අජිත් පැරකුම් ජයසිංහ
කලුතරින් රුහුණු කුමාරි හරියටම 8.18ට පෙනි පෙනී ගියා. ගාලු කුමාරි විනාඩි 17ක් පරක්කුයි කියලා RDMNS ඇප් එකේ තිබුණා. මං බලනකොට බූස්ස පහු කරලා. පරක්කු වැඩි නිසා බෝධිය ගාව හෝල්ට් එකට ආපු ඒසී බස් එකක නැග්ගා.
මේ බස් මුලින්ම හඳුන්වා දුන්නේ නගරාන්තර සුඛෝපභෝගී සේවා විදියට. මග නවත්තන්නෙ නැහැ කියල තමයි මුලින් කිව්වෙ. පස්සෙ නගරවල විතරක් නවත්තනවා කිව්වා. ඊටත් පස්සෙ හෝල්ට්වල. දැන් නම්, ඕනැ තැනක. දැන් මේවට කවුරුවත් ඉන්ටසිටි කියන්නෙ නැහැ. කියනවා නම් ඒකත් තේරුමක් ඇතුව නෙමෙයි, පැරකුම් වගේ නිකම් නමක් විදියට. නැතුව පැරකුම්ට බලය තියෙන එකක්යැ.
ඔය විදියට වෙන දිහාවල ඉඳලා යන බස්වල නැග්ගාම මට හැමදාම හිතෙන දෙයක් තමයි, යකෝ ලෝකෙ නරකම බස් සේවා තියෙන්නෙ මතුගම නේද කියලා. ඔය පැලවත්ත, බදුරලිය, නෙළුව, මොරවක, දෙනියාය වගේ ඩොටේ ඉඳලා මතුගම ඩොටේ හරහා යන ඒවත් එහෙමම තමයි. ඒවයෙ කොන්දලා පාතාල නායකයන්ගෙ ගෝලයන් වෙන්න පුළුවන් නිසා උන්ගෙ වැඩ ගැන කතා කරන්න බයයි. හුණ්ඩු බස්වල සමහර ඒවයෙ මැද අර ජම්පිං සීට් දාන්න දෙන්නෙ නැහැ. වාඩි වෙලා ඉන්න අයවත් නැගිට්ටවලා හිටගෙන ගෙනියනවා. හයිවේ බසුත් එහෙමයි. පුළුවන් නම්, වීදුරු අර කුණු කර්ටන්වලින් වහගෙන හිටගෙන දාගෙන යනවා. දැන් ඒවා පොලිසියෙන් අල්ලන නිසා කොට්ටාවට යනකල් එහෙම ගිහින් එතන ඉඳන් අර විදියට යනවා. සමහරු අච්චර ලස්සනට හදලා තියෙන මාකුඹුර බස්ටෑන්ඩ් එකට දාන්නෙ නැහැ. මගීන් මග හලලා ඉක්මනින් කොට්ටාවට යනවා, එතන ඉඳන් බත්තරමුල්ල පැත්තට යන රජයේ සේවක පොෂ් බස් වහල්ලු ටික ඔබාගන්න.
හවසට එනකොටත් එහෙමයි. බුකිං සිස්ටම් එකක් නැති වුණාට අඳුනන අයට සීට් බුක් කරගෙන ඒවා නවාගෙන බෝඩ් තියාගෙන එනවා අනෙක් මිනිසුන් හිටගෙන පටවගෙන.
නෝමල් බස්වල සීට් හැම තැනම. කන පැලෙන්න සිංදු දාගෙන කොන්දොස්තර අර පටු ඉඩේ පුරවගත්ත සෙනග මැදින් විසි වතාවක් විතර ඉස්සරහින් පස්සට යනවා. නාලාත් නැතුව, හඩු ඇඳුම් ඇඳගෙන, විට, ගුලි කාලා, සිගරැට් අරව මේවා බීලා, අයිනෙ සීට්ටෙකේ ඉන්න මගියගෙ කර උඩින් කුණුපුක තියලා වාඩි වෙලා තමයි ටිකට් කඩන්නෙ. ටිකට් කඩනවා කියන්නෙ සල්ලි ගන්නවාට. සමහර වෙලාවට ටිකටුත් දෙනවා.
ගාලු පාරෙ යන ඒසී බස් පට්ට ලදරං. සීට්වල කුෂන් බැහැලා රොටි වගේ. කොන්දොස්තරලා අර වගෙම තමයි. දඩයක්කාරයො වගේ. ඩ්‍රයිවරුත් ෆෝන් එක කනේ ගහගත්ත ගමන්මයි. අලුත්ගමට, කලුතරට හැම තැනටම කෝල් කර කර මනා සම්බන්ධීකරණයකින් යුතුව තමයි රිය පදවන්නෙ.
මාර්ග නීති කියල ජාතියක් නැහැ. ධාවනය කරන ආකාරය තීරණය වෙන්නෙ තරගය අනුව.
වැඩේ කියන්නෙ මතුගම පැත්තෙ ජනතාවටත් ඕවා වගේ වගක් නැහැ. සමස්තයක් ලෙසම කිසිම කොලිටි ඔෆ් ලයිෆ් ගැන හැඟීමක් නැති ජනතාවක්. ටවුමෙ පොදු වැසිකිළියක් නැහැ. වාහන පාක් නැහැ. ඉඩ තියෙන හැම තැනම ත්‍රීවීල් පාක්. ත්‍රීවීල් නැතත්, ඒව ඉස්සරහ වාහනයක් ස්ලෝ කරන්න දෙන්නෙවත් නැහැ. වැඩිපුර කරන්නෙ නයිට් ටයිම් බිල්ඩිං නිසා පාකිං ගැන හැඟීමක් නැහැ. අනුමත බිල්ඩිං ප්ලෑන්වල පවා පාකිං එක තිබුණට පවත්වගෙන යන්නෙ ඕනෑවට එපාවට. ටවුම මැද්දෙ ජගත් මහල් එකේ පාකිං එකේ කාලයක් රෙස්ටොරන්ට් එකක් දාලා තිබුණා. ටවුමෙ කඩවල අයිතිකාරයන්ගේ සේවකයන්ගේ සිට බැංකු මැනේජර්ලා දක්වා එවුන් උදෙන් ඇවිත් පාකිං ස්පේස්වල තමන්ගෙ වාහනය දාලා බ්ලොක් කරනවා. සමහරු ගෙදර වගේ ඒවා වාහන කවරිංවලිනුත් වහල තියෙන්නෙ. පාකිංවලට ටිකට් කැඩිල්ලක් නැහැනෙ.
