– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

විහාරමහාදේවි උද්‍යානයේදී සිය හැට්ටය අස්සට ලිපියක් දැමීමේ සිදුවීම පිළිබඳ කාන්තාවකගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති සරාගිකකරණය වූ (sexualized) උපහාසය, වත්මන් දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීවාදී කතිකාව මුහුණ දී ඇති දෘෂ්ටිවාදී අර්බුදය මනාව නිරූපණය කරයි. උපුල් ශාන්ත සන්නස්ගල වැනි ප්‍රසිද්ධ චරිත සහ ආණ්ඩු හිතවාදීන් විසින් කාන්තාවකගේ දේශපාලනික ප්‍රකාශනයක් ඇයගේ ශරීරය කේන්ද්‍ර කර ගනිමින් අවතක්සේරුවට ලක් කිරීම, ලාංකීය සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පීතෘමූලිකත්වයේ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ (GBV) පැහැදිලි මනෝවිද්‍යාත්මක ප්‍රකාශනයකි.

මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ප්‍රගතිශීලී යැයි සම්මත පාර්ශ්ව දක්වන දැඩි නිහඬතාවයි. සමාජ මානව විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් (මෙය මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ සේවා, රාජ්‍ය මැදිහත් වීම සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳව ලියැවුණකි) සහ අතීත ශාස්ත්‍රීය මැදිහත් වීම් හරහා ස්ත්‍රීවාදී සහ මානව අයිතිවාසිකම් කතිකාව නියෝජනය කළ ද, වත්මන් බල දේශපාලනය තුළ එම හඬ යටපත් වී ඇත.

ඉස්සර නම් මෙවැනි අවස්ථාවලදී කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන දේශනා කරන රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් ක්‍රියාකාරිනියන් සමාජයේ සිටියහ.

ජවිපෙ බලයට පැමිණීමෙන් පසු නිර්මාණය වී ඇති මෙම නිහඬතාව පහත දැක්වෙන ශාස්ත්‍රීය මාන ඔස්සේ විග්‍රහ කළ හැකිය:

දේශපාලනික දෘෂ්ටිවාදයේ අවස්ථාවාදය

බලයට පැමිණීමට පෙර කාන්තා අයිතීන් සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගොඩනැඟූ ප්‍රබල කතිකාව, රාජ්‍ය බලය හිමි වීමෙන් පසු ආණ්ඩු හිතවාදීන්ගේ හැසිරීම් හමුවේ නො දැක්කා සේ සිටින තත්ත්වයකට පත්ව තිබේ. මෙය දේශපාලන න්‍යාය තුළ ‘දෘෂ්ටිවාදී අනුගත වීමක්’ (Ideological Conformity) ලෙස හැඳින්විය හැකි අතර, ප්‍රතිපත්තිවලට වඩා බලය ආරක්ෂා කර ගැනීමේ උත්සාහය මෙයින් ගම්‍ය වේ.

ස්ත්‍රීවාදී කතිකාවේ ආන්තිකකරණය

තම දේශපාලන කඳවුරට විරුද්ධ මත දරන කාන්තාවන්ගේ ශරීරය සහ ලිංගිකත්වය උපහාසයට ලක් කිරීම නූතන දේශපාලන මර්දන අවියක් ලෙස භාවිත වුව ද, ඊට එරෙහිව රාජ්‍ය මට්ටමේ බුද්ධිමය මැදිහත් වීමක් සිදු නො වීම හරහා අතීතයේ ගොඩනැඟූ GBV විරෝධී කතිකාව හුදු දේශපාලන සටන් පාඨයක් පමණක්ව පැවති බව තහවුරු කරයි.

ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයට අනුබල දීම

කලාකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් විරුද්ධවාදීන් නිහඬ කිරීමට ලිංගිකත්වය උපහාසයක් ලෙස යොදා ගැනීම පීතෘමූලික සමාජයක සම්භාව්‍ය ලක්ෂණයකි. එහෙත් බලයේ සිටින න්‍යායාචාර්යවරුන් සහ ස්ත්‍රීවාදීන් ඊට එරෙහිව හඬ නො නැඟීමෙන් පෙන්නුම් කරන්නේ, දේශපාලන පක්ෂපාතීත්වය හමුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නය සහමුලින්ම දිය කර හැර ඇති ආකාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *