President Anura at Rendapola

වැඩසටහනේ දරුණු කප්පාදු ක්‍රියාමාර්ග මගින් යළි ගොඩනැගීම අසීරු කරන බව ක්‍රියාකාරීවරුන්ගේ මතයයි

Meera Srinivasan, The Hindu – පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ, Creative Content Consultants

ශ්‍රී ලංකාව ‘දිත්වා’ සුළි කුණාටුවේ විනාශයෙන් කම්පනයට පත්ව සිටින අතර, විචාරකයන් පවසන පරිදි දරුණු කප්පාදු පියවරයන් පනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් වැඩසටහන නැවත සලකා බැලීමේ ඉල්ලීම් වැඩි වෙමින් පවතී.

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාව, පෙර නොවූ විරූ ජලගැලීම් සහ බහු භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් 638 දෙනෙකු මිය ගිය අතර—191 දෙනෙකු අතුරුදහන්ව සිටිති—මිලියන ගණනකට බලපෑම් එල්ල විය. රට මුල්‍ය බිඳවැටීමක් මධ්‍යයේ බංකොලොත් වූ බව ප්‍රකාශ කිරීමෙන් වසර තුනකට පසු, රට දැක ඇති දරුණුතම දේශගුණික විපත් අතුරින් එකක් වන මෙය, රටෙහි තාවකාලික යළි ගොඩනැගීමට දැඩි පහරක් එල්ල කර ඇත.

පසුගිය සතියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දේශගුණික ව්‍යසනයෙන් පසුව IMF ගිවිසුම නැවත සාකච්ඡා කරන ලෙස අනුර කුමාර දිසානායක රජයෙන් ඉල්ලා සිටියේය. ඒ, ජනතාවගේ දුෂ්කරතා උග්‍ර කරන කොන්දේසි අත්හිටුවීමට හෝ සංශෝධනය කිරීමට අරමුදල සමඟ වහාම සාකච්ඡා කරන ලෙස ඉල්ලමිනි.

2022-23 වසර වලදී සිදු කරන ලද UNDP අධ්‍යයනයකින් හෙළි වූයේ 2022 දී ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයිනේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් “බහුමානීය වශයෙන් අවදානමට ලක්ව” ඇති බවයි. එතැන් සිට ශ්‍රී ලංකාව සාපේක්ෂ මූල්‍ය ස්ථාවරත්වයක් ලබා ඇතත්, IMF විසින් නියම කරන ලද වියදම් කප්පාදුවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ දුප්පතුන්ගේ තත්වය, වැටුප් අඩුවීම, ඉහළ ජීවන වියදම් සහ පීඩාවට පත් වූ පොදු අධ්‍යාපන හා සෞඛ්‍ය පද්ධතියක් මධ්‍යයේ තවත් නරක අතට හැරී ඇත.

මෑත කාලීන ස්වභාවික විපතෙන් පසු, ශ්‍රී ලංකාව පුරා සිවිල් සමාජ කණ්ඩායම් සහ ක්‍රියාකාරීවරුන් 70කට අධික සංඛ්‍යාවක් IMF ගිවිසුම, ණය සහ දේශගුණික යුක්තිය නැවත සාකච්ඡා කරන ලෙස ඉල්ලා ඇත. 2025 දෙසැම්බර් 8 වන දින නිකුත් කරන ලද ඔවුන්ගේ ප්‍රකාශය තර්ක කළේ, රජය “IMF හි ක්‍රියාත්මක වන දීර්ඝ කළ අරමුදල් පහසුකම් (Extended Fund Facility) වැඩසටහනේ සිරකරුවෙකු” බවට පත්ව ඇති බවයි.

“IMF විසින් රජයේ වියදම් පාලනය කිරීම වත්මන් මානුෂීය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට රජයට ඇති ශක්‍යතාවට බාධා කරනවා පමණක් නොව, යටිතල පහසුකම් සඳහා ආයෝජනයට, ජීවනෝපාය යළි ගොඩනැගීමට සහ තවදුරටත් දේශගුණික විපර්යාසවල බලපෑම් වලට අනුවර්තනය වීමට ද දැඩි ලෙස බාධා කරයි,” යනුවෙන් ඔවුහු අවධාරණය කරති. ඔවුන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ “හදිසි සංශෝධනයක්”, “විශාල” ණය අඩු කිරීමක්, සහනාධාර ඉවත් කිරීම නතර කිරීමක් සහ රටේ යළි ගොඩනැගීම සඳහා වත්මන් හා අනාගත ණය සේවාකරණය වහාම අත්හිටුවීමක් සිදු කරන ලෙසයි.

2026 දී, රජයට ඩොලර් බිලියන 2කට අධික මුළු ණය ප්‍රමාණයක් යළි ගෙවීමට සිදුවන අතරම, සමගාමීව යළි ගොඩනැගීමට ද සිදුවේ. 2004 ඉන්දියානු සාගරයේ සුනාමියෙන් පසුව තිබූ තත්වයට වඩා මෙවර යළි ගොඩනැගීම දුෂ්කර විය හැකි බව සමහර සංවර්ධන විශේෂඥවරුන් නිරීක්ෂණය කර තිබේ.

මෙම ගැටලුව හඳුනා ගනිමින්, ජනාධිපති දිසානායක මහතා 2025 දෙසැම්බර් 8 වන දින Newsweek සඟරාවට පැවසුවේ, මූලික ඇස්තමේන්තු අනුව හානිය “අපේ දිවයින විඳදරාගත් ඕනෑම ස්වභාවික විපතකට වඩා වැඩි විය හැකි” බවයි. දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් සඳහා ණය තිරසාර රාමුව වෙනස් විය යුතු බව ඔහු අවධාරණය කළේ, ශ්‍රී ලංකාවට දේශගුණික විපත් වලින් යළි ගොඩනගන අතරම එකවර ණය සේවාකරණය ද කිරීමට සිදුවන බැවිනි. (මෙම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙතැනින්: ශ්‍රී ලංකාව ‘අපගේ පාලනයෙන් ඔබ්බට ගිය අර්බුදයකට’ මුහුණ දෙයි; ජනාධිපතිවරයා නිවුස්වීක් (Newsweek) වෙත පවසයි)

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ද මෙයට අදහස් දක්වමින්, ණය තිරසාරත්ව විශ්ලේෂණය (Debt Sustainability Analysis – DSA) දේශගුණික කම්පන සැලකිල්ලට ගැනීමට අපොහොසත් වූ බැවින්, මෙම ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සමඟ පෙළගැසී සිටීම “අසීරු” වන බව පෙන්වා දුන්නේය. දේශගුණික අවදානම් සංසදයෙහි (Climate Vulnerable Forum) මහලේකම්වරයා ද වන නෂීඩ් මහතා පෙන්වා දුන්නේ, දැඩි ලෙස දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් 70කට අධික සංඛ්‍යාවක සන්ධානය, ප්‍රතිරෝධී ආයෝජන නිසි ලෙස අගය කිරීම සඳහා DSA ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, දේශගුණික කම්පනවලට ප්‍රතිචාර වශයෙන් ස්වයංක්‍රීය ණය අත්හිටුවීම් ඇතුළත් ප්‍රතිසංස්කරණය කරන ලද G-20 පොදු රාමුවක් සඳහාත් දිගු කලක් තිස්සේ ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය IMF වැඩසටහනෙන් ඉවත්වීමේ සලකුණු තවමත් නොපෙන්වයි. රජය ඒ වෙනුවට අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික මුදල් සැපයීමේ උපකරණයක් (Rapid Financing Instrument) ඉල්ලා ඇත. IMF ප්‍රකාශකවරයෙකු තහවුරු කළේ, හදිසි මූල්‍යකරණය සඳහා වන මෙම ඉල්ලීමට, දැනට ක්‍රියාත්මක වන දීර්ඝ කළ අරමුදල් පහසුකමේ (Extended Fund Facility – EFF) නියමිත පස්වන සමාලෝචනයට වඩා ප්‍රමුඛතාවය ලැබෙනු ඇති බවත්, එම සමාලෝචනය ලබන වසර මුල දක්වා කල් දමනු ඇති බවත්ය.

මේ අතර, වඩාත්ම බලපෑමට ලක් වූ ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් කොන් වූ ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කරමින්, සමාන සහනයක් සඳහා රජය වහාම ප්‍රමුඛත්වය දිය යුතු බව ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති. ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුව (Feminist Collective for Economic Justice) පෙන්වා දුන්නේ, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල, මහනුවර සහ නුවරඑළිය වැනි—භූමිකම්පා වලට ගොදුරු විය හැකි සහ අවදානමට ලක් වූ තේ වතු කම්කරුවන්ගේ නිවහන වන—කොට්ඨාස වලින් බවයි. මෙම අර්බුදකාරී පසුබිම තුළ, “ණය ගෙවීම අවලංගු කිරීමට සහ කප්පාදු ප්‍රතිපත්ති ආපසු හැරවීමට” IMF සහ අනෙකුත් ණය හිමියන් සමඟ වහාම සාකච්ඡා කරන ලෙස මෙම එකමුතුව ඉල්ලා සිටියේය.

Creative Content Consultants
Creative Content Consultants 077 1229191/ 077 1734470

Leave a Reply

Your email address will not be published. Required fields are marked *