L.K. Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

ඔහු අවසන් ගමන ගියේ නොවැම්බර් 13දාය. පාංසකූලය දෙන්නට පැයකට පමණ පෙර භූමිය සෝදා හරින මහා වැස්සක් ඇද හැලිණි. ඉන් පසු වැස්ස මුළුමනින්ම නතර වූ අතර, මිදුල තෙතබරිත වී තිබුණු හෙයින් අප පාංසකූලය දුන්නේ නිවස ඇතුළේමය.

ඒ මහා වැස්සෙන් දොවා හැරුණේ මගේ ජීවිතයේ හැට වසක වර්තමානයකි. එය දැන් අතීතයක පරිච්ඡේදයකි. තාත්තා නොමැති ලෝකයක එතැන් සිට මම ජීවත් වෙමි. මාත්, ඔහුත් අතර පැවති ආදර බැඳීම හා ගැටුම් ගැන නැවත හඬනඟා සිහිපත් කරන්නට මට සිතිණි.

තාත්තාගෙන් මටත්, සහෝදර සහෝදරියන් හැම දෙනාටමත් පාහේ ලැබී ඇති ලොකුම දෙය වන්නේ අව්‍යාජත්වයයි. ඔහු මෙන්ම අප ද විටෙක හොඳ ද, විටෙක නරක ද සහිත සාමාන්‍ය මිනිසුන් ලෙස සැබෑ මුහුණෙන් ලොවට පෙනී සිටින්නෙමු. අපට වෙස්මුහුණු නැත. ඒ නිසාම, අපට ජීවිතය අමාරුවෙන් නඩත්තු කළ යුතු දෙයක් වී නැත.

වාමාංශික අදහස් හා කැරැලිකාර දේශපාලනය සමග සම්බන්ධ වන්නට මා පොළඹවන්නට ඇත්තේ තාත්තාගේ සමසමාජ අදහස්ය. ගුරුවරයකු ලෙස ඔහු පවුල තුළ ගෙන ගිය දැඩි පාලනයට එරෙහිව මා ගැසූ කැරැලි ද මා කැරැලිකරුවකු බවට පත් කරන්නට පන්නරය දෙන්නට ඇත.

ඔහු සිංහල ජාතික ඇඳුම අඳින, දැඩි දෘෂ්ටිවාදියකු නොවන, ගැමි, සිංහල පුහුණු ගුරුවරයෙකි. ගුරුවරයකු ලෙස උසස් වන්නට හෝ ආර්ථිකය ගොඩනගාගන්නට හෝ දැඩි උන්නතිකාමයකින් කටයුතු කරන්නට ඔහුට අවශ්‍යතාවක් තිබුණේ නැත. ඔහු සාමාන්‍ය ජීවිතයකින් සැනසුණේය. සමාජ සේවය ද දේශපාලනය ද කළේය. අපෙන් පවා, ඉරහඳ අල්ලනු ඇතැයි අපේක්ෂා කළේ නැත. එහෙත්, අප යම් සමාජ තත්වයකින් ජීවත් වනු දකින්නට ඔහුට හැමවිටම ඕනෑ විය. ඔහුට පුරසාරම් කිව නොහැකි තත්වයක අප ජීවත් වීම ඔහුගේ අමනාපයට හේතු විය.

මා 1989 කැරැල්ලට සහභාගී වූයේ බලය පිළිබඳ දැඩි උන්නතිකාමයකිනි. සම්මතයට පිටින් ගොස්, බලය අල්ලාගෙන ලංකාව සමාජවාදී උතුරුකුරුවක් බවට පත්කිරීමේ මනෝරාජික බොළඳ අදහසක් වෙනුවෙන් මම එවකට තහනම් පක්ෂයක් වූ ජවිපෙ සමග සම්බන්ධ වුණෙමි. මා ජවිපෙ පන්තිවලට සහභාගී වූයේ මහත් අමාරුවෙන් සම්බන්ධකම් ගොඩනගාගෙනය. ඒ වන විටත් බදුල්ල පැත්තේ සිටි කපිල දෙනගම මගේ සමීපම මිතුරාගේ පාසල් පන්ති සගයකු විය. ඔහු හරහා වක්‍ර මාර්ගයකින් මට පක්ෂය සමග සබඳතා ගොඩනැගිණි. ඒ වන විට මතුගම ආසනයේ හරිහමන් කමිටුවක්වත් තිබුණේ නැත. මාත්, නෑබඩ වික්‍රමත්, පසුව හමුදාවට ගිය කන්දෙ සුනිලුත්, පක්ෂයේ පූර්ණකාලික ආසන සංවිධායකවරයාත් හැර ස්ථාවර සාමාජිකයන් කිසිවෙකු 1984, 85 සමයේ මා එම කමිටුවේ සිටි සමයේ සිටියේ නැත.

පන්ති පහ කිරීමෙන් පසු, යට්ටපාත පැවති අධ්‍යාපන කඳවුරකට මම සම්බන්ධ වුණෙමි. දින සතක් අවසානයේ එය විසුරුවා හැරීමට පැමිණි සුසිල් අයියා හෙවත් ටිල්වින් සිල්වා අප සියලුදෙනාට පූර්ණකාලීන වෘත්තීය විප්ලවවාදීන් වන්නට බල කළේය. මම එය ප්‍රතික්ෂේප කළෙමි. එම අධ්‍යාපන කඳවුරේ සිටි අය අතර හොරණ ලයනල් රණසිංහ ද විය.

ඒ වන විට මා මෝටර් යාන්ත්‍රික විද්‍යා ඉංජිනේරු ආධුනිකයකු ලෙස කොළඹ වෝකර් පුත්‍ර සමාගමේ පුහුණුව ලබමින් සිටියෙමි. පූර්ණකාලිකයකු නොවුණද, පුහුණුවට සහභාගී වීම අඩු කරමින් මම වැඩිපුර පක්ෂයේ වැඩවල යෙදුණෙමි. පක්ෂය මට වැඩ පැවරුවේ පුහුණුව කරගත නොහැකි වන අන්දමටය.

1985 අගදී පමණ මාත්, එවකට කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සිසුවකු වූ මනෝජ් ප්‍රේමකීර්තිත්, පක්ෂයේ නියෝගය අනුව බුලත්සිංහල, අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදන්නට ගියෙමු. එකල අතුර යනු කඩමණ්ඩියක් වැනි ස්ථානයකි. බසයෙන් ගිය අප ආපසු පැමිණිය යුතු වූයේ ද බසයෙනි. මා පත්‍රිකා බෙදාගෙන යන අතර මා පසුපස හඹා ආ ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරිකයන් පිරිසක් මා අල්ලා පොලිසියට භාර දුන්හ. පොලිස් ස්ථානාධිපතිවරයා හරක් පයියෙන් ගසා මා පොලිස් කූඩුවට දමන ලද අතර, දින ගණනක් මම එහි සිටියමි. ජාතික බුද්ධි කාර්යාංශයෙන් පැමිණ මගේ කටඋත්තර, ඇඟිලි සලකුණු, ඡායාරූප ආදිය ගත්තේය. තාත්තලා මෙය දැන සිටියේ නැත. පක්ෂය මා අතහැර දමා තිබිණි. මට වූ දේ ගෙදරටවත් දන්වා තිබුණේ නැත. පක්ෂය එහෙම තමාය.

මා වැනි අයෙකු පොලිස් කූඩුවේ සිටින බව මුලින්ම දැනගෙන තිබුණේ අපේ මාමා කෙනෙකි. මාමා දැනගෙන තිබුණේ බැංකුවක වැඩ කළ ගමේ අයෙකුගෙනි. මාමා කොහෙන්දෝ පැමිණ, කූඩුවේ දොර ඉදිරිපිට යෝධයකු ලෙස සිටගෙන සිටිනු හැරී බැලූ මට හිටි හැටියේ පෙනිණි. ඒවා නියම බලු කූඩු ය. රඳවා සිටින අය මුත්‍රා කළේ කූඩුවේ මුල්ලක කාණුවකටය. එක් අයෙකුට නිදාගන්නට සිමෙන්ති පිලක් තිබිණි. මාමා සිටියේ බීමතිනි. ඔහු ‘මොනවද බං මේ කරගත්තේ?’ යි අසමින් හඬා වැටුණේය. එවකට මටග් වයස 20ටත් අඩුය.

පසු කලෙක, මා ගාල්ලේ වැඩ කරමින් සිටින අතර පක්ෂයේ ගමේ හෝ ප්‍රදේශයේ ක්‍රියාකාරිකයින් මාමාට වෙඩි තබා හන්දියේ දමා ගොස් තිබිණි. මාමා මළේ ඉද්දගොඩ හන්දියේ විලාප තබමින් පැය ගණනක් ජීවිතය සමග සටන් කිරීමෙන් අනතුරුවය. බිය නිසා කිසිවකු ඔහු රෝහලට ගෙන ගියේ නැත. මා දැනටත් ජීවත් වනමුත්, ඒ ගම එවැනි තැනකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. ග්‍රාමසේවකවරයෙකි. මත්පැන් ලෝලියෙකි. වෙන වරදක් නොදනිමි.

