අජිත් පැරකුම් ජයසිංහ
අපගේ සමකාලීනයකු වන නන්දන ගුණතිලක සහෝදරයා වයස අවුරුදු 61ක් පමණ ආයු වළඳා, කෙටි කලක් අසනීපව සිටීමෙන් පසු අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු ද අප මෙන්ම, 1987-89 කැරැල්ලේ භූමිකාවක් සිදු කළ අයෙකි. මර්දනයෙන් පසු ඔහු නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා මුල් වී කටයුතු කළේය. 1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ ජනාධිපති අපේක්ෂකවරයා වූයේ ද නන්දන ගුණතිලකයි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙස කටයුතු කළ ඔහු ඉන් අනතුරුව ජවිපෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ සමග සම්බන්ධ වූයේය. එයින් ද ඉවත් වූ ඔහු අවසන් කාලයේ දේශපාලනය කළේ එක්සත් ජාතික පක්ෂය සමගය.
ඔහු හිටපු සංචාරක ඇමතිවරයකු හා පානදුර නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ද වේ.
තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් නන්දන නොබියව පෙනී සිටියේය. මේ යුගයේ විප්ලවවාදීන්ගේ මූලික ලක්ෂණයක් විය යුත්තේ, ආර්ථික හේතු මත දේශපාලන මතය, සංවාදය සීමා කර නොගැනීමයි. ඒ අනුව, යම් තීරණ ගන්නට සිදු වේ. ඉවත් වී, තනිව යන්නට සිදු වුවහොත්, එය කරන්නට පවා ධෛර්යය විප්ලවවාදීන්ට තිබිය යුතුය. අසරණ නොවී ඉන්නට සෑම උත්සාහයක්ම දැරිය යුතු මුත්, අසරණ වන්නට සිදු වන අවස්ථා උදා වේ. එය මිනිස් දිවියේ සාමාන්‍ය තත්වයකි.
තනිව ජීවත් වූ, කිසිදු කලෙක වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකළ බව වාර්තා වන, සටන්කාමී දේශපාලන ක්‍රියාකාරිකයකු වූ නන්දන ගුණතිලකට තිබුණු එකම ආදායම් මාර්ගය වූයේ මන්ත්‍රී විශ්‍රාම වැටුපයි. එය කප්පාදු කිරීමට ගත් ක්‍රියාමාර්ග හමුවේ නන්දන දැඩි විරෝධයක් පළ කළේය. මන්ත්‍රී විශ්‍රාම වැටුප කපා දැමීමේ ජවිපෙ උනන්දුව තව තවත් මෙළවුණේ නන්දන නම් තනි පුද්ගලයාගේ ආර්ථිකයට එයින් කළ හැකි හානිය නිසා යයි මම සිතමි. ඒ ඔවුන්ගේ මනෝභාවයයි.
දේශපාලනිකව වෙනස් මත හේතුවෙන් වෙන්ව යන අයගේ ආදායම් මාර්ගය අහිමි කර විනාශ කිරීමට උත්සාහ කිරීම යනු ජවිපෙ දේශපාලන ධාරාවේ ප්‍රධාන ලක්ෂණයකි. මෙය සාමූහික මනෝභාවයකින් පැනනගින නිසග ක්‍රියාවකි. සරලව කිවහොත්, කැඩිච්ච එකාගේ ආදායම් මාර්ගය අහිමි කිරීම සඳහා හේතු වන ක්‍රියාමාර්ග නිකම්ම ඔවුන් වෙතින් පැනනගී. මෙය ජවිපෙම කොටසක් වන හිරු කණ්ඩායමේ පුද්ගලයන් විසින් මට එරෙහිව කීප වරක්ම කර ඇත. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමට ජවිපෙ උනන්දුව මෙතරම් වර්ධනය වන්නට හේතුව නන්දනට එමගින් කෙළිය හැකි යයි ඔවුන් සිතීමයි.
නන්දන ගැන මා අසා ඇති කතාවක් නම්, නන්දන ජවිපෙ වෙතින් ඉවත්ව සිටි 2005-10 අතර කාලයේදී ඔහු මාස තුනක් විදේශගතව සිට මන්ත්‍රීකම අවලංගු වී යන පරිද්දෙන් කටයුතු කිරීමට ඩීල් එකක් දමා පසුව කිසියම් හේතුවක් නිසා එය කඩ කර ඇත. ඒ කාලයේදී ඔහු ඝාතනය කිරීම සඳහා ඔහුගේ වාහනය තුළට විසකුරු සර්පයන් දැමීමට පවා ඇතැමෙකු සාකච්ඡා කළ බව මා අසා ඇත. මේ බව හෙළිදරව් කරන අය ද පසු කලෙක ජවිපෙන් ඉවත් වූහ. මේවා තහවුරු කළ හැකි කරුණු නොවුණත්, මෙම ව්‍යාපාර තුළ ඇති මනෝභාවය වටහා ගැනීමට එවැනි කරුණු ප්‍රයෝජනවත් වේ. කරන දේ මෙන්ම සිතන දේ ද වැදගත්ය.
නන්දන යනු මේ ඊනියා වාමාංශික අගතිගාමීත්වයට එරෙහිව සටන් කළ විප්ලවවාදියෙකි. ඔහුගේ මෙහෙයුම අවසන්ව නැති නමුත්, එය ඉතා වැදගත් ආරම්භයකි. දීර්ඝකාලීන අරගලයක මුල් පියවරකි.
පුද්ගලයකුගේ ඉපදීම, ජීවත් වීම මෙන්ම මිය යාම ද සාමාන්‍ය සංසිද්ධි ය. එම පුද්ගලයා විසින් කිසියම් බර පා සටහනක් ඉතිරි කර තිබේ නම් එය යම් කලක් පවතිනු ඇත. කිසිවක් සදාතනික නැත.
මෙම යුගයේ විප්ලවවාදියාගේ කාර්යය වන්නේ වාමාංශික ස්වෝත්තමවාදී මිථ්‍යාව පුපුරුවා හැර පොදු මිනිසාගේ දේශපාලන අයිතිය යළි මහපොළව මත ස්ථාපිත කිරීමයි. ඊනියා දෘෂ්ටිවාදී සිරගෙවලින් මිදී සත්‍යයට මග සොයා ගැනීම සඳහා එය අතිශය වැදගත් වේ.
ව්‍යාජත්වය අතිශය ජනප්‍රිය සමයක අව්‍යාජ වීම ද, ගතානුගතිකත්වය රජ කරන සමයක විප්ලවවාදී වීම ද අතිශය දුෂ්කරය. නන්දන අඩුපාඩු මැද පවා එවැනි උත්සාහයක් දැරූ අයෙකි. නන්දන තැබූ බර පා අඩිය එයයි.
ස්වෝත්තමවාදී ජවිපෙ වෙනස් වෙමින් තිබේ. එය ද සාමාන්‍යකරණය වෙමින් තිබේ. එය හොඳ දෙයකි. ඒ වෙනුවෙන් ද මිනිස් ජීවිතවලින් මිල ගෙවන්නට සිදු විය හැකිය. මේ එවැනි ජීවිතයකි.












