අජිත් පැරකුම් ජයසිංහ
ඊයෙ මම මතුගම නිව් ජානකී සිනමා ශාලාවෙ මෝඩ තරිඳු චිත්‍රපටය බැලුවා. බැල්කනි එකේ සීට් නැහැ. ඕඩීසී ටිකක් ඉස්සරහ හරියෙ තමයි බැලුවෙ. නිව් ජානකී හෝල් එක සාමාන්‍යයෙන් හොඳ එකක්. සවුන්ඩ්ස් කොලිටි එක සෑහෙන්න හොඳයි. පුටු පරණ නිසා ඒ තරම් සැප පහසු නැහැ. දැන් පියරත්න ටෙක්ස් තියෙන තැන ඉස්සර පිහිටි, වේදිකා නාට්‍ය පවා පෙන්විය හැකි වේදිකාවක් ද සහිත මනස්කාන්ත සිනමා ශාලාවක් වුණ ගාමිනී හෝල් එක එම ඉඩමේ කොටසක් මිලදී ගත් සජබ මන්ත්‍රී ජගත් විතානගේ ඉදිකිරීම් සමග කඩා බිඳ දැමුවාට පස්සෙ මතුගම ඉතිරි වෙලා තියෙන්නෙ ජානකී හෝල් එක විතරයි.
මේකෙ මං සෑහෙන චිත්‍රපට සංඛ්‍යාවක් බලල තියෙනවා. හැත්තෑව දශකයේ දවසක උදේ 10.30 මැටිනි ෂෝ එකේ ‘ගොපළු හඬ’ චිත්‍රපටය බලන්න පුංචි අම්මා කෙනෙකු එක්ක සෙකන්ඩ් ක්ලාස් පෝලිමේ ගිහින් ඇතුළුවීමට ආසන්නයෙදි හෝල් එක හවුස්ෆුල් වුණ නිසා ආපහු හැරිලා ගිහින් ගාමිනී හෝල් එකෙන් ‘හොඳම වෙලාව’ බැලුවා. ඕනැ නම් පෝලිමේ එහෙමම හිටියා නම්, 2.30 ෂෝ එක බලලා එන්න තිබුණා. පෝලිම්වල හිටපු කට්ටිය එහෙමම පෝලිමේ හිටියා අපි ගියාට. ඒ කාලෙ ජානකී හෝල් එකේ පෝලිම්වල කටු කම්බිත් ගහලා තිබුණා පෝලිම් කඩාගෙන පනින එක වළක්වන්න. ඊයෙ තිබුණෙත් එහෙම තත්වයක්.

අතීතයෙදි මතුගම පැත්තෙ සමහර අංශවල දියුණුව කොයි තරම්ද කියනවා නම් මං අහලා තියෙනවා, ඉද්දගොඩ මහගෙදර අපේ මාමලා ගැටව් කාලෙ, ඒ කියන්නෙ පනහ දශකයේදි, වේලපහින් නිදාගන්න ගිහින් බොරුවට නිදි වගේ පෙන්නලා පැනලා ගිහින් අටහමාරෙ බස්සෙකේ මතුගං ගිහින් නමයයි තිහේ ෂෝ එක බලලා එකොළහමාරෙ බස්සෙකේ ගෙදර එනවාය කියලා. යුද්දෙන් පස්සෙ තවමත් මතුගම ටවුම රෑ හත අට වෙනකොට නිදාගන්නවා. මතුගමින් එකළෙහමාරටත් බස් තිබුණ නෑබඩ හොරණ පාරෙ දැන් අන්තිම බස්සෙක හය වෙනකොට ගිහින් ඉවරයි.
ඉස්සර මේ හෝල් එක ගාමිනී හෝල් එක තරම් ලකයක් නැහැ. පොල ළඟ තඩි කබරු යන කුණු කාණුවක් අයිනෙ තිබුණෙ. අපි ඉස්කෝලෙ යන, කොට කලිසං අඳින කාලෙ, විභාග කාලෙට ඉස්කෝලෙන් කලින් ඇවිත් ටවුමෙ රස්තියාදු ගහනකොට ඔය කුණු කාණුව අයිනෙන් ගිහින් හෝල් එකේ ගැලරියේ දොරෙන් ඔලුව පොවනවා. ඇගේ ආදර කතාව චිත්රපටියෙ රන්වන් සිනා පෑ මනෝ මාළිගාවේ කියන ගාමිනී ෆොන්සේකා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඇන්තනි සී පෙරේරායි එහෙම රඟපාන කළු සුදු සීන් එක බැලුවෙ එහෙම හොම්බ දාලා.

මේ හෝල් එක කාලෙන් කාලෙට වැහෙනවා, ආයෙ ඇරෙනවා. වැදගත්ම දේ, දැන් අවුරුදු පනහකට වැඩි කාලයක් තිස්සෙ ඒ හෝල් එක තියෙනවා. සමහර චිත්‍රපටි බලන්න ගිහින් සෙනග නැතුව හැරිලා ඇවිල්ලත් තියෙනවා. මේක අයිතිව සිටි මෙරිල් ඇල්බට් මහත්තයා චිත්‍රපටි නිෂ්පාදනයත් කළා. ජානකී ඔහුගේ බිරිඳ බව අහලා තියෙනවා. වැල්ලවායේත් ඔහුට අයත් සිනමා ශාලාවක් තිබුණු බව කියැවෙනවා.
ඔහු නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ, විජය කුමාරතුංග හා මාලිනී ෆොන්සේකා රඟපෑ දහකින් එකෙක් (1973) චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා. ‘රත්තරං සඳක් පායන්නයි’ කියන ජෝතිපාල ගයන ගීතය තිබුණෙ මේ චිත්‍රපටයෙ. එය ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කර පී.එල්.ඒ. සෝමපාල සංගීත අධ්‍යක්ෂණය කළ ගීතයක්. හැබැයි, හින්දි සිංදුවක කොපියක්. ඒ කාලෙ එහෙම බොහෝ ගීත නිර්මාණය වුණා.
දහකින් එකෙක් අධ්‍යක්ෂණය කළේත් මෙරිල් ඇල්බට්මයි. කැමරාව ඩොනල්ඩ් කරුණාරත්න. මුල් කාලයේ අධ්යක්ෂ වූයේ බර්ටි ගුණසේකර වුවත්, ඔහු පසුව ඉවත් වී තිබෙනවා. මෙහි කතාව, දෙබස් හා තිරනාටකය ලියල තියෙන්නෙ මෑතදී මිය ගිය ප්‍රවීණ මාධ්‍යකරුවකු, ලේඛකයකු හා පරිවර්තකයකු වුණ සරත් කැල්ලපත මහතායි. ඔහු මෙරිල් ඇල්බට්ගේ සමීප ඥාතියෙක්.
ඩබ්ලිව්. ජයසිරි සිනමාවට පිවිසෙන්නේත් දහකින් එකෙක් චිත්‍රපටයෙන්. මේ එහි දර්ශනයක්. හඳුනන අය ඇති.
මෙරිල් ඇල්බට් 1980දි, වයස අවුරුදු 54දී මිය යන විට ඔහු ‘අපි දෙදෙනා’ නමින් තවත් චිත්‍රපටයක අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සිදු කර තිබුණා. ඔහු සිනමා හා රූපවාහිනී කලාකරුවකු වන නිශාන්ත ප්‍රදීප්ගේ පියාණන්.

