– අජිත් පැරකුම් ජයසිංහ,
ලංකා විදුලි බල මණ්ඩලය ජනනය, බෙදාහැරීම, පද්ධති පාලනය ආදී වශයෙන් කොටස් කීපයකට වෙන් කර ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව කරළියට පැමිණියේ 2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජය සමයේයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ ප්‍රතිව්‍යූහගතකරණයකට ලක්කිරීමේ වෙළඳපොළ ධනවාදී රිගේනිං ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක දැවැන්ත පරිවර්තනයකට, ධනේශ්වර විප්ලවයකට මුල පිරුණා.
ඒකෙ කොටසක් විදියට සටන් විරාමයකට, බලය බෙදාගැනීම සඳහා සාකච්ඡාවකට හා කොටි සංවිධානය දියකර හැරීමේ වැඩසටහනකටත් රජය එළැඹුණා.
මේ සියල්ල සඳහා ඇමරිකාව, යුරෝපය, ජපානය, නෝර්වේ වැනි රටවල සහයෝගය ලැබුණා. ඉන්දියාව සාම සාධක හමුදා අත්දැකීමෙන් පසුව ලංකාව ගැන හිටියෙ පරීක්ෂාකාරීව. ඒ වගේම, ඉන්දියාවේ ආර්ථික පරිවර්තනයේ මුල් යුගයයි ඒ.
රනිල් වික්‍රමසිංහ යටතේ ලංකාව සූදානම් වුණා ඒ මොහොතේ තිබුණු භූ දේශපාලනික හා ආර්ථික වාසි අත්පත් කරගෙන වේගවත් ආර්ථික වර්ධනයක් හරහා පිම්මක් පනින්න.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු මේ සමස්ත ප්‍රතිසංස්කරණ වැඩසටහනට විරුද්ධව එදා සිවිල් සමාජයත්, වාමාංශික පක්ෂත්, ජවිපෙත්, වෘත්තීය සමිතිත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කළා. මේ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගියොත්, වමට අවස්ථාවක් නොලැබෙන බව තමයි එදා ජවිපෙ කුමාර් ගුණරත්නම් වැනි නායකයන් හිටිය ස්ථාවරය.
කොටුවේ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට පවත්වපු සිවිල් සමාජයේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ උද්ඝෝෂණයකදි එවකට නිකම්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුණ මහින්ද රාජපක්ෂව ඔසවා පීප්පයක් උඩින් තබා කතාවක් කරන්නට දෙනකොට මාත් ඒ අසල ඉඳලා අහකට වුණා.
ජවිපෙ ඔවුන් සටන් විරාමයට එරෙහිව ඉතා ජාතිවාදී ව්‍යාපාරයක් දියත් කළා. ජනාධිපති චන්ද්‍රිකාවත් ඔවුන් තම කඩාකප්පල්කාරී ව්‍යාපෘතිය වෙනුවෙන් දිනාගත්තා. කොටිනුත් යටින් මේකට උදව් කළා. 2003දී චන්ද්‍රිකා එක්ක කුමන්ත්‍රණය කළ ජවිපෙ වික්‍රමසිංහගේ ආණ්ඩුව කඩාකප්පල් කළා. 2004 මහ මැතිවරණයෙන් ඔවුන් ජයගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා.
මෑතදී මන්ත්‍රී රුවන් මාපලගම පවා මූ කියා අමතා පසුව සමාව ගත් ලක්ෂ්මන් කදිරගාමර්ව තමයි ජවිපෙට අගමැති කරන්නට ඕනැ වුණේ. ඒත්, කොටි සංවිධානය එයට කැමති වුණේ නැහැ. අන්තිමේදී ඔවුන් කදිරගාමර්ව 2005දී සම්පූර්ණයෙන්ම ඉවත් කළා. කෙසේ හෝ අගමැතිකම ඩැහැගත් මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපති අපේක්ෂකකම ද දිනාගෙන කොටින්ගේ ඡන්ද වර්ජනයට පිං සිදු වෙන්නට රනිල් වික්‍රමසිංහ පරදා ජයගත්තා.