පයින් යන මිනිස්සුත් යන්නෙ තරහෙන්. ක්රොසිංවලින් යන්නෙ ආච්චිලෑ ගෙදර යනව වගේ. ප්‍රයිවෙට් බස්ටෑන්ඩ් එක ඉස්සරහ එලොවටත් නැති මෙලොවටත් නැති උමං මාර්ගයක් හදලා තියෙනවා. කවුරුවත් පාවිච්චි කරන්නෙ නැහැ. ඕනැ තැනකින් පාර පනිනවා. රියදුරු දෑතට දෙවි පිහිටයි.
කන්න හරි හමන් කඩයක් නැති තරම්. බඩේ අමාරුව හැදෙන නරක් වුණ කෑම විකුණන්නෙ කිසිම හැඟීමක් නැතුව. කෑම කඩවල කෑම නරකකමට අමතරව සංගීත සංදර්ශන වගේ මියුසික් දානවා කන කෑමත් හිරවෙන්න. ඕවා කාලම මතුගම ජනතාවට ඕනැ ඌරු කෑමක් කන්න පුළුවන්.
කඩේකට ගියාම කඩේ එවුන්ට කරදරයක් වගේ. පාරිභෝගිකයාට හැරෙන්න ඉඩක් නැති වෙන්න බඩු පැක් කරලා. පොඩ්ඩක් එහාට වෙන්න, අයිං අයිං කියනවා. ඕනැ නම් ගනින් එපා නම් පලයන් තමයි කස්ටමර් කෙයා තියරිය. එක කඩේ බිත්ති බැඳලා දෙක කරනවා. අරෙහෙන් මෙහෙන් එන වැඩිපුර මුස්ලිම් මිනිස්සු මේ හුණ්ඩුවල කඩ දාගෙන පෝන් කොට කොටා ඉඳලා, චන්ඩින්ගෙ ගාස්තු ගෙවලා බිස්නස් නැහැ කියලා වහල දාලා යනවා. තව එවුන් ඇවිත් පට ගාලා ඒ කඩ අල්ලගන්නවා. ටවුමෙ බිල්ඩිං අයිති කට්ටිය ෂපාන් එකේ ඉන්නවා. මොකද, කුලිය කොළඹ හතේ වගේනෙ.
ඉඩකඩ තියෙන හැම තැනම ලංකාවෙ තියෙන ඔක්කොම ලයිසන්, ලයිසන් නැති මූල්‍ය සමාගම් ටික ඔෆිස් දාලා. මං හිතන්නෙ ඔය ගම්වල කුඩා තේවතු හිමියන්ගෙන් වෙන්න ඇති ඒවා දුවන්නෙ. බැංකුවල සේවා සැපයීමේ තත්වයත් එච්චර ෆිනෑන්ස් කොම්පැනි ශාඛා බිහිවෙන්න හේතු වෙනවා ඇති.
ටවුම මැද්දෙ තරමක් උස කඳුගැටයක් කියන්නෙ කොච්චර සම්පතක්ද? අපි පොඩි කාලෙ මේ බටමුල්ල කන්දෙ පාක් එකක් හදන්න යෝජනාවක් තිබුණා. අපි හරි සතුටු වුණා. පස්සෙ එතන පන්සලක් ග්‍රෝ වුණා. දැන් එතන බුදු පිළිම වහන්සේ කෙනෙක්. අවුකන අනුරුවක් කියලයි කියන්නෙ. මං හිතන්නෙ ලංකාවෙ පිළිමකලා ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන පිළිමයක්.
මං හිතන්නෙ මතුගම කියන්නෙ ඔය ටවුමෙ තියෙන ඉස්කෝල ටික නිසා පවතින නගරයක්. දියුණුවකුත් නැතුව එහෙම පවතින්න එකම හේතුව එච්චරයි.
එහෙම බැලුවාම මතුගම කියන්නෙ කන්නන්ගර මහත්තයාගෙන් සංකේතවත් වෙන නගරයක්. ඒ වුණාට මතුගම මිනිස්සු 1948දී හොරණින් ආපු විල්මට් ඒ. පෙරේරාට ඡන්දෙ දීලා කන්නන්ගර මහත්තයගෙ දේශපාලනේ අවසන් කරනවා. අනිල් මුණසිංහගෙන් පස්සෙ මතුගම මහජන නියෝජිතයන්ගෙ තත්වය කණගාටුදායකයි.
කෙසේ වෙතත්, ඔය ටික අමතක කළාම මතුගම වෙනම වයිබ් එකක් තියෙනවා. නැතත්, ඉතින් මං ඉපදුණේ එහෙ. රට වටේම ගිහින් ආපහු ආව එකේ දැන් ඉතින් වෙන කොහෙවත් යන්න කාලයක් නැහැ. ඒ නිසා මැරෙන්නෙත් මතුගමම තමයි.
ඔබේ ගම් පැත්තත් මේ වගේද?
#matugama #මතුගම












