Urumaya land deeds

ඉඩම්වල සින්නක්කර අයිතිය දෙන එකට විරුද්ධ වෙන නරුමයෝ

අජිත් පැරකුම් ජයසිංහ

පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා.

“උරුමය” වැඩසටහන යටතේ ඔවුන්ට ලබා දී ඇති ඉඩම් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ඊයේ ජනතාව වෙත බෙදා දුන්නා. තවද, උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් සඳහා මෙම වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් බෙදා දීමට නියමිතයි.

මේවා දීර්ඝ කාලයක් තිස්සේ රජය කිරීමට අසමත් වූ විප්ලවීය පියවර. දිගින් දිගටම මේවාට විරුද්ධ වුණේ මේ රටේ පසුගාමී වාමාංශිකයන් ඇතුළු පිරිස්. රටේ ඉඩම්වලින් 80%ක් විතර තවමත් අයිති රජයට. ඒවායින් මහජනතාව භුක්ති විඳින මේ ඉඩම්වල පූර්ණ හිමිකම මහජනතාවට පවරා දීම යුක්ති සහගත දෙයක්. තමන් කාලාන්තරයක් ජීවත් වුණ, වගා කළ ඉඩම ඔවුන්ට ලබාදීම ඔවුන්ගේ අයිතියක් තහවුරු කිරීමක්.

සින්නක්කර අයිතිය දුන්නොත් මේ මිනිසුන් ඒ ඉඩම් විකුණන බව කියන්නෙ නරුමයන්. ඒ මධ්‍යම පන්තික නරුමයන් තමන්ගෙ ඉඩම් විකුණනවා. මිල දී ගන්නවා. ඒ අතර තමයි මේ ජනතාවගේ ඒ අයිතියට විරුද්ධව කටයුතු කරන්නෙ.

ඔව්. සමහරුන් ඉඩම් විකුණයි. ඉතින් මොකද? ඒකට ඔවුන්ට හේතු තියෙනවා. ඉඩම විකුණලා දාලා දුප්පතුන් වෙන එක වළක්වන්නට ඔවුන්ට මග පෙන්වන එක තමයි වාමාංශිකයන්ගෙ, රාජ්‍ය නොවන සංවිධානවල වගකීම.