සංජන හත්තොටුව මහතාට අනුව, සන්නිවේදනය සඳහා පවතින කැපී පෙනෙන බාධාවක් වන්නේ ආපදා සන්නිවේදන කටයුතු සඳහා නිලධාරීන් භාවිතා කරන භාෂාවන් තෝරා ගැනීමයි. රටේ බහුතර භාෂාව වන සිංහල සහ සුළුතර භාෂාව වන දෙමළ යන දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගැනෙන අතර, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශේෂයක් වන ඉංග්‍රීසි භාෂාව ද ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න පිරිසක් විවිධ මට්ටම්වලින් කතා කරති. “මගේ පර්යේෂණයෙන් පෙනී ගියේ ප්‍රධාන යාවත්කාලීන කිරීම් සිංහල භාෂාවෙන් පමණක් සිදු වූ බවයි. සමහර විට ඉංග්‍රීසි භාෂාවෙන් ද පළ වූ නමුත්, දෙමළ භාෂාවෙන් පළ වූයේ ඉතා කලාතුරකිනි. සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණු දෙයම පිළිබිඹු කරමින් රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන්විදුලිය අවදානම් සහ තර්ජන සන්නිවේදනය කළේ නැත,” යනුවෙන් හත්තොටුව මහතා DW වෙත පැවසීය. “මෙය තීරණාත්මක පැය කිහිපය තුළ තොරතුරු රික්තකයක් නිර්මාණය කිරීමට දායක වූ අතර, එය පෙර සූදානම සහ ප්‍රජා ප්‍රතිචාර කෙරෙහි බලපෑවේය,” යනුවෙන් ඔහු පැවසීය. “වඩාත් ඵලදායී සහ කාලෝචිත ආකාරයකින් තොරතුරු ලබා ගත හැකිව තිබුණේ නම්, අහිමි වූ ජීවිත බේරා ගැනීමට අවස්ථාව තිබුණි.”