කලින් කී සිද්ධියේදී, බුලත්සිංහල පොලිසිය මා හදිසි නීතිය යටතේ රැඳවුම් නියෝග ලබාගෙන බන්ධනාගාරගත කළ අතර, ඇප ලැබුණේ මාස තුනකට පසුවය. එම කාලය තුළ මා වෙනුවෙන් සියලු මැදිහත්වීම් කළේ, තාත්තා හා ඥාතීන් ය. පක්ෂය කළ දෙයක් නැත.

මා නිදහස්ව ආ හැටියේ පක්ෂය මා සම්බන්ධ කරගෙන මට පූර්ණකාලීනව එන්නට යයි කීවේය. මම එවර එකඟ වීමි. ඒ අනුව, මා කැඳවාගෙන යාමට පැමිණියේ ටිල්වින් සිල්වාය. මා ඔහු සමග පිටත්ව යන විට අපේ ගෙදර මළගෙදරක සිරිය ඉසිලුවේය. තාත්තා ටිල්වින් සිල්වා සමග කතා කළේවත් නැත. ඔහු මා සමග හොරණට ගොස් පක්ෂ කමිටුවට මා හඳුන්වා දුන්නේය. ඉන්පසු මම හොරණ ආසනයේ ද කලුතර දිස්ත්‍රික්කයේ ද ශිෂ්‍ය අංශය භාරව කටයුතු කළෙමි. තහනමෙන් පසු, කලුතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ පළමු පූර්ණකාලිකයා වූයේ මාය. පසුව, මම ද්විතීයක ශිෂ්‍ය අංශයේ ජාතික නායකයකු වූ කපිල දෙනගම හා කලුතර දිසා ලේකම් වූ ලියනගේ හෙවත් නන්දතිලක ගලප්පත්ති, සුසිල් හෙවත් ටිල්වින් සිල්වා, ජී. කුලරත්න හෙවත් සරත් වැනි අයගේ නායකත්වය යටතේ කටයුතු කළෙමි.

මහාචාර්ය නලින් ද සිල්වා, බෙංගමුවේ නාලක හිමි හා අතුරලියේ රතන හිමි සහභාගී වූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රසිද්ධ රැස්වීමක පෝස්ටර් අලවන්නට විද්‍යාරත්නයේ සිසුන් පිරිසක් සමග ගොස් සිටි මා සිසුන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය ඉතා අසාධාරණ ලෙස අපට රැඳවුම් නියෝග ගෙන දිගටම පොලිසියේ රඳවාගත් අතර, සම්පූර්ණයෙන්ම බොරු විස්තර කියා තිබුණු මම පොලිසියෙන් පළා ගියෙමි. අසු වුණොත් අතපය කඩනවාට බියෙන් මම සම්පූර්ණයෙන්ම නිවසෙන් පිට වුණෙමි. පක්ෂය මා යැව්වේ මාතලේ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයත්, නුවර කලාපයේ ද්විතීයක ශිෂ්‍ය අංශයත් භාරවය. ඒවා වෙනම කතා කළ යුතු පරිච්ඡේද වේ.

මට පක්ෂයෙන් දුන්නේ ඇලිකේවෙල නම් අපභ්‍රංස නමකි. මා ඒ වෙනුවට මාතලේ ක්‍රියාකාරිකයන්ට මා හඳුන්වා දුන්නේ ප්‍රියන්ත ලෙසය. මාතලේ වැඩ කළ සමය අතිශය දුෂ්කර සමයක් විය. පක්ෂය අන්තයටම පිරිහී තිබුණු අතර, ශිෂ්‍ය අංශයේ පූර්ණකාලිකයකුට පැවතීම අතිශය දුෂ්කර විය. කන්නට පමණක් නොව රෑ නිදාගන්නටවත් තැනක් නොතිබිණි. දැන් කයිවාරු ගහන මාතලේ බොහෝ අය අප ඔවුන්ගේ නිවසකට එනවාටවත් කැමති වූයේ නැත. උකුවෙල ජයන්ත එරමිණිගම, එම්සි පාරේ අබේ අයියා, පළාපත්වෙල පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කළ සහෝදර දෙපළ, නවරත්නගොඩ ගාමිනී හා තලගුලි හදපු අයියා නොසිටියා නම් මැරෙන්නේ බඩගින්නේය. මේ ඇතැම් අය දැන් ජීවතුන් අතර නැත.

සල්ලි කීයක් හෝ හම්බ වුණ වෙලාවට, මම හැකිතරම් බස්වල කෝච්චිවල හොරෙන් එමින් ගමට පැමිණියෙමි. අන්තිම බසයෙන් කලුතර සිට පැමිණ, රෑ පානේ හොරෙන් පයින් ගෙදර ආවෙමි. දවසක් දෙකක් හැංගී සිටියෙමි. නිදාගත්තේ මාරම්මුල්ලේ මාමාගේ ගෙදරය. ගෙදර එන්නේ තේ වත්ත දිගේය. ගෙදරට පොලිසිය , හමුදාව පැමිණ ඇද්දැයි දැනගැනීමට කන්ද උඩ සැඟවී බලා සිටීමෙන් පසුව පල්ලම බැස ගෙදර ආවෙමි. ඒ යන විට තාත්තා දුන් සුළු මුදලින් නැති බැරි වෙලාවට යන්තම් පණ ගැටගසා ගත්තෙමි. පුළුවන් තරම් පයින් ගියෙමි. අරුණාලෝකෙන් හොරෙන්ම බනිස් කෑවෙමි. ඇඟේ තිබුණේ ඇටෙයි හමයි පමණි.

තහනම් සංවිධානයක පත්‍රිකා බෙදුවේ යයි පවරන ලද මෙම නඩුව මා එළියකන්දේ සිටියදී දින නියමයක් නොමැතිව කල් දමන ලද අතර එය තවමත් එහෙමමය.

ඔය අතරවාරයේ නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව දැවැන්ත වැටලීමක් අපේ නිවසේ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, පක්ෂය මට උපදෙස් දුන්නේ උසාවි හෝ පොලිසියේ අත්සන් කිරීමට නොයන ලෙසය. මට වරෙන්තු විය. ඇපකරු ලෙස තාත්තා අධිකරණයට ඉදිරිපත් වී මා සොයාගත නොහැකි වූ බව කීවේය. තාත්තාට ද ඇප නියම කරන ලද අතර, මිය යන තෙක්ම තාත්තා සිටියේ ඇප පිටය.

1988දී මා තවත් වරක් පයාගල පොලිසියේ අත්අඩංගුවට පත් වූ අතර, පක්ෂයේ අයකු ලෙස හඳුනා නොගැනීම නිසාත්, තාත්තාගේ හා බාප්පාගේ මහන්සිය නිසාත්, අර පත්‍රිකා නඩුවටම යළි රිමාන්ඩ්ගත වී ඇප ලබා නිදහස් වුණෙමි. සති දෙකක පමණ කාලයකට සාමාන්‍ය සිරකරුවකු ලෙස සීආර්පී බන්ධනාගාරයට දමන ලද මා ප්‍රියන්ත ලියනගේ පැමිණ කැඳවාගෙන ගියේය. එම සති දෙක මා සිටියේ ටිල්වින් සිල්වා ඇතුළු වාද්දුව ප්‍රහාරයේ සැකකරුවන් සමග එක වාට්ටුවේය. එවර මට ඇප වන්නට ඇත්තේ මස්සිනාය. ඒ මස්සිනාගේ සහෝදරයන් දෙදෙනා පසු කලෙක පක්ෂය සමග සම්බන්ධව ඝාතනයට ලක්වූහ.

ඒ වන විට කලුතර දිස්ත්‍රික් කමිටුවේ දිසා ලේකම් ගාමිනී විජේගුණසේකර, ගාමිනී මුතුකුමාරණ වැනි අය සමග ක්‍රියාකාරීව සිටි කලාප ලේකම්වරයකු වූ මා එවර නම් උසාවියේ සිට ගෙදරටවත් නොගොස් පක්ෂයේ වැඩටම ගියෙමි. මා කලාප ලේකම් ලෙස වැඩ කළ අලුත්ගම කලාපයේම පයාගල පොලිසියට අසු වී, සති දෙකක් එහි ලැග, සති දෙකක් රිමාන්ඩ් වී සිටි නිදහස ලැබීම එසමයේ පහසුවෙන් කෙනෙකුට නොලැබෙන වාසනාවකි. බාප්පාගේ සම්බන්ධීකරණයෙන් කන්දෙ විහාරයේ නායක හිමි මෙන්ම, මා ගැන සැක තිබුණත්, මා උසාවියට ඉදිරිපත් කළ පයාගල පොලිසියේ ස්ථානාධිපති විල්සන් වික්‍රමරත්න හෙවත් බෝල සාජන්ට ද ඒ සම්බන්ධයෙන් ස්තුති කළ යුතුය.

