අජිත් පැරකුම් ජයසිංහ
මෑතකදී ජාතික ජන බලවේගයේ නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීම හා සමාජ ප්රාග්ධනය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළේය. දේශපාලන ව්‍යාපාරයකට හෝ නායකයකුට ජනතාව විශ්වාසයෙන් යුතුව මුදල් පරිත්‍යාග කරන්නේ නම් එය හුදෙක් ආර්ථික ගනුදෙනුවක් නොවේ. එය එම දේශපාලන ව්‍යාපාරය ජනතාව සමග ගොඩනගාගෙන ඇති විශ්වාසය, ජාලකරණය සහ අන්‍යෝන්‍ය බැඳීමේ ප්රතිඵලයකි. ප්‍රංශ සමාජ විද්‍යාඥ පියරේ බෝඩියෝ (Pierre Bourdieu) පෙන්වා දුන් පරිදි සමාජ ප්රාග්ධනය ආර්ථික ප්රාග්ධනය බවට පරිවර්තනය කළ හැකිය. එම නිසා ලාල් කාන්ත මහතා පෙන්වා දුන් පරිදි ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීමට හැකි වීම සමාජ ප්රාග්ධනය ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය වීමේ එක් ප්‍රායෝගික ප්රකාශනයකි.
සැබැවින්ම සමාජ ප්රාග්ධනය (Social capital) යනු සමාජයක ජීවත් වන පුද්ගලයන් සතු සබඳතා ජාලයයි. මෙම ජාලය මගින් එම සමාජයට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි. එය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම් වේ. ඒ ජාල (Networks), විශ්වාසය (Trust) සහ අන්‍යෝන්‍ය සහයෝගය (Reciprocity) යන්නයි. මුදල් හෝ භෞතික සම්පත් මෙන් නොව මෙය මිනිස් සබඳතා මත පදනම් වූ අස්පෘශ්‍ය වත්කමකි.
මෙම සංකල්පය 20 වන සියවසේ මුල් භාගයේදී එල්.ජේ. හැනිෆන් (L.J. Hanifan) වැනි අය විසින් ප්‍රජා සහභාගීත්වයේ වැදගත්කම විස්තර කිරීමට භාවිතා කරන ලදි. පසුව එය න්‍යායික රාමුවක් ලෙස විකාශය විය. පියරේ බෝඩියෝ මෙය බලය සහ අසමානතාව යන කෝණයෙන් විශ්ලේෂණය කළේය. ඇමරිකානු සමාජ විද්‍යාඥ ජේම්ස් කෝල්මන් (James Coleman) මෙහි ක්‍රියාකාරී ප්‍රවේශය ගැන අවධානය යොමු කළේය. රොබට් පට්නම් (Robert Putnam) නමැති දේශපාලන විද්‍යාඥයා 1990 දශකයේදී මෙය වඩාත් ජනප්‍රිය කළේය. සිවිල් මැදිහත්වීම සහ ප්‍රජා සංවිධානවල වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙය තේරුම් ගැනීමට සරල උදාහරණ දෙකක් සලකා බලමු. පළමුවැන්න නම් ඔබේ අසල්වැසියා දුර ගමනක් යන විට ඔබ ඔහුගේ නිවස බලාගැනීමට ඔබ භාර ගනියි. ඔබට ද ඒ අසල්වැසියා එවැනි උපකාර කරනු ඇතැයි යන අන්‍යෝන්‍ය විශ්වාසය එහි පවතී. රැකියාවක් සොයන විට ඔබේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔබට සම්මුඛ පරීක්ෂණයක් ලබා ගැනීමට හැකි වේ. මෙම අවස්ථා දෙකෙහිදීම ක්‍රියාත්මක වන්නේ ඔබේ සමාජ ප්‍රාග්ධනයයි.
ගතානුගතික සමාජවාදී රාමුවක් තුළ සමාජ ප්රාග්ධනය යනු සාමූහිකත්වය සහ පන්ති සහයෝගීතාවය ගොඩනැගීමේ මෙවලමකි. ධනවාදී තරඟකාරිත්වයට එරෙහිව කම්කරුවන් සහ පීඩිතයන් එකමුතු වන්නේ ඔවුන් සතු විශ්වාසය සහ ජාලගත වීම හරහාය. වෘත්තීය සමිති, සමුපකාර ව්‍යාපාර සහ සාමූහික ගොවිපළවල් යනු සමාජවාදී ආකෘතිය තුළ සමාජ ප්රාග්ධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ස්ථාන වේ. ජනතාව තම අයිතිවාසිකම් දිනා ගන්නේ මෙම සාමූහික ශක්තියෙනි.
ධනවාදය තුළදී සමාජ ප්රාග්ධනය බොහෝ විට ආර්ථික වටිනාකමක් බවට පත් කෙරේ. ලාල් කාන්ත සමාජ ප්රාග්ධනය ගැන කී කතාව වැඩිපුර අදාළ වන්නේ ධනවාදයටයි. ව්‍යාපාරික ජාලකරණය (Networking), පාරිභෝගික විශ්වාසය ගොඩනැගීම සහ සන්නාම පක්ෂපාතීත්වය (Brand loyalty) යනු ධනවාදී වෙළඳපොළ තුළ සමාජ ප්රාග්ධනය භාවිතා වන ආකාර වේ. ව්‍යාපාරයක ගනුදෙනු පිරිවැය අඩු කර ගැනීමට සහ ලාභදායීත්වය වැඩි කර ගැනීමට මෙම ව්‍යාපාරික සබඳතා උපකාරී වේ. සමාගමක කාර්යසාධනය ඉහළ නැංවීමට ද සේවකයන් සතු අන්‍යෝන්‍ය විශ්වාසය ඍජුවම බලපායි.
පාඨකයෙකු ලෙස ඔබට මෙය අතිශයින් වැදගත් වේ. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත්, නව රැකියාවකට ගියත්, සමාජ අසාධාරණයකට එරෙහිව පෙනී සිටියත් ඔබට හුදකලාව ජයග්‍රහණ ලබා ගත නොහැක. ඔබ ගොඩනගා ගන්නා ධනාත්මක සබඳතා, ඔබ කෙරෙහි අන් අය තුළ පවතින විශ්වාසය සහ ඔබේ ප්‍රජා මැදිහත්වීම යන සියල්ල එක්ව ඔබේ සමාජ ප්රාග්ධනය නිර්මාණය කරයි. එම ප්රාග්ධනය ඔබේ පෞද්ගලික සාර්ථකත්වයට මෙන්ම යහපත් සමාජයක් ගොඩනැගීමට ද අත්‍යවශ්‍ය සාධකයකි.