රාජපක්ෂලා වැඩේ අල කරගනු ඇතැයි සිතූ ජවිපෙ සහයෝගය නොදී පැත්තකට වුණා. හැබැයි, ලොකු දැක්මක් නොතිබුණු මහින්ද රාජපක්ෂ ජවිපෙ විසින් ඔහුට හදා දුන් රාජ්‍ය ධනවාදී සමාජවාදී ප්‍රතිපත්තිය උපරිමයෙන් ඉටු කළා. ධනේශ්වර ප්‍රතිව්‍යූහගතකරණයන් නැවැත්තුවා. රාජ්‍ය අංශය තවත් පුළුල් කළා. රජය රස්සා දන්සැලක් බවටත් පත් කළා. රට බංකොලොත් වෙන සමාජවාදී විප්ලවය ජවිපෙටත් එපා වන මට්ටමට කළා.
ඔය අතර යුද්ධයත් ජයගෙන, සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයේ සංකේතය බවට රාජපක්ෂ පවුලත් පත්කරගත්තා. උතුරු කොරියාවේ වගේ පියාගෙන් පුතාට රාජ්‍ය නායකත්වය මාරු කරගත හැකි ක්‍රමයකුත් හදාගත්තා. හැබැයි, රට දිගටම ගියේ අසාර්ථක සමාජවාදී රාජ්‍ය ධනවාදී ආර්ථිකය ඇතුළෙ බංකොලොත්භාවය දිශාවට. රනිල් වික්‍රමසිංහ දැනගෙන හිටියා ඔහුට කවදා හෝ නැවත අවස්ථාව ලැබෙන බව. ඔහු අත් නොහැර අල්ලාගෙන හිටියා.
ඔය කාලෙ ඇතුළත, අනුර කුමාර දිසානායක ජවිපෙ තුළ පැමිණි ගමනත්, 2024 වෙනකොට රනිල් වික්‍රමසිංහ තමන් නැතිනම් අනුර රාජ්‍ය නායකයා විය යුතු යයි සිතන මට්ටමක් නිර්මාණය වීමත් ඉතා රසවත්. අද වන විට ජවිපෙ රනිල්ටත් වඩා දක්ෂ ලෙස නව ලිබරල් ප්‍රතිසංස්කරණ ඒ පොතේ හැටියටම අසංවේදී ම්ලේච්ඡත්වයකින් ඉදිරියට ගෙන යමින් සිටිනවා.
ලංවිම ප්‍රතිව්‍යූහගතකරණය එන්නෙ ඒ රාමුව ඇතුළෙ. හැබැයි, අනුර බණ අහලා තියෙන්නෙ පන්සලේ බණ මඩුවෙ ඉඳන් නෙමෙයි, ලවුස්පීකරෙන් ගෙදර ඉඳන්. ඒ නිසා ඔහු දන්නෙ බණවල එක මානයයි. ඒ නිසා තමයි කංචන විජේසේකර සමයේ ගෙනාපු දැක්මක් සහිත ලංවිම පනත වෙනුවට රාජ්‍ය සමාගම් ගණනාවකට ලංවිම කඩන පනතක් ගෙනාවෙ. ලංකාවෙ බලශක්ති ක්ෂේත්රයට අවශ්‍ය ආයෝජන. ඒවා කරන්න රජයට සල්ලි නැහැ. ඇතැම් අංශ පෞද්ගලීකරණය කළ යුතු යයි මුල් සැලැස්මේ තිබුණෙ ඒ නිසා. මේ වෙන්නෙ දැක්මක් සහිත ප්රතිසංස්කරණයක් නෙමෙයි.
ඇත්තෙන්ම, අනුරයි ජවිපෙයි කොහොමද දැක්මක් සහිත ධනේශ්වර ප්රතිසංස්කරණයක් කරන්නෙ? ඔවුන් සමාජවාදයවත්, ධනවාදයවත් හරියට නොදත්, අවස්ථාවාදය හා බලලෝභය එකම දැක්ම කරගත් ව්‍යාපාරයක්.
එදා ඔවුන් කඩාකප්පල් කළ ලංවිම ප්‍රතිව්‍යූහගතකරණය අවුරුදු විස්සකට විතර පස්සෙ අද ඔවුන් හයියෙන් කරන්න හදනවා. මුල, මැද, අග හරියට නොදන්න ඇමිනිල්ලක් හැමිනෙන්නයි මේ හදන්නෙ. එච්චරයි අපට කියන්නට තියෙන්නෙ.











