වහා ගිනි ඇවිලෙනසුලුබව කොළඹ සිට කත්මන්ඩු දක්වා පැතිරෙන සංදර්භයක් තුළ කලාපය නැවත හැඩගස්වන දිල්ලියේ ඊළඟ පියවර
මිලින්ද මොරගොඩ විසිනි
නේපාලයේ සහ ඉන්දුනීසියාවේ නැගිටීම් සහ බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ඊට පෙර ඇති වූ කැළඹිලි, අහඹු ලෙස ඇති වූ පිපිරීම් නොවේ. ඒවා සමාජයන් නැවත හැඩගස්වන ගැඹුරු ගෝලීය සංසිද්ධියක ලක්ෂණ වේ. අරාබි වසන්තයේ සිට වර්තමාන විරෝධතා දක්වා, දේශපාලනය නැවත හැඩගැසෙමින් තිබෙන්නේ අසමානතාව සහ ප්‍රභූ ග්‍රහණය මැද, නොසන්සුන් තරුණ පරම්පරාවක් සමගිනි.
කෝවිඩ් අධිවසංගතය මෙම කැළඹිලි සඳහා ප්‍රේරකයක් මෙන්ම අභිජනන භූමියක් ලෙස ද ක්‍රියා කළේය. එය ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය පුළුල් කළේය. පාලනය කෙරෙහි විශ්වාසය බිඳ දැමීය. තමන් බැහැර කර ඇතැයි පිටස්තර හැඟීමක් දැනුණු තරුණයින් අතර කලකිරීම තියුණු කළේය. දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට අප දැන් දකින දෙය අස්ථාවරත්වයේ ගෝලීය රටාවෙහි අංගයකි. එහි ව්‍යුහාත්මක මූලයන් නොතකා හැරිය නොහැකිය.
අසමානතාවේ උගුල
දශක අටක් තිස්සේ ධනවාදය සහ විවෘත වෙළඳපොළවල් විසින් අසාමාන්‍ය සමෘද්ධියක් ජනනය කර ඇත. ආසියාව පුරා මිලියන සිය ගණනක් ජනතාව දරිද්‍රතාවෙන් මුදා ගන්නා ලදී. ගෝලීය ඒකාබද්ධතාව නවෝත්පාදනයට හා වර්ධනයට හේතු විය. එහෙත්, අද වන විට ධනවාදය එහි යුක්තියුක්තභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටී.
දියුණු ආර්ථිකයන්හි පමණක් නොව ගෝලීය දකුණේ ද “ඉහළම සියයට එකෙහි” තත්වය පිළිබඳ ආඛ්‍යානය වඩාත් තියුණු වී ඇත. ධනය සහ බලපෑම ස්වල්ප දෙනෙකුගේ අතේ සංකේන්ද්‍රණය වී ඇති අතර, මධ්‍යම පන්තිය පීඩනයකට ද, දුප්පතුන් අවදානමට ද ලක්ව ඇත. වරප්‍රසාද සහ දූෂණය හෙළිදරව් කරන සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණයන් මෙම අසමානතාව විශාලනය කරමින්, ධ්‍රැවීකරණය වැඩි කරයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ක්රමානුකූල වෙනසක් සිදුවනතුරු බලා සිටීමට එතරම් කැමැත්තක් නොමැති තරුණ ජනගහනය අතර නොඉවසිලිමත්කම වර්ධනය වීමයි.
දකුණු ආසියාව මෙම ප්රවණතා විචිත්‍රවත් ලෙස පිළිබිඹු කරන කැඩපතකි. 2022දී ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදයන් හුදෙක් මූල්‍ය කළමනාකරණයට පමණක් අදාළ කාරණයක් නොවේ. පාලකයින් සහ පාලිතයන් අතර විශ්වාසය බිඳ වැටීම ද එයට හේතු විය. බංග්ලාදේශය දේශපාලන ධ්‍රැවීකරණය සමඟ පොරබදමින් සිටින අතර නේපාලයේ වීදිවල රැව් පිළිරැව් දෙන්නේ මහජන අතෘප්තියයි. ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අස්ථාවරත්වයේ පතුලටම කිඳී ඇත. මාලදිවයින සහ භූතානය වැනි කුඩා රාජ්‍යයන් පවා ගැටලුවලට මුහුණ දී සිටියි.
එබැවින්, කලාපයේ නැගිටීම් යනු හුදකලා සිදුවීම් නොවේ. ඒවා ගැඹුරු ව්‍යාකූලත්වයක සංඥාවන් වේ. රාජ්‍යයන්ගේ පැවැත්මෙහි යුක්තියුක්තභාවය බිඳදමන, ස්ථාවරත්වය යටපත් කරන සහ අස්ථාවරත්වය පෝෂණය කරන අසමානතා උගුලක් එහි ඇත.
ඉන්දියාවේ පළමු ප්‍රතිචාරය
ඉන්දියාව මෙහිදී නිකම් බලා සිට නැත. අසල්වැසියාට පළමු තැන දෙන ප්‍රතිපත්තිය හරහා, අර්බුදකාරී අවස්ථාවන්හිදී නවදිල්ලිය තීරණාත්මකව ක්‍රියා කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටීම අද්දරට පැමිණි අවස්ථාවේදී, ඉන්දියාව ඩොලර් බිලියන හතරකට වඩා ආධාර ලබා දුන්නේය. අතිශය දුෂ්කර අවස්ථාවන්හිදී එවැනි උපකාර කරන්නන් අතිශය විරලය. භූතානය, නේපාලය සහ මාලදිවයින ද ඉන්දියාවේ සංවර්ධන ආධාරවලින්, යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් සහ ජනතාවගෙන් ජනතාවට ලබාදෙන දායක්තවයන්ගෙන් ප්රතිලාභ ලබා ඇත.
කෝවිඩ් අධිවසංගතය අතරතුර ඉන්දියාව එන්නත් මෛත්‍රී වැඩසටහන හරහා තීරණාත්මක සහයෝගයක් ලබා දුන් අතර, අසල්වැසි ප්‍රදේශවලට සහ ඉන් ඔබ්බට සැපයූ එන්නත් මගින් මිලියන ගණනක් ජීවිත බේරා ගත හැකි විය.
මෙම මැදිහත්වීම් හේතුවෙන් දකුණු ආසියාවේ අත්‍යවශ්‍ය සහකරු ලෙස ඉන්දියාවේ භූමිකාව ශක්තිමත් විය. ඒ අතරතුර එහි සීමාව ද සලකුණු විය. අර්බුද කළමනාකරණයෙන් පමණක් කල් පවතින ස්ථාවරත්වයක් සහතික කළ නොහැකිය. යටින් පවතින ආර්ථික හා සමාජීය පීඩනයන් වන අසමානතාව, තරුණයින් බැහැර කිරීම සහ බිඳෙනසුලු ආයතන පද්ධති සම්බන්ධ ගැටලු තවමත් විසඳී නොමැත.
අසල්වැසියන්ට ප්‍රමුඛතාව දීමේ වැඩසටහනේ දෙවන අදියර (Neighbourhood First 2.0)
අසල්වැසියන්ට ප්‍රමුඛතාව දීමේ ප්රතිපත්තියෙහි දෙවන අදියරකට කාලය එළැඹ තිබෙන්නේ මෙම සංදර්භය තුළය. කලාපයට අවශ්‍ය වන්නේ ඇවිළෙන ගිනි නිවාදැමීම පමණක් නොවේ. දිගුකාලීන ව්‍යූහාත්මක වෙනසක් අවශ්‍ය වේ. අභියෝගය ව්‍යුහාත්මක වන නිසා විසඳුම ද එසේම විය යුතුය.
ආසන්න වශයෙන් සියයට හතක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන ඉන්දියාව, මෙම ඊළඟ අදියර ග්‍රහණය කරගැනීමේ ශක්තියෙන් යුක්තය. එයට කලාපීය සමෘද්ධියේ දුම්රිය එන්ජිම බවට පත්විය හැකිය. ගැඹුරු ඒකාබද්ධතාව සහ බෙදාගත් අවස්ථා හරහා අසල්වැසියන් ඉදිරියට ඇදගෙන යා හැකිය.
අනෙකුත් බලවතුන් දොරටු වසා දමද්දී, ඉන්දියාවට තම දොරටු විවෘත කළ හැකිය. එක්සත් ජනපදය සහ ඇතැම් බටහිර රටවල් ආරක්ෂණවාදීන් බවට පරිවර්තනය වෙද්දී, තම අසල්වැසියන්ට වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමෙන් නායකත්වයේ ආදර්ශයක් ලබාදීමට ඉන්දියාවට හැකිය. වරණීය වෙළඳ රාමු, භාණ්ඩ හා සේවා සංචලනයේ පහසුව සහ කලාපීය සැපයුම් දාමයන් කුඩා ආර්ථිකයන් ස්ථාවර කිරීමට උපකාරී වේ. එසේම, ඒවා ඉන්දියානු කර්මාන්තයන්ට නව ගැඹුරක් ලබා දීමට ද ඉවහල් වේ.
අසල්වැසියන්ට පළමු තැන දීමේ ප්‍රතිපත්තියේ දෙවෙනි අදියර කුමක් විය හැකිද?
කලාපීය සම්බන්ධතාව: දකුණු ආසියාව තනි ආර්ථික පරිසර පද්ධතියකට සම්බන්ධ කරන වරාය, ගුවන්තොටුපළ, මහාමාර්ග සහ දුම්රිය ජාලවල ආයෝජන මෙයට අයත් වේ. නවීකරණය කරන ලද දේශසීමා හරහා දුම්රිය සම්බන්ධතා මගින් පිරිවැය අඩු කිරීමටත්, වෙළඳපොළ පුළුල් කිරීමට සහ ජනතාව අතර සබඳතා වේගවත් කිරීමටත් හැකිය.
තරුණ කේන්ද්‍රීය වර්ධනය: දකුණු ආසියාවේ තරුණ ජනගහනයේ ශක්තිය ඵලදායී ව්‍යවසාය වෙත යොමු කරන කුසලතා සංවර්ධන වැඩසටහන්, කලාපීය රැකියා වේදිකා සහ ඩිජිටල් ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය කිරීම මෙයට අයත් වේ.
සියල්ලන් ඇතුළත් වෙළඳ සහ සැපයුම් දාම: විශාල සමාගම්වලට පමණක් නොව කුඩා ව්‍යාපාර, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් සහ ග්‍රාමීය නිෂ්පාදකයින්ට ද සහාය වන වෙළඳ රාමු, වර්ධනය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වන බව සහතික කරයි.
පොදු බලශක්ති ජාල: දේශසීමා හරහා විදුලි ජාල, ගෑස් නල මාර්ග, තෙල් සැපයුම් සහ බලශක්ති සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය කොරිඩෝ ආදිය මඟින් පිරිවැය අඩු කළ හැකිය. ඔරොත්තු දීමේ හැකියාව සහ අන්තර් රඳා පැවැත්ම ශක්තිමත් කළ හැකිය. සූර්ය, සුළං, හරිත හයිඩ්රජන් සහ ජල විදුලි බලශක්තිය සඳහා දැවැන්ත විභවයක් දකුණු ආසියාවේ ඇත. ඒකාබද්ධ ජාල හරහා මෙම සම්පත් සම්බන්ධ කිරීම පරිවර්තනීය විය හැකිය.
අත්‍යවශ්‍ය කාරණාවලදී පොදු ආරක්ෂාව: ආහාර, බලශක්තිය, දේශගුණය සහ සෞඛ්‍යය පිළිබඳ සහයෝගී යාන්ත්‍රණ සහ ඉක්මනින් අර්බුද බවට පත්විය හැකි අවදානම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අවශ්‍යය.
සියල්ලන් වඩාත් හොඳින් ඇතුළත් කරගන්නා ධනවාදයක්: ආර්ථික වර්ධනය සාධාරණත්වය සමඟ සමපාත කරන, නොසන්සුන්තාවට හේතු වූ ප්‍රභූ පැලැන්තිය විසින් මෙහෙයවනු ලබන පද්ධතිවලට වඩා විනිවිද පෙනෙන, සැමට සහභාගී සහ විය හැකි සහ අඩු සූරාකෑමක් සහිත ධනවාදයක ආදර්ශයක් ඉන්දියාවට නිර්මාණය කළ හැකිය.
බහු ධ්‍රැවීය සන්දර්භය
මේ සියල්ල දිග හැරෙන්නේ බිඳ වැටෙන පැරණි ලෝක පිළිවෙලක පසුබිමක් තුළය. බහු ධ්‍රැවීයතාව තවදුරටත් කල්පිතයක් නොව ජීවමාන යථාර්ථයකි. ගෝලීය බලය විසිරී ඇත. තරඟකාරිත්වය තියුණු වී තිබේ. කුඩා රාජ්‍යයන් නව අවිනිශ්චිතතාවන්ට නිරාවරණය වේ. මෙම පරිසරය තුළ, දකුණු ආසියාවට කැබලිවලට කැඩී හෝ විසන්ධි වී පැවතිය නොහැකිය.
මෙම බහු ධ්‍රැවීය ලෝකය නිර්වචනය කිරීමට සමත් ක්ෂේත්රය වන්නේ ආර්ථිකයයි. වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීමට, සම්බන්ධතාව සහතික කිරීමට සහ වෙළඳපොළ විවෘත කිරීමට හැකි ජාතීන් විසින් අනාගත බලපෑම්වල සමතුලිතතාව හැඩගස්වනු ඇත. විශාලත්වය සහ වර්ධනය හේතුවෙන් භාණ්ඩ මිල දී ගැනීම, ආයෝජන බෙදා ගැනීම සහ අසල්වැසියන්ට විශාල අවස්ථාවන් වෙත ප්‍රවේශය ලබා දීම ඔස්සේ දකුණු ආසියාව සඳහා ප්‍රධාන වෙළඳපොළ බවට පත්වීමට ඉන්දියාවට හැකිය.
තවත් වැදගත් කාරණයක් වන්නේ, අසල්වැසියන්ට ප්‍රමුඛතාව දෙන දෙවන අදියරේ ප්‍රතිපත්තිය, ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා කොරිඩෝවේ (IMEC) ඉන්දියාවේ සහභාගීත්වය සමග ඓන්ද්‍රීයව සම්බන්ධ කළ හැකි වීමයි. වෙළඳාම, සම්බන්ධතාව, දුම්රිය, බලශක්තිය සහ ඩිජිටල් ඒකාබද්ධතාව හරහා දකුණු ආසියාව එකට බැඳීමට ඉන්දියාව සමත් වුවහොත්, මෙම කලාපය තවදුරටත් පරිධියක් ලෙස නොපවතිනු ඇත. එය මැදපෙරදිග හරහා ඉන්දියානු සාගරය සහ යුරෝපය අතර පාලමක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින සඳහා, මෙමගින් ඉන්දියාවට පමණක් නොව, 21 වන සියවසේ වඩාත්ම අභිලාෂකාමී සම්බන්ධතා රාමුවකට ද ඇතුළු වීමට අවස්ථාව උදා වේ.
නේපාලයේ, ඉන්දුනීසියාවේ, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ නැගිටීම් අභව්‍ය සිදුවීම් නොව අනතුරු ඇඟවීම් ලෙස සැලකිය යුතුය. අසමානතාව උග්‍ර වූ විට, අවස්ථා ඇණහිට ඇති විට සහ විශ්වාසය බිඳ වැටුණු විට සිදුවන්නේ කුමක්ද යන්න එමගින් පෙන්නුම් කරයි. එසේම, ඒවා විසඳුම් වෙත ද අවධානය යොමු කරයි. එනම්, ස්ථාවරත්වයේ පදනම වන්නේ පොදු වර්ධනය බවයි.
අර්බුදකාරී අවස්ථාවන්හිදී තමන්ට ක්‍රියාත්මක විය හැකි බව ඉන්දියාව දැනටමත් ඔප්පු කර ඇත. දැන් එය ප්‍රතික්‍රියාශීලී මට්ටමේ සිට ක්‍රියාශීලී මට්ටම වෙත උසස් විය යුතුය. අවස්ථානුකූල මැදිහත්වීම්වල සිට පද්ධතිමය නායකත්වය දක්වා ගමන් කළ යුතුය. කලාපයේ ආර්ථික එන්ජිම ලෙස ක්‍රියා කරන ඉන්දියාවට අසල්වැසියන්ට ප්‍රමුඛතාව දෙන ප්‍රතිපත්තියේ දෙවන අදියර ඔස්සේ සමෘද්ධිය, ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ලබා දීමට උපකාර කළ හැකිය.
මෙය සාර්ථක වීමට නම්, ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හේතුවෙන් අසල්වැසියන්ට වඩාත් ආරක්ෂිතබවක් සහ අඩු බියක් ඇති කිරීම අවශ්‍ය වේ. ආර්ථිකයෙන් පමණක් කලාපීය සහයෝගීතාව පවත්වා ගත නොහැකිය. ඒ සඳහා විශ්වාසය, බැඳීම සහ සුවිසල් පොදු හේතුවක් හඳුනා ගැනීම අවශ්‍ය වේ. මෙය කියන තරම් පහසු කාරණයක් නොවන මුත්, ඒ සඳහා උත්සාහ කළ යුතුය. දකුණු ආසියාවේ වර්ධනයේ කතාව ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා කොරිඩෝව වැනි විශාල රාමු සමඟ සම්බන්ධ කිරීමෙන් සහ දුම්රිය, බලශක්තිය, වෙළඳාම සහ ඩිජිටල් ජාල ගොඩනැගීමෙන්, දිල්ලියට තම අසල්වැසියන් අතහැර නොදමන බව සහ ඒ වෙනුවට ඔවුන් පුළුල් පරිවර්තනයක හවුල්කරුවන් බවට පත්වන බව සහතික කළ හැකිය. පුළුල් ඉන්දු-පැසිෆික් සන්දර්භය තුළ ඉන්දියාව විසින් ජපානය ද මෙම මුලපිරීම සම්බන්ධ විභව හවුල්කරුවෙකු ලෙස සැලකිය යුතුය.
ඉන්දියාව සාර්ථක වුවහොත්, එය තම අසල්වැසි ප්‍රදේශය සුරක්ෂිත කරනවා පමණක් නොව, බහු ධ්‍රැවීය ලෝකයක නායකත්වය කෙබඳුද යන්න නිර්වචනය කිරීමට ද සමත් වනු ඇත.
ලේඛකයා ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ චින්තන පර්ෂදයක් වන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයෙකු වේ.