1989දී මා අත්අඩංගුවට පත්වී බලාපොරොත්තු සුන්ව සිටි අවධියක එවකට එළියකන්ද භාර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ කපිතාන් දයා රත්නායක තාත්තා කැඳවා මා පෙන්වීය. එතැන් පටන් සතියක් ගානේ තාත්තාත්, අම්මාත්, හැම සෙනසුරාදාම මාතර සම්බන්ධීකරණ මූලස්ථානයට මා බැලීමට පැමිණියහ. ඇතැම් කාලවල ඔවුන්ට මා පෙන්වන ලදී. පෙන්වුවත්, නොපෙන්වුවත්, ඔවුන්ගේ පැමිණීම මගේ ජීවිතය බේරීමට හේතු විය. පැන යාමට අවස්ථා තිබුණමුත්, මා පැන නොගියේ එසේ කළා නම් හමුදාව අපේ පවුලෙන් පළිගන්නට ඉඩ තිබුනු

සින්ක්‍රොනිසිටි (ලිපියේ අග එය පිළිබඳ හැඳින්වීමක් ඇත) නම් සංකල්පයෙන් පමණක් මා තේරුම් ගන්නා ඓතිහාසික අහම්බයකින් මම එළියකන්දෙන් බේරී වීරවිල රැඳවුම් කඳවුරට පැනගත්තෙමි. ඒ පිළිබඳ විස්තර කේපොයින්ට් නවකතාවේ ලියා ඇත. කුමන හෝ බලවේගයකින් මා බේරුවේ මට කරන්නට යම් කාර්යයක් ඇති නිසා යයි මම සිතමි. ඒ වෙනුවෙන් මම අඩු තරමේ ලියන එකවත් කරමි.

තාත්තා මා වෙනුවෙන් හෙබයාස්කෝපුස් හා මානව හිමිකම් නඩුවලට සම්බන්ධ විය. පසු කලෙක මට එරෙහිව පවරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවලදී මා සමග මාතර උසාවියට ඉතා අවදානම් ගමනක් යාමට සිටි එකම පුද්ගලයා ඔහු විය. මා සිටියේ පොලිසිය මා පැහැරගෙන ගොස් මරා දමනු ඇතැයි බියෙනි. ඒවා ද වෙනම ලිවිය යුතු පරිච්ඡේද වේ.

තාත්තා මා අමාරුවේ වැටුණු අවස්ථාවේ මා වෙනුවෙන් කළ කී දේ මා ඔහුගෙන් අසා හෝ ඔහු මට කියා හෝ නැත. මට ඒවා අසන්නට ධෛර්යයක් තිබුණේ නැත. මා එළියකන්දේ සිටින විට වරක් ඔහු මා සොයාගෙන මිස ආපසු නොඑන්නෙමියි කියා ගෙදරින් ගිය බවක් අසා ඇත. මාතර නගරය පුරා ‘අපෙන් එකට තොපෙන් සීයයි’ ආදී පෝස්ටර් හමුදාව විසින් අලවා තිබුණු අඳුරු, බියකරු සැඳෑවක මාතර කොටුවේ හමුදා සම්බන්ධීකරණ මූලස්ථානයේදී මා ඔහුට පෙන්වන ලද්දේ එදා යයි මම සිතමි. අවංකව උපකාර කළ තාත්තා, ජයසිරි මාමා, කමල් අයියා වැනි අය කවදාවත් මේවාට කුල කියා නැත. එහෙත්, ඔවුන් නිසා එම උපකාරවලට අයිතිවාසිකම් කියන අය නම්, ඕකා ඉන්නේ අපි නිසා යයි දැනුත් කියති. උන් ගැන මං හිතන්නේ මෙහෙමය: දැන් මට යම් ජීවිතයක් තිබෙන නිසා උන් එදා මා අල්ලා දී මා අවසන් කිරීමට නොහැකි වීම ගැන දැන් පසුතැවෙන ඉරිසියාකාරයෝය.

අලුතෙන්ම මේ අතරට එකතු වී ඇති පිරිස වන්නේ කාබයිඩ් ගසා ජවිපෙට ඉදවාගත් කුරුවල් බයියෝය. ඉතිහාසයේ සියුම්කම ගැන අංශුමාත්‍රයක් නොදත් මේ මෝඩ ගැහැණු හා පිරිමි මා එළියකන්දෙන් බේරුණු ආකාරය ගැන ද කිසිදු පදනමක් නැති කුණු මඩ ගසති. එවැනි එවුන් ජීවිතයෙන්ම බැහැර කිරීම වඩා හොඳ ක්‍රියාමාර්ගයයි.

කැරැල්ලෙන් පසු හිරෙන් නිදහස් වී පැමිණි මා නැවත ජවිපෙ සමග සම්බන්ධ වූයේ නැත. මා පදවියේ ගුරු වෘත්තියේ නියැලෙමින් සිටියදී සුනිල් වටගල මට ටිල්වින් සිල්වා මුණගැස්වීමට දිනයක් යොදා සම්බන්ධීකරණය කළේය. මා එදින එතැනට ගියේ නැත. අද දක්වාම මට වටගල හෝ ටිල්වින් සිල්වා මුණගැසී නැත. එදා හමු වී දීර්ඝව සාකච්ඡා කළා නම්, ඇතැම්විට මා නැවත පක්ෂයට සම්බන්ධ වන්නටත් ඉඩ තිබිණි. එහෙත්, මා සිතන්නේ මෙසේය. මා වැඩ කරන්නේ කිසියම් නියෝගයකට අනුවය. සිදු වී ඇති සියලු දෙය ඒවා සිදුවිය හැකිව තිබුණු හොඳම ආකාරයයි. ජවිපෙ විසින් මා සිරගත කරන ලද ප්‍රචණ්ඩ මනෝභාවයේ උගුලෙන් මම සම්පූර්ණයෙන්ම නිදහස් වුණෙමි. ඒ ගැන සතුටු වෙමි.

තාත්තා, අම්මා හා මා නිසා දැඩි කරදරවලට ලක් වූ මගේ පවුලේ අය වෙනුවෙන් මම නැවත ජීවිතය ගොඩනගා ගත්තෙමි. අඳින්නට කලිසමක් නැතුව, මගේ මිතුරකුගෙන් ඉල්ලා ගත් කලිසමකින් සැරසී ආරම්භ කළ නිදහස් ජීවිතයේ මම බොහෝ දුර පැමිණියෙමි. භෞතික ජීවිතයේ බොහෝ දේ අත්පත් කරගත්තේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙනි. ඒ සඳහා මවිසින් ගොඩනගා ගන්නා ලද බහුවිධ කුසලතා මට උපකාරී විය.

ජවිපෙ සමග සම්බන්ධ නොවූවද දේශපාලනය මගේ ජීවිතයේ ප්‍රධානම සාධකයක් විය. තාත්තා නැවත ජවිපෙ හිතවතකු වී සිටි 2004 සමයේ මා සිටියේ හිරු කණ්ඩායම සමග සම්බන්ධවය. එවකට රටේ ප්‍රධානම දේශපාලන ගැටලුව වූ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කොටි සංවිධානයේ සටන් නායකත්වය සමග සම්මුතියක් ඔස්සේ බලය බෙදාගැනීමේ විසඳුමක් වෙනුවෙන් මම දැඩි අවදානමක් ගනිමින් පෙනී සිටියෙමි. ඒ සමග මුහුණ දෙන්නට සිදු වූ කරදරවලදී නම් තාත්තා බොහෝ දුරට මගෙන් ඈත් විය. ඒ වන විට මා විවාහ වී සිටීම හා දරු පවුලක් ගොඩනගා ගනිමින් සිටීමත්, අම්මාගේ බලපෑමත් එයට හේතු වන්නට ඇත. එසේම, අපට අවලාද නැගුණේ අප දෙමළ හිතවාදීන් ලෙස වීම ද එයට හේතු වන්නට ඇත. ඔහු අප ඥාති සමාජයේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි සිංහල ස්වෝත්තමවාදියෙකි.

ඒ කරදර අවසන් වී නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණි පසු ඔහු නැවතත් මා සමග සම්බන්ධ විය. ඔහු භෞතික සංවර්ධනය සඳහා මට කළ උපකාර අති දැවැන්තය. මා ගොඩනගාගෙන ඇති භෞතික ජීවිතයේ පදනම තාත්තා හා අම්මාය. වෘත්තීය ජීවිතයේදී උපකාර කළ මිතුරන් ද මට මෙහිදී සිහිපත් වේ.

