ජවිපෙ මානසිකත්වය අනුව, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ ඇයිද කියන කාරණය විමසා බැලුවාම මට නම් හිතෙන්නේ එයට මෙතරම් ප්‍රමුඛතාවක් දෙන්නේ නන්දන ගුණතිලක වැනි ජවිපෙන් පත් වී, දැන් ජවිපෙන් ඉවත් වී මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් ජීවත් වන පුද්ගලයන් අසරණ කිරීමේ පරම චේතනාවෙන් බවයි.
එහෙම නැතුව, එමගින් මහ ලොකු මුදලක් ඉතිරි කරන්න බැහැ. ඒ වගේම ඕවා ජනප්‍රියවාදී බොළඳ වැඩ මිසක් ගැඹුරක් ඇති ප්‍රතිපත්ති නෙමෙයි. විශ්‍රාම වැටුප් කපන්නට නෙමෙයි ඕනැ. හැමෝටම විශ්‍රාම වැටුප් ලැබෙන ක්‍රමයක් හදන්නයි ඕනැ. ඒකෙ තිබෙන විෂමතායි අවම කරන්නට ඕනැ. මන්ත්‍රී කෙනෙකුගේ නෙමෙයි ජනාධිපතිගේ වුණත් මූලික වැටුප පුංචි එකක්. ඒකෙන් ප්‍රතිශතයක් විශ්‍රාම වැටුපක් විදියට ගෙව්වාම ලොකු විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙ නැහැ. වෙන දීමනා එල්ලලා ඇති.
දේශපාලනය කරන කෙනෙකු වෘත්තීය මහජන නියෝජිතයකු බවට පත්වෙන්නෙ කරමින් සිටි රැකියාව අත්හැරලා. ඔවුන් සිය ධූර කාලයේ සම්පූර්ණයෙන්ම මහජන සේවයට කැපවෙන්නට ඕනැ. ඇමති ධූර වැනි වගකීම් භාරගන්නා අය විශාල අවදාමකුත් ගන්නවා. උදාහරණයක් විදියට පොලිසිය භාර ඇමති වැනි අය පාතාලය මර්දනය කරන්නට අවශ්‍ය තීරණ ගන්නවා. එහෙම අයට ආපහු ගිහින් කරමින් සිටි රැකියාව කරන්නට පුළුවන්ද? ඔවුන් කරමින් සිටි රැකියාවෙන් ඉල්ලා අස්වෙලායි නාමයෝජනා දෙන්නෙ. එතකොට, කිසිම සේවා යෝජකයකු බැඳිලා නැහැ අනිවාර්යයෙන්ම රැකියාව ආපසු දෙන්න. රජය වුණත් එහෙමයි. බැඳිලා නැහැ.
මන්ත්‍රීවරුන්ට සාපේක්ෂ ලොකු වැටුපක් නොගෙවන එකේ, දක්ෂ වෘත්තිකයන් දේශපාලනයට ආකර්ශනය කරගන්නට යම් යම් වරප්‍රසාද අවශ්‍ය වෙනවා. මාලිමාවේ ප්‍රතිපත්තිය පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය පක්ෂයේ සුවච කීකරු වෘත්තිකයන් හා පන්ති පහ කර ජවිපෙ පූර්ණකාලිකයන් වූ අය පාර්ලිමේන්තුවට පත්කර ගැනීම. ඒ අයව ඔවුන් පක්ෂ අරමුදලෙන් නඩත්තු කරනවා. වැටුපත් පක්ෂ අරමුදලටම පැහැර ගන්නවා. එවැනි වහලුන් පිරිසක් තමයි ජවිපෙට අවශ්‍ය. එවැනි පිරිසක් සොයාගන්නටත් ජවිපෙට හැකියාව තිබෙනවා. වෙනත් පක්ෂවලට එය පහසු නැහැ.
දැනටත් ජවිපෙ නොවන සෙසු පක්ෂ හරහා මහජන නියෝජිතයකු බවට පත්වන්නට නම් තමන්ගේ කැම්පේන් එක තනිවම කරගන්නටත්, පක්ෂය නඩත්තු කරන්නටත් සල්ලි තියෙන ධනවතෙකු විය යුතුමයි. ඉදිරියේදී දේශපාලනය වෙන් වන්නේ එවැනි ධන කුවේරයන්ට හා ජවිපෙ වහලුන්ටයි.
මන්ත්‍රීවරයකුට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලබාදීම ගැන ඉහළ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් අතර පවා ඊර්ෂ්‍යාවක් පහසුවෙන් නිර්මාණය කළ හැකියි. ඒත්, බොහෝ අය නොදන්නා කරුණක් තමයි අවුරුදු තුනෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය අංශයේ තනතුරු පවා තිබෙන බව.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ගත්ත පහත දැක්වෙන තොරතුරු බලන්න. තව විස්තර වෙබ් අඩවියේ තියෙනවා.













