(ආචාර්ය රාජා දි සිල්වා මහතාගේ මේ ඡායාරූපය උවිඳු කුරකුලසූරියගේ ෆේස්බුක් පිටුවෙනි. විනාශ කළ සීගිරි බිතුසිතුවම් ඡායාරූපය the leader.lk වෙබ් අඩවියෙනි.)
වයස 101 ක් ජීවත් වී අද මිය ගිය හිටපු පුරාවිදු කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මිට වසර 59කට පෙර ගැටවරයන් වූ අප අතර නිතර නම කියැවූනු වීරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. අනෙක් වීරයාගේ නම ඉතාලි ජාතික රසායන විද්‍යාඥයෙකු වූ ආචාර්ය ලුසියානෝ මාර්න්සි යි. ඔවුන් දෙපොළ එකතු වි කළ වික්‍රමය නො වන්නට සුප්‍රකට සීගිරි ළඳුන්ගෙන් වැඩි දෙනෙක් අනාගත පරපුරට සදහට ම අහිමි වි යාමට ඉඩ තිබුණි. එදා ඒ සිදුවීම නො දත් බොහෝ අයගේ දැන ගැනීම සඳහා සැකෙවින් හෝ ඒ පිළිබඳ මෙසේ සටහනක් තැබීම අපෙන් වියෝ වූ ඒ වයෝවෘද්ධ වෘත්තිකයා වෙනුවෙන් කළ යුතු උපහාරයකි.
1967 ඔක්තෝබර් 14 වැනිදා රාත්‍රියේ, කිසිවෙකු නො සිතූ අන්දමේ ම්ලේච්ඡ ප්‍රහාරයක් සීගිරි සිතුවම් ගුහාවට එල්ල විය.

එදින රාත්‍රියේ හොර රහසේ සිතුවම් ගුහාවට ඇතුළු වූ පිරිසක් (ජනප්‍රිය මතය අනුව උමතු පුද්ගලයෙකු ලෙස පැවසුවද, එය සංවිධානාත්මක අපරාධයක් බවටද සැක පවතී) සීගිරි සිතුවම් 19කින් 14කටම අපරාධකාරී ලෙස දැඩි හානි සිදු කර තිබුණි. සිතුවම් මත තද කොළ පැහැති සායම් (Green Enamel Paint) ආලේප කර තිබුණු අතර තියුණු ආයුධවලින් ඇන සිතුවම් පහුරුගා තිබුණි, එක් සුන්දර ලලනාවකගේ හිස කොටස සම්පූර්ණයෙන්ම කපා ඉවත් කර තිබුණි.
පසුදා උදෑසන සීගිරියට පැමිණි නිලධාරීන්ට දැකගත හැකි වූයේ විනාශ වී ගිය ජාතික උරුමයයි. මුළු රටම කම්පාවට පත් විය.
විනාශ කළ සිතුවම් නැවත යථා තත්ත්වයට පත් කිරීම ලෝක මට්ටමේ අභියෝගයක් විය. ඒ සඳහා යුනෙස්කෝ (UNESCO) ආයතනයේ සහය ඇතිව ඉතාලි ජාතික විශේෂඥ ලුසියානෝ මාර්න්සි (Luciano Maranzi)ලංකාවට පැමිණියේ ය. එහිදී මාර්න්සිට ශක්තියක් වෙමින්, මෙම මුළු මෙහෙයුමේ ම ශ්‍රී ලාංකේය නියමුවා ලෙස කටයුතු කළේ එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා ව සිටි ආචාර්ය රාජා ද සිල්වා යි.
1967 වසරේ සිදු වූ මිලේච්ඡ විනාශයෙන් පසු සීගිරි සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීම හුදෙක් කලාත්මක උත්සාහයක් පමණක් නොව, අතිශය සංකීර්ණ විද්‍යාත්මක හා රසායනික මෙහෙයුමක් විය. මෙම පස්වන සියවසේ ලෝක උරුමයේ පැවැත්ම තීරණය වූයේ, ඒ යටින් ඇති පැරණි ස්වාභාවික වර්ණකවලට හානි නොවන සේ මතුපිට තැවරුණු නවීන කාර්මික සායම් ඉවත් කිරීමේ සාර්ථකත්වය මතය.
විනාශකාරීන් විසින් භාවිතා කර තිබුණේ තදින් ඇලෙන සුළු, කාර්මික “කොළ පැහැති එනමල් සායම්” (Green enamel paint) වර්ගයකි. ආචාර්ය රාජා ද සිල්වා පෙන්වා දුන් පරිදි සීගිරි සිතුවම් ‘Fresco-secco’ (වියළි බදාමය මත සායම් ආලේප කිරීමේ) ක්‍රමයට නිමවා ඇති බැවින්, සාම්ප්‍රදායික රසායනික ද්‍රාවක භාවිතා කළ හොත් පැරණි සිතුවම් දියවී යාමේ දැඩි අවදානමක් පැවතුණි.
ලුසියානෝ මාර්න්සි සහ ආචාර්ය රාජා ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ, ‘Decapex’ නම් විශේෂිත රසායනිකය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලදී. ජෙලි වර්ගයක ස්වරූපයෙන් පැවති බැවින්, ඩිකැපෙක්ස් රසායනයට සිදුරු සහිත පැරණි බදාමයට අධික ලෙස උරා ගැනීම පාලනය කිරීමට හැකි විය. ඒ නිසා පැරණි වර්ණ විසරණය වීම (bleeding) වළක්වමින්, මතුපිට තිබූ කොළ සායම් තට්ටුව පමණක් මෘදු කර ස්ථරයෙන් ස්ථරය ඉවත් කිරීමට මඟ පෑදුණි.
කොළ සායම් තට්ටුව ඉවත් කළ පසු ඉතිරි වූ සුළු සලකුණු සහ රසායනික කොටස් පිරිසිදු කිරීම සඳහා trilene (trichloroethylene) නම් ද්‍රාවකය භාවිතා කෙරිණි. මෙමඟින් සිතුවම්වල මුල් පැහැයට හානියක් නොවී මතුපිට පවිත්‍ර කිරීම සහතික කිරීමට හැකි විය.
තියුණු ආයුධවලින් හාරා සිතුවම් බදාමයට කර තිබූ හානි පිළිසකර කිරීම සඳහා Chemifix (polyvinyl acetate) නම් රසායනිකය යොදා ගන්නා ලදී. මෙම රසායනිකය වැලි සහ හුණු සමග නිවැරදි අනුපාතයට මිශ්‍ර කර, මුල් බදාමයේ ඝනත්වයට හා ස්වරූපයට ගැළපෙන සේ සකස් කරන ලදී. මේ මගින් කාශ්‍යප යුගයේ ඉදිකර තිබූ බදාමයට අපරාධකරුවන් කළ හානිදායක සීරීම් සුවපත් කර, තෙතමනය ඇතුළුවීම වළක්වා සිතුවම් තවදුරටත් ගැලවී යාම නතර කෙරිණි.
ලුසියානෝ මාර්න්සි සිතුවම් ප්‍රතිසංස්කරණයේ තාක්ෂණික ශිල්පීය කටයුතු වල නිරත වන විට, ඒ සඳහා අවශ්‍ය රසායනික විශ්ලේෂණය සැපයූවේ ආචාර්ය රාජා ද සිල්වා යි. සීගිරි සිතුවම්වල රසායනික සංයුතිය පිළිබඳ ඔහු සතුව තිබූ හසළ දැනුම නොවන්නට, මෙම ප්‍රතිසංස්කරණය සාර්ථක වීමට ඉඩක් නොතිබුණි. තියුණු ආයුධවලින් සීරී තිබූ කොටස් සහ කැඩී ගිය බදාම කොටස් නැවත සැකසීමට අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය සහ රසායනික මිශ්‍රණ සැකසීමේ දී ආචාර්ය රාජා සිල්වාගේ භූමිකාව තීරණාත්මක විය.
මාස ගණනාවක වෙහෙසකර මෙහෙයුමකින් පසු, 1968 මැයි 8 වැනිදා සීගිරි සිතුවම් නැවත මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘත කිරීමට ඔවුන් දෙපොළ සමත් විය.
ආචාර්ය රාජා ද සිල්වා යනු හුදෙක් නිලධාරියෙකු පමණක් නොවේ. ඔහු සීගිරිය ගැන “Sigiriya: Using the Evidence” වැනි වටිනා ග්රන්ථ රචනා කළ, සීගිරි සිතුවම් ‘Fresco-secco’ ක්‍රමයට ඇඳ ඇති බව විද්‍යාත්මකව තහවුරු කළ විද්වතෙකි.
අද දින අපෙන් සමුගත්තද, සීගිරි ගල මත තවමත් මදහස පාන ඒ සුරූපී රන්වන් නිල්වන් ලලනාවන්ගේ සෑම වර්ණ රේඛාවක ම ආචාර්ය රාජා ද සිල්වා යන නාමය නො මැකී පවතිනු ඇත. @highlight