2015 හා 2019 ජනාධිපතිවරණවලදී ඡන්දය දීමට ඔහු කැඳවාගෙන ගියේ මාය. ඒ දෙකේදීම ඔහුත් මාත් ඡන්දය දුන්නේ එකම අපේක්ෂකයාටය.

2024 වන විට ඔහුගේ සිහි කල්පනාව අඩු වී තිබිණි. සිහි කල්පනාව තිබුණා නම්, ඔහු බොහෝ විට රනිල් වික්‍රමසිංහට හෝ අනුර කුමාර දිසානායකට හෝ ඡන්දය දෙන්නට ඉඩ තිබුණා යයි මට සිතේ.

අවසාන කාලය වන විට, ඔහුට මා ගැන ද ආඩම්බරෙන් කතා කළ හැකි පරිදි මම ජීවත් වුණෙමි. ඒ වලේ වැටුණු මිනිහා වල කටෙන්ම ගොඩ ආ යුතු යයි සිතමින් ඒ වලේම සිටීමෙන් නොවේ. මම කල් ඇතුවම ඒ වලෙන් ගොඩ ආවෙමි. ඒ ගැන මම සතුටු වෙමි.

2015දී මම රාජපක්ෂවාදය පරාජය කිරීම සඳහා යහපාලනය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දේශපාලනය කළෙමි. 2022 අරගලයෙන් පසු, නැවත ශ්‍රී ලංකා ජනරජය ආරක්ෂා කරගැනීම සඳහා වූ දේශපාලන වැඩපිළිවෙලට සහාය පළ කළෙමි. 2024දී බලයට පැමිණි අනුර කුමාර දිසානායකගේ නායකත්වය විසින් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරමින් තිබෙන්නේ යහපාලන හා ජනරජය ආරක්ෂා කිරීමේ කාර්යභාරයන් දෙකය. ජවිපෙ එයට අනුගත වෙමින් ද, පිට පනිමින් ද සිටියි. මූලික වශයෙන් අප කළ විප්ලවවාදී දේශපාලනයට ජවිපෙ නායකත්වයේ ඇතැමෙකු පසුව හෝ අනුගත වී ඇත.

මට ජවිපෙ සමග ගැටලුව ඇත්තේ බලය පිළිබඳ කාරණයේදී පමණි. මම හැමදාමත් දේශපාලන ක්‍රියාකාරීත්වයට මුල්තැන දුන් ස්වාධීන ක්‍රියාකාරිකයෙකු බැවින් මම තවමත් දේශපාලනය කරමි. ජවිපෙ විසින් අප බැහැර කර තිබෙන නිසා අප අනිවාර්යයෙන් ස්ථානගත විය යුත්තේ විපක්ෂය වඩා හොඳ තත්වයකට පත්කිරීමේ දේශපාලනයකය. ජවිපෙට ද අප කරන විවේචනය කැමති නම් ගත හැකිය. බලය යනු ආගමක් නොවේ. ජවිපෙ දැන් බලය භුක්ති විඳින හෙයින් බලය අත්හැරීමට සිදු වන විට අත්හැරීමට පවා ජවිපෙ හැඩගැසිය යුතුය.

විපක්ෂයට ද, ජවිපෙට ද යන දෙකටම වඩා පිරිසිදු දේශපාලනයක මා නිරත වී ඇත. බලයම ජීවිතය කරගනිමින් දේශපාලනය කරනවා වෙනුවට බලපෑම වෙනුවෙන් මම ඉදිරියටත් දේශපාලනය කරමි. සමාජය වෙනස් කරන්නට නම්, අප මහජන මුදලින් යැපෙන දේශපාලකයන් වෙනුවට සමාජ ව්‍යවසායකයන් විය යුතුය. මම සමාජ ව්‍යවසායකත්වය අත්හදා බලන්නෙක්මි.

මේ සියල්ලක් වෙනුවෙන් මම මගේ පියා වන ලියනගේ කුලසේකර ජයසිංහ හිටපු පාඨශාලාචාර්ය, සාම විනිසුරු, සමාජ සේවකයාට ස්තුතිවන්ත වෙමි. මට විරුවකු වීමට කිසිදු උවමනාවක් නැත. 1989දී ඉල්මහ විරුවකු බවට පත් නොකර සාමාන්‍ය මිනිසකු ලෙස මා ඉතිරි කළ සින්ක්‍රොනිසිටියට මම ස්තුතිවන්ත වෙමි. මගේ පියා වැනි අය ඉල් මහේදී සිහිපත් කළ යුතු, එවකදී අපරිමිත පීඩනයක් දරාගෙන කැරැලිකාර පුතුන් වෙනුවෙන් සටන් කළ අයයි.

(සින්ක්‍රොනිසිටි (Synchronicity) යනු, මනෝවිද්‍යාඥ කාල් යුං (Carl Jung) විසින් හඳුන්වා දෙන ලද සංකල්පයක් වන අතර, එමගින් එකිනෙකට පැහැදිලි හේතු-ඵල සම්බන්ධයක් නොමැති, එහෙත් අත්විඳින පුද්ගලයාට ඉතා අර්ථවත් සහ වැදගත් යැයි හැඟෙන සිදුවීම් දෙකක් හෝ කිහිපයක් එකවර සිදුවීම විස්තර කෙරේ. මෙය හුදු අහම්බයක් ලෙස බැහැර කරනවා වෙනුවට, පුද්ගලයෙකුගේ අභ්‍යන්තර මානසික ලෝකය (සිතුවිලි, හැඟීම්) සහ බාහිර භෞතික ලෝකයේ සිදුවීමක් අතර ඇතිවන අහඹු එහෙත් අර්ථවත් ගැලපීමක් ලෙස සලකනු ලැබේ; උදාහරණයක් ලෙස, ඔබ යම් දුර්ලභ සතෙකු ගැන සිතමින් සිටින මොහොතේදීම, එම සතා පිළිබඳ වාර්තා චිත්‍රපටයක් රූපවාහිනියේ දිස්වීම වැනි සිදුවීමකි.)

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

4 Comments

  1. පැරා මේ ලිපිය මාව 88/89 කාලයට අරගෙන ගියා. ඒ කාලයේ කෙලින්ම යූඑන්පී දේශපාලනයට සම්බන්ධවී සිටි නිසා ඔබ කියන ඛේදවාචකය අනිත් පැත්තෙන් අත්වින්දා. අදටත් සතුටුවිය හැකි එකම දෙය මම සම්බන්ධ වූ ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරීන් ගැන දැනෙගෙන සිටියත් මම සම්බන්ධ කණ්ඩායම ඒ එක් කෙනෙක් වත් හමුදාවට අල්ලා දීමට ක්‍රියා කලේ නැහැ. ඒනිසා ඔවුන්ට අප කණ්ඩායම ගැන යම් පැහැදීමක් තිබුණා කියා මම විස්වාශ කලා. ඒත් මම සම්බන්ධවී සිටි දේශපාලකයා හදිස්සියෙම ජවිපෙ විසින් මරා දැම්මා. ඉන් පසුව මා දේශපාලනිකව ආශ්‍රය කල කීප දෙනෙක්ටත් ඒ ඉරණම අත්වුණා. ඒ අයගේ පවුල් වල අයත් නොවිඳිනා දුක් වින්දා. ජවිපෙ ක්‍රියාකාරීන් සහ අනිත් කඳවුරේ අය තම තමන්ගේ කඳවුරු වලට සම්බන්ධ වුනේ කැමැත්තෙන්මයි. නමුත් මගේ දෙමව්පියන් ඇතුළු දෙපැත්තේම අයගේ දෙමව්පියන් නාහෙට නාහන දරුවන් නිසා විඳි දුක් අපමණයි. සමහර දිනවල රෑ 4ට මම ගෙදර එනකන් මගේ දෙමව්පියන් කන්නෙත් නැහැ. අද දරුවන් සිටින මට අදමෙන් ජංගම දුරකථන නොතිබූ යුගයක අපි ගෙදර එනතෙක් ඇහින් දකින තෙක් දිනපතාම ඔවුන් විඳි දුක පැහැදිලිවම තේරෙනවා. ඔබගේ පියාට නිවන් සුව.

    1. Author

      ඔව්. ඔබ කියන දෙය මා පිළිගන්නවා. එය සමස්තයක් ලෙස අතිශය ප්‍රචණ්ඩ දේශපාලනයක් තිබුණු සමයක්.

  2. ඔබ අතුරුදහන් කාලයේ තාත්තත් අම්මත් මොනතරම් වේදනාවකින් සිටින්නට ඇත්දැයි මට කල්පනාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *