අජිත් පැරකුම් ජයසිංහ

මා දන්නා පරිදි, ටිල්වින් සිල්වා යනු ජවිපෙ නායකත්වයේ සිටින දැඩි ගතානුගතිකවාදී, Hands-on rather than theoretical පුද්ගලයෙකි. එය පරිවර්තනය කරන්නේ නැත. ඔබ අධ්‍යයනය කර තේරුම වටහා ගන්න.

1984දී මා ජවිපෙ සමග සම්බන්ධ වී, 1985දී පූර්ණකාලිකයකු බවට පත් වන විට, මා තරුණ, අති ධාවනකාරී, මනෝරාජික කොමියුනිස්ට්වාදියෙකි. 1987දී රටේ ඇති වූ තත්වයන් මා විග්‍රහ කරගත්තේ සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ජාතිවාදය උපායමාර්ගයක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ හැකි අවස්ථාවක් ලෙසයි. ජවිපෙ දෙමළ විරෝධී ජාතිවාදය අවසානයේදී රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට පත් වී මරණයට පත් වූයේ නිකම් නොවේ. අපේ පරම්පරාවේ අවංකම, නොමේරූ සිංහල තරුණ පරම්පරාවක් ද බිලි ගනිමින්, සම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයට ද සැලකිය යුතු විනාශයක් අත් කර දෙමිනි.

ටිල්වින් සිල්වා ද එහි ගොදුරක් වූ අතර වාද්දුව හමුදා කඳවුරට පහර දීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වී සිර දඬුවම් විඳීමට ඔහුට සිදු විය. ඔහු එම වකවානුව වන විට දිස්ත්‍රික් නායක මට්ටමට ආසන්න වෙමින් සිටියේය. මර්දනය කාලේ ඔහු එළියේ සිටියා නම්, ඔහු ද අනිවාර්යයෙන් පුරප්පාඩු පුරවමින් දේශපාලන මණ්ඩලය දක්වාම යා හැකිව තිබුණු අයෙකි.

ජවිපෙ 2004 වන විට ද නැවත වරක් ජාතිවාදයේ ගිලී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ අරගලය පොඩි පට්ටම් කර දැමීමට රාජපක්ෂ නායකත්වයට අවස්ථාව ලැබුණු අතර, සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි නායකත්වයෙන් යුත් රාජ්‍යය වඩා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ප්‍රතිසංස්කරණය කිරීමේ සම්මුතියකට පැමිණීමේ අවස්ථාව තව දශක ගණනාවකට කල් ගියේය.

ජවිපෙ ඉතිහාසයක් මුළුල්ලේ රැඟූ භූමිකාව මතභේදාත්මකය. 1989 කැරැල්ලේදී ඔවුන් ඉන්දියාවට, දෙමළ අරගලයට විරුද්ධ වූයේ අවංකවමද? එසේ නම්, සෝමවංශ අමරසිංහට ඉන්දියාව හරහා යුරෝපයට පළා යාමට අවස්ථාව ලැබුණේ කෙසේද? 2005න් පසු ඔවුන් යුද්ධයට සහයෝගය දුන්නේ අවංකවමද? එසේ නම්, ඔවුන් යුද්ධයේ වගකීම් භාර නොගෙන ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඇයි?

මේ වන විට ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද?

මෙය අප පමණක් නොව, ජවිපෙ නායකත්වය පවා පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකි. ජවිපෙ යනු කිසිදු අයුරකින් පැහැදිලිව විග්‍රහ කළ නොහැකි අද්භූත බලවේගයකි. එහෙත්, එය ලංකාවේ සමාජයේ සියවසක සිට ස්ථාපිත නොගැඹුරු වාම මතවාදයක හා කුහක ජීවන විලාසයක ඍජු ප්‍රකාශනය නිසා එය දිගු කල් පැවතීම නිසැකය.

මට තිබෙන්නේ එකම එක ප්‍රශ්නයක් පමණි. 1987-90 සමයේ මා දන්නා අවංක මිතුරන් ගණනාවක් ජවිපෙ ඊනියා ඉන්දීය හා දෙමළ විරෝධය වෙනුවෙන් ජීවිතය දුන්හ. වධහිංසනයට ලක් වූහ. ඒකත් කමක් නැත. ඒ ජවිපෙ යනු ඇත්තටම සමාජවාදය වෙනුවෙන් ජාතිවාදයට නාස්ලණු දමාගත් පක්ෂයක් නම්ය. එහෙත්, ඇත්තටම සිදු වී ඇත්තේ ජවිපෙට දැමූ නාස්ලණුව කලින් කලට එක එක අතට යාමද? සමාජවාදය අදාළද? ජවිපෙ යනු කුමක්ද?

මේ වන විට මා දේශපාලනිකව සිටින්නේ ඉන්දු-ලංකා සහසන්ධීය රාජ්‍යයක් ප්‍රවර්ධනය කළ යුතුය කියන මතයේය. ලංකාව දේශපාලනික වශයෙන් තවදුරටත් ලෝකයට වැදගත් වන්නේ ඉන්දියාවත් සමග ඈඳා බැලීමෙනි. එයට ඉංග්‍රීසි බසින් hyphenation යයි කියනු ලැබේ.

එහෙත්, එමගින් ලංකාව හා විශේෂයෙන් සිංහල ජාතිය තම අනන්‍යතාව දිය කර දැමිය යුතු නැත. ඒ වෙනුවට එය වඩ වඩාත් ශක්තිමත් කරගත යුතුය. ඉන්දියාවේ නැගීමත් සමග ලංකාවට වඩ වඩාත් ශක්තිමත් සිංහල-බෞද්ධ ආධිපත්‍යයෙන් යුත් ආණ්ඩුවක් අවශ්‍ය වේ. එහෙත්, එය ගමන් කළ යුත්තේ ඉන්දියාව සමගය. මෙය අතිශය සියුම් දේශපාලන කලාවකි.

ජවිපෙ වැනි අද්භූත බලවේගයකට අනුර එවැනි නායකත්වයකට හැඩගැස්විය නොහැකිය. එක්කෝ අනුර ජවිපෙන් ගැලවිය යුතුය. ජවිපෙන් ගැලවුණත්, ඒ මනෝභාවයෙන් ගැලවීම පහසු නැති බව එයින් ගැලවීම සඳහා සුවිසල් කැපකිරීම් කරන්නට සිදු වූ, අවසානයේදී පිටස්තරයකු බවටම පත් වී සිටින මගේ අත්දැකීමයි.

නැතිනම්, අප වෙනත් නායකත්වයක් සොයාගත යුතුය. රනිල් මේ වන විට ආයුමය වශයෙන් කල් ඉකුත් වෙමින් තිබෙන නිසා, අලුත් නායකත්වයක් නිර්මාණය කරගත යුතුය. ඉන්දියාවේ ඊළඟ නායකයා වන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේ ජයිශංකර්ය. අපට ඔහුට අලගු තියන්නට තරම් හෝ සමත් බුද්ධිමතකු අවශ්‍යය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *