අජිත් පැරකුම් ජයසිංහ

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය.

දැනට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ අරමුණ වන්නේ, නව පනතක් හඳුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම සහ දේශිය හා විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීමයි.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම සිටි ස්ථාවරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවයි. ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා තිබෙන නීති ප්‍රමාණවත් බව ඔවුන්ගේ ස්ථාවරය විය. එහෙත්,  පසුගිය සැප්තැම්බරයේ ජවිපෙ සම්බන්ධ ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසු මේ වන විට ඔවුන් පුද්ගලයන් දුසිමකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කර තිබේ.

එහෙත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සැප්තැම්බරයේදී රැස්වන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට රජයට බලපෑම වැඩි වෙමින් තිබේ. මේ අතර, තවත් අවුරුදු දෙකකින් පමණ යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහන සඳහා නැවත අයදුම් කරන්නට පෙර, ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සැපිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම වැදගත් වේ. 2016දී ශ්‍රී ලංකාව ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීමට අයදුම් කිරීමේදී පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය එකඟ විය.

2015-19 කාලය තුළ යහපාලන රජය නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සකස් කළ මුත් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අවශ්‍ය පියවර ගැනුණේ නැත. 2019දී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් නවත්වා දමන බව නිවේදනය කරන ලදි. 2022දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර වෙනත් පනතක් හඳුන්වා දීමට උත්සාහ කරන ලදි. එම වකවානුවේ ද ජවිපෙ ස්ථාවරය වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව පමණි. ඔවුහු නව නීති ද ප්‍රතික්ෂේප කළහ.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව පසුගියදා ශ්‍රී ලංකාවේ චාරිකාවක් සිදු කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ද පැවසුවා.

ජාතික ජන බලවේගය මැතිවරණ සඳහා ඉදිරිපත් කළ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද දැක්වෙන්නේ ‘ප්‍රති-ත්‍රස්ත පනත’ ඇතුළු සියලු මර්දනකාරී අණපනත් අහෝසි කර ජනතාවගේ නිදහස සහතික කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *