Sajith Premadasa and Maithripala Sirisena

සජිත්ට ප්‍රශ්න පත්‍රයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට පැවරීමට නියමිත ය. ඔහු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ම සාමාජික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වනු ඇත්තෙ රනිල් වික්‍රමසිංහ ය. රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ඉතා වැදගත් ධාරාවක් වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අක්ෂයේ නායකයා ය. ගම් මට්ටමේදී, බිම් මට්ටමේදී ඔහු ජනප්‍රිය නැති බවට මතයක් නිර්මාණය කරන ලදී. එය සැබෑවක් ද? නැතිනම්, එක්සත් ජාතික පක්ෂයට පිටින්, කැපිටල් මහරාජා වැනි සමාගම්වල මුදල් හා මාධ්‍ය බලය භාවිතා කරමින් බිම් මට්ටමේ පැළ කර වැඩෙන්නට සලස්වන ලද දෙයක් ද? එම මතය ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ම විසින් පක්ෂයට පිටින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක් හරහා නම්, එය පක්ෂ විනයට අනුකූල ද? එවැනි වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහට අවස්ථාව ලැබුණා ද? එසේ නොමැති නම්, තම නායකයාට එරෙහිව මතයක් ගොඩනගා ඒ අන්දමින් බලය පැහැරගැනීම සාධාරණ ද? එය ප්‍රජාතන්ත්‍රවාදී ද? එය කුමන්ත්‍රණයක් නොවන්නේ කෙසේ ද?

Translations by Creative Content Consultants

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර ඇති වූ සම්මුතිය කුමක් ද? එම සම්මුතිය විසින් එජාප ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජ බලවේගය ආරක්ෂා කරනවා ද? කරන්නේ කෙසේ ද? ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන තුළ රනිල් වික්‍රමසිංහට හිමි තැන කුමක් ද? ඉන් පසු ඔහුට කුමක් වේ ද? සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන් කොන්දේසි මොනවා ද? රංජිත් මද්දුම බණ්ඩාර එවැනි කොන්දේසි ඇති බව හා ඒවා එතරම් බැරෑරුම් ඒවා නොවන බව පවසද්දී, සජිත් ප්‍රේමදාස තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන අයෙකු බව පවසන්නේ ඇයි? සම්මුතියකදී එවැනි කොන්දේසි පැනවීම වරදක් ද?

ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු ඔහුගේ ඊළඟ ඉලක්කය එකට වැඩ කිරීම ද? පක්ෂ නායකත්වය සඳහා කුරුමානම් ඇල්ලීම ද? ජනාධිපතිවරණය ජයගැනීම සඳහා සමගිව වැඩකිරීමට ඔහු වගකීමෙන් කටයුතු කරනවා ද?

මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය නායකත්වය ලබාගෙන රට පාලනය කිරීම හඳහා ඔහුට තිබෙන වැඩපිළිවෙල කුමක් ද?

සජිත් ප්‍රේමදාස 2018 ඔක්තෝබර් 26 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවැත්වූ සම්බන්ධතා මොනවා ද? වර්තමානයේදී ඔවුන් දෙදෙනා අතර තිබෙන සම්බන්ධය කුමක් ද? සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් අගමැතිකමට මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට යම් සාකච්ඡාවක් කර තිබේ ද? මේවා පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්න ය.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක් ද යන්න තවමත් ප්‍රශ්නයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද? නැතිනම් ජනාධිපති අපේක්ෂකයා කුමාර් වෙල්ගම ද? සජිත් ප්‍රේමදාස සමග එකතු වී ජනාධිපතිවරණය තරග කිරීමට ඔහුගේ සැලසුමක් තිබුණා ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කරන ලද සාකච්ඡාවල තත්වය කුමක් ද? මෙම පක්ෂ දෙක අතර සන්ධානයක් ඇති වීමේ ඉඩක් තවමත් තිබේ ද? එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වන තැන කුමක් ද?