revolution

විප්ලවයද? මැතිවරණද?

අජිත් පැරකුම් ජයසිංහ

විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා.

16 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ චින්තකයකු වන නිකොලෝ මැකියාවෙලි විප්ලවයේ තර්ජනය දරාගත හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කළ අයෙක්. එහෙත්, බලය පිළිබඳ ඔහුගේ දැක්ම අනුව, ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු ව්‍යුහයේ වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිගන්නා හෙයින් මැකියාවෙලි නූතන විප්ලවවාදී චින්තනයේ පුරෝගාමියෙක්. ඔහු කිසි විටෙක විප්ලවය යන වචනය ඔහුගේ ග්‍රන්ථවල භාවිතා නොකළ අතර, මූලික වශයෙන් සැලකිලිමත් වූයේ ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහායි. ඒ සඳහා ද පරිවර්තන අවශ්‍ය වුණා.

ඒ අර්ථයෙන් ගත් කල 2022 මහජන නැගිටීමෙන් පසු බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ද නූතන මැකියාවෙලි කෙනෙකි. ඔහු කිසි විටෙකත් විප්ලවය යන වචනය භාවිතා නොකරන අතර ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පරිවර්තනයකට මුලපුරා තිබෙනවා. ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්‍රකාශනය යෝග්‍යයි. “Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism.” ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පසුබැසිය යුතු ය. 

ලාංකීය විප්ලවය සිදුවන්නේ මෙම සංදර්භය තුළයි. එය කිසි සේත්ම සමාජවාදී විප්ලවයක් වීමේ හැකියාවක් නැහැ. හේතුව, ලංකාව වැනි කුඩා ආර්ථිකයක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීම කිසි සේත්ම කළ නොහැකි වීමයි. එසේ කරන බවක් කිසිවකු පවසන්නේ ද නැහැ. ධනේශ්වර ලෝකයේ සැපයුම් හා නිෂ්පාදන දාම සමග සම්බන්ධ නොවී ලංකාවේ ආර්ථිකයට පැවතිය නොහැකියි.

එහෙත්, ලංකාව ආර්ථික වශයෙන් අස්ථාවරත්වයට පත් වීමට හේතු වුණේ යම් යම් සමාජවාදී ස්වරූපයේ ආර්ථික ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒවා සමාජවාදී ප්‍රතිපත්ති ලෙස අවබෝධ කරගත්තත්, එම ප්‍රතිපත්ති මගින් සිදු වූයේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරන එකයි. එහිදී රජය අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු බොහෝ සේවා සියලු ජනතාවට නොමිලේ සපයන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එසේම, භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධ ඒකාධිකාරයන් රජය විසින් පවත්වාගෙන යනවා. ඒ සමගම මිල පාලනයක් ද පවත්වාගෙන යනවා. කලක් ලංකාවේ පැවති, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, ගුවන් විදුලි සංස්ථාව, තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය ආදිය මේ සඳහා උදාහරණයි. ලංකා විදුලි බල මණ්ඩලය තවමත් එවැනි ඒකාධිකාරයක්.

රාජ්‍ය සේවාවන්ට අමතරව, රාජ්‍ය ව්‍යවසායන් ද පවත්වාගෙන යාමේදී ලාභ ලැබීමේ චේතනාවක් නොතිබීම නිසා මේවා වැඩි හරියක් නඩත්තු කරන්නට සිදු වන්නේ රජය එකතු කරන බදු මුදලින්. මේ අතර, බදු අය කිරීම ද සමාගම්වලට හා ධනවත් පුද්ගලයන්ට සීමා කිරීම හේතුවෙන් රාජ්‍ය ආදායම් ද ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා රජයට විශාල වශයෙන් ණය ලබාගැනීමට සිදු වුණා.

පසුගිය සමයේ රජය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අති විශාල වශයෙන් විදේශ ණය ද ලබාගත්තා. විදේශ ණයවලින් කොටසක් රුපියල ශක්තිමත් කිරීම සඳහා ද වැය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වන විට ලංකාවේ රජයට තව දුරටත් ණය හා පොළිය ගෙවීම දුෂ්කර වුණා. රට බංකොලොත් වීමත් සමග ලංකාවේ විප්ලවීය මොහොතක් උදා වුණා.

ලංකාවේ ධනේශ්වර රාජ්‍ය ක්‍රමයේ සුබසාධනවාදී රාජ්‍ය මූලික ලක්ෂණය වෙනස් කර සමාජ වෙළඳපොළ ධනවාදයක් තිරසරව ස්ථාපිත කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මූලිකත්වය දෙන විප්ලවය. ඒ සඳහා විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කරමින් සිටිනවා. නීති වශයෙන් ගත්තත්, පාර්ලිමේන්තුව අලුත් නීති 100කට වඩා සම්මත කිරීමට නියමිතයි. මහ බැංකුව ස්වාධීන කිරීම, රාජ්‍ය මූල්‍ය විනය නීතිගත කිරීම, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම හෙවත් අවම වශයෙන් පාඩු නොලබන තත්වයකට ගෙන ඒම ඒ අතරින් ඉතා වැදගත් පියවර වෙනවා. රාජ්‍ය සේවයේ බර අඩු කිරීම, රාජ්‍ය අංශය රැකියා සැපයීම වෙනුවට සේවා සැපයීමට ප්‍රමුඛත්වය දෙන ස්ථානයක් බවට පත් කිරීම, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, වෙළඳපොළට හා පෞද්ගලික අංශයට ප්‍රධානස්ථානය ලබා දීම හා ශක්තිමත් නියාමනයත් එහිදී සිදු විය යුතුයි. ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම, නිෂ්පාදන හා අපනයන මූලික කරගත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට මෙන්ම, නැවත බංකොලොත් නොවී පවත්වා ගැනීමට ද අත්‍යවශ්‍ය වෙනවා.

ඒ සඳහා අවශ්‍ය විප්ලවීය ප්‍රතිසංස්කරණ අපට ඉතා වේදනාකාරී අත්දැකීම් රැසක් ලබාදෙනවා. ඒත්, ඒ කම්පනය දරා නොගෙන අපට එකම විසඳුම වන තිරසර සංවර්ධනය කරා ආපසු යන්නට ලැබෙන්නේ නැහැ. තිරසර සංවර්ධනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධන අරමුණු 17ක් ඔස්සේ විග්‍රහ කර තිබෙනවා.

මේ විප්ලවීය ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටියදී තමයි, ඉදිරියේදී මැතිවරණ පවත්වන්නට නියමිතව තිබෙන්නේ. 2022දී බිඳ වැටුණු රාජ්‍යයක 2024 වන විට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පිළිබඳ කතා කරන්නට පවා හැකි වීම සාධනීය තත්වයක්. මෙවැනි විප්ලවීය අවධීන්වලදී සමාජවාදීන් නම් ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛත්වය ලබාදී නැහැ. රුසියාවේ ලෙනින්ගේ, චීනයේ මාඕ සේතුංගේ, කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් දියත් වුණ විප්ලවවලදී විපක්ෂය දරුණු මර්දනයකට ලක් කරනු ලැබුවා. එහිදී වැදගත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි, බලය රැක ගැනීමයි.

ලංකාවේ විප්ලවයේදීත්, විප්ලවවාදීන් බලය රැකගත යුතුව තිබෙනවා. විප්ලවවාදීන් කියන්නේ රතු හෝ දම් පාට කොඩි ඔසවා ගත්, රැවුල් වවාගත් අය නෙමෙයි. විප්ලවීය ප්‍රතිසංස්කරණ සිදුකරන හෝ ඒවාට සහාය පළ කරන අයයි. ලංකාවේ නම් ජවිපෙ ඇතුළු ගතානුගතික වාමාංශිකයන් සියලු දෙනා පෙනී සිටින්නේ පැරණි ක්‍රමය රැක ගැනීමටයි. ඔවුන් විප්ලවය ලෙස හඳුන්වන්නේ ඔවුන් අතට බලය ගැනීමයි. මේ පැරණි ක්‍රමය ඉහළම තලයට ගෙන ගියේත්, එහි විනාශය සලකුණු කළේත් රාජපක්ෂවාදයයි. වර්තමානයේදී රාජපක්ෂලාටත් වඩා රාජපක්ෂ ක්‍රමයේ ආරක්ෂකයන් වී සිටින්නේ ඊනියා වාමාංශිකයිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